Tuesday, December 27, 2016

වල් වැදුණු නීතියේ වල් ගැලවී නැතිනම්..?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ‘පොදු අපේක්ෂක’ලෙස තේරීපත්වෙද්දී ප්‍රකාශ කර සිටියේ වල්වැදී ඇති නීතිය හා සමාජ සාධාරණත්වය යළි ස්ථාපිත කරන බවය. ප්‍රජාතන්ත්‍රවාදය නැවත දිනාදෙන බවය.ඉක්බිතිව එළඹි මහ මැතිවරණයෙන් ඊනියා යහපාලන ආණ්ඩුව ගොඩනඟන විටත් ජනාධිපතිවරයාද,අගමැතිවරයාද පුන පුනා කියා සිටියේ මෙකී සූත්‍රයමය.එහෙත් රාජපක්ෂකරණය වූ නීතිය හා මෙරට අධිකරණ පද්ධතිය එකී දෘෂ්ටිවාදයෙන් ගලවා ගැනීමට අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා විසින් ක්‍රියා කර ඇත්ද? පිළිතුර ‘නැත’ යන්නය.වඩා භයානක වන්නේ ජනාධිපතිවරයා හා අගමැතිවරයාද එකී දෘෂ්ටිවාදයේම ගොදුරු බවට පත්වීමය.



බලය බෙදීමට එරෙහි ඒකීය ශ්‍රී ලංකාව දිවි පරදුවට තබා රකින බවට පපුවට ගසා ගන්නවුන් එකී ඒකීය රට තුළ දෙමළ ජාතිකයා ද නියෝජනය වන බැව් අමතක කරයි. ‘නීතිය සැම‍ට සාධාරණ’යයි කියනවිට ඒ ‘සැම’තුළ ද්‍රවිඩයා ද සිටින බැව් නොඅදහයි. දේශපාලන බලය බෙදාගැනීම/නොගැනීම යන කාරණය පසෙක තිබියදී ජන වර්ගය හෝ ආගම කුමක් වුවද අපරාධකරුවෙකුට දඬුවම්දීම යන කාරණයේදී හෝ එකඟත්වයක් පවත්වාගැනීමට අපොහොසත්වීම පිළිබඳ ජාතියක් ලෙස අප කනගාටුවිය යුතුය.



නීතිය හෝ රටේ අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් ජනතාවගේ විශ්වාසය දැනටමත් කඩවී තිබේ.වසර ගණනාවක් තිස්සේ බිඳවැටී නාය ගොස් පවත්නා හර පද්ධතියක් එක රැයින්,දවසකින් හෝ දෙකකින් යළි ගොඩනැඟිය හැකි නොවේ.එය අප සියලුදෙනා දත් සත්‍යයි. එහෙත් කළ යුත්තේ තව දුරටත් එම බිඳ වැටීමට රුකුල් දී අරාජිකත්වය කරා යන ගමනක කොටස්කරුවන්වීම වෙනුවට ජනතා විශ්වාසය ක්‍රම ක්‍රමයෙන් තහවුරු කරමින් නීතියේ අධිපත්‍ය හා සමාජ සාධාරණත්වය වෙනුවෙන් එක් පියවරක් හෝ ඉදිරියට තැබීමය.ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ කිසිදු වගකිව යුත්තෙකු ඒ වෙනුවෙන් ඉදිරිපත්වන බවක් පෙනෙන්නට නැත.රාජපක්ෂලා වැපිරුව බීජ තව දුරටත් අතු රිකිලි දමා වැ‍ඩෙමින් පවතින්නේ ඒ නිසාමය. මෑත කාලයේ අධිකරණයෙන් ලබාදුන් තීන්දු දෙකක් කෙරෙහි අවධානය යොමුකරන විට පසක් වන්නේද මෙකී සත්‍යමය.

 ජාතික ප්‍රශ්නයේදී ගත යුතු දේශපාලන ප්‍රවේශය සම්බන්ධයෙන් උතුරේ ද්‍රවිඩයා‍ගේ හඬ දකුණේ සිංහලයාට ‘තේරෙන භාෂාවෙන්’ගෙන ආ  නඩරාජා රවි රාජ් මරා දැමුවේ මෙයට වසර 10 කට පෙරය. කොළඹ ජනාකීර්ණ වීදියකදි එලෙස සහාසික ලෙස වෙඩි තබා ඝාතනය කිරීමට තරම් ඝාතකයින් එඩිතර වී තිබුණි. ඒ අන් කිසිවක් නිසා නොව ආණ්ඩුවේ ආරක්ෂක අංශයන්ගේ දැඩි සහයෝගය ඔවුන් ලද බැවිනි. අපරාධකරුවන් අධිකරණය ඉදිරියට ගෙන ඒමටත්,ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමටත් දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් දැඩි බලපෑමක් එල්ල කරන්නට සිදුවිය.ඒ අනුව පැවති රජය යටතේ රවි රාජ්ට යුක්තිය ඉටුවෙනු ඇතැයි තතු දත් කිසිවෙකුත් විශ්වාස නොකිරීම අහම්බයක් නොවේ.එහෙත් ඒ අවිශ්වාසය තවදුරටත් අපේක්ෂා කරන්නට සිදුවීම කෙතරම් අභාග්‍යයක්ද?


                                                     ඊනියා යහපාලන ආණ්ඩුව බලය පත්වීමට පෙර රවි රාජ් ඝාතනය ට සම්බන්ධ පුදගලයන් අත්අඩංගුවට ගෙන සාධාරණය ඉටු කරන බවට දැඩි ප්‍රතිඥා දෙන ලදී.ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් ජනාධිපතිවරයාට සහය ලබාදීමේදීද,තම ගමන් සගයා අකාලයේ උදුරාගත් අපරාධකරුවන්ට නීතියෙන් දඬුවම් ලබාදී සාධාරණත්වය ඉටුකරනු ඇතැයි උදක්ම බලාපොරොත්තු තබන්නට ඇත.එහෙත් අතීතයේ සිදුකළ ජාතික අපරාධ ඒ අයුරින්ම ඉටුවීම තබා වෙනසක සේයාවක් දක්නට නොලැබීම කෙතරම් අවාසනාවන්තද? ඇසින් දුටු සාක්ෂි තිබියදී වුව රවි රාජ් ඝාතනයේ සැකකරුවන් සියලුදෙනා නිදොස් කොට නිදහස් කෙරිණි.මෙම සැකකරුවන් සියලුදෙනා හමුදා බුද්ධි අංශයට හෝ රාජපක්ෂකරණය වූ කරුණා අම්මාන්ගේ ත්‍රස්ත කල්ලියට හෝ අයත් වූවන්ය.


RaviRaj

රවි රාජ් ඝාතනයට අදාළව පැවති නඩු විභාගයේදී රජයේ සාක්ෂිකරුවෙකු ලෙස ඉදිරිපත් කෙරුණු බුද්ධි අංශයේ ලියනාරච්චිගේ අභයරත්න පොලිස් කොස්තාපල්වරයාගේ සාක්ෂියකින් රවිරාජ් ඝාතනයට මැදිහත් වූ කරුණාගේ කණ්ඩායමට එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ‍ගෙන් කෝටි 5 ක මුදලක් ලැබුණු බවට වාර්තා පළවිය. එසේ නමුත් ගෝඨාභයගෙන් සාක්ෂියක් සටහන් කර ගැනීමට හෝ ක්‍රියා කළ බවට පුවතක් වාර්තා නොවිණි. එසේම ජනාධිපති ආරක්‍ෂක අංශයේ පොලිස්‌ රියැදුරකු ලෙස කටයුතු කළ ප්‍රීති විරාජ් මනම්පේරි නමැති පොලිස් නිලධාරියා මෙම ඝාතනය ඇසින් දුටුවෙකු ලෙස සාක්කි දෙමින් විත්තිකරුවෙකු වූ ගාමිණී සෙනවිරත්න නමැති නාවික හමුදා නිලධාරියා වෙඩි තබනු බව තමන් දුටුවේ යයි කියා තිබිණි. එහෙත් ගෞරවනීය ජූරි සභාව විසින් මොවුන් සියලු දෙනා නිදොස් කොට නිදහස් කිරීමට කටයුතු කර තිබේ. අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නඩුවට ඉදිරිපත් වූ නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා කියා සිටියේ නඩු තීන්දුව සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බවයි.



1996 පෙබරවාරි 11 වැනිදා කුමාරපුරම් ගම්මානයේ ජීවත් වූ සාමකාමී සිවිල් වැසියන් 24 දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළවද යුක්තිය ඉටු නොවිණි.
කුමාරපුරම් ගම්වාසීන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පවරා තිබුණු නඩුව ප්‍රථමයෙන් මූතූර් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ විභාග වූ අතර ඉන්පසුව ත්‍රිකුණාමලය මහාධිකරණයේත්, පසුව අනුරාධපුර උතුරමැද පළාත්බද මහාධිකරණයේ ජූරි සභාවක් ඉදිරියේත් විභාග කෙරිණි.
 මූතූර්, දෙහිවත්ත හමුදා කඳවුරේ මෙම සිදුවීම වූ කාලයේ සේවය කළ හමුදා නිලධාරීන් අටදෙනෙකුට කාලයක් තිස්සේ මෙම සිදුවීම සම්බන්ධයෙන් චෝදනා 101ක් ගොනුකර තිබුණු අතර ඉන් නිලධාරීන් දෙදෙනෙකු මියගොස් තිබේ. 2016 ජූලි 27 වැනිදා නඩුවේ තීන්දුව ලබාදෙමින් ඉතිරි හමුදා නිලධාරීන් හයදෙනා අනුරාධපුර මහාධි කරණයේ ජූරිය විසින් නිදොස් කොට නිදහස් කරන ලදී.උතුරු මැද පළාත්බද මහාධිකරණ ඉතිහාසයේ නඩුවකට අදාළ විත්තිකරුවන්ට වැඩිම අධිචෝදනා ප‍්‍රමාණයක් එල්ල වී තිබූ නඩුවද මෙයයි.









මෙම නඩුවේ නඩු භාණ්ඩ ලෙස ටී 56 ස්වයංක‍්‍රිය ගිනි අවි 5 ක්,සහ එම උණ්ඩ රහිත මැගසින් 5 ක්, ටී 56 එල්.එමි.ජී. ගිනි අවි දෙකක්, එම උණ්ඩ රහිත ඩ‍්‍රමිස් 2 ක්, මූනිස්සමි කැබිලි, හිස් පතොරොමි කොපු 20 ක්, වෙඩි තබන ලද උන්ඩයක කොටස් දෙකක්, ටී 56 වර්ගයේ ගිනි අවි සදහා යොදන හිස් කොපු 4 ක්, ටී 56 ජීව පතොරොමි 1 ක්, 7,62 වර්ගයේ හිස් පතොරෙමි කොපු 48 ක්, දෙහිවත්ත යුද්ධ හමුදා කඳවුරට අයත් නිළධාරින්ට නිකුත් කර ඇති වෙඩි ද්‍රව්‍ය පිළිබද ලේඛණය, පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා 24 ක්, අධිකරණ වෛද්‍ය වාර්තා 25 ක් සහ රජයේ රස පරික්ෂකවරයාගේ වාර්තාවක්, ඇතුළු භාණ්ඩ නවයක් නීතිපතිවරයා විසින් නම් කරනු ලැබ තිබුණි.නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පොලිස් නිළධාරින්, විශේෂඥ අධිකරණ වෛදවරුන්, වෛද්‍යවරුන්, රාජ්‍ය නිළධාරින් සහ සිවිල් වැසියන් ඇතුළු 107 දෙනෙකු නම් කරනු ලැබ සිටින ලදී.

                                   අද වනවිට නඩු විභාගය අවසන්ය.විරෝධතා සමහන්ය.එහෙත් කුමාර්පුරම් වැසියන්ගේ ඝාතකයින්ද, රවි රාජ්ගේ ඝාතකයින්ද නිදැල්ලේය.ඉදින් අප පැතූ වෙනස සාක්ෂාත් වී ඇත්ද?



-ප්‍රියාන් -

Wednesday, December 21, 2016

නිමල් බෝපගේ කතා වස්තුව




වඩා විශ්වාසදායි,බය පක්ෂපාතී වඳුරෙකු රැකවලා ලෙස යොදාගත් රජෙකුට වූ විපත්තියක් ගැන ජනප්‍රවාදයේ එයි. රජුගේ ගෙලේ ‍වැසූ මැස්සෙකු එළවනු පිණිස රජුගේම අසිපතින් මැස්සාට පහරදීමෙන් රජුට එලොව යන්නට සිදුවීම එකී ඛේදවාචකයයි.දැනට තමන් ඇනගෙන පසුව ජනාධිපතිවරයාද අන්නවනු ඇතැයි සිතිය හැකි පර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ මහතාගේ ක්‍රියා පිළිවෙත කෙරෙහි අවධානය යොමුකරනවිට සිහියට නැඟෙන්නේද රජු එලොව යැවූ වඳුරාය.

             අමාත්‍යංශ ලේකම් ලෙස පත්වූ බෝපගේ මහතා පළමු ඇන ගැනීම වූයේ ඔහු විසින් කඩිමුඩියේ මාධ්‍යයට නිකුත් කළ නිවේදනයකි.

එහි සඳහන් වූයේ "ඒකාබද්ධ විපක්ෂය, නමින් දේශපාලන පක්ෂයක් නැති බැවින් එය ප්‍රවර්ධනය කිරීම සඳහා දායකවීමෙන් මාධ්‍යවේදීන් නීතිය ඉදිරියේ ප්‍රතිබන්ධනය වීමට ඉඩ ඇති බවයි". එම නිවේදනය මාධ්‍ය නිදහස අගයන්නන් සහ මාධ්‍යවේදීන් අතර තදබල විවේචනයකට සහ තිගැස්මකට ලක්වූ අතර රටපුරා එක් රැයක් ඇතුළත ආන්දෝලාත්මක මාතෘකාවක් බවටද පත්විය. අදාළ අමාත්‍යාංශයේ අමාත්‍යවරයාවූ ගයන්ත කරුණාතිලක වහ වහා අවධාරණය කළේ අදාළ නිවේදනය අමාතාංශ ලේකම් බෝපගේ ගේ පෞද්ගලික මතයක් මිස රජයේ මතය නොවන බවය.
උද්ගතවූ තත්වය අනුව එය තමන්ගේ පෞද්ගලික මතය ප්‍රකාශ කිරීමක් බවද නියෝගයක් නොව ආයාචනයක් බව පසුව ඉකුත් අප්‍රේල් 29 සිකුරාදා මාධ්‍ය හමුවකදී පිළිගැනීමට බෝපගේට අවසානයේදී සිදුවිය.

නිමල් බෝපගේ නම් ලේකම්වරයාගේ අනෙක් ඇනගැනීම වූයේ 'ජනාධිපතිවරයාගේ කතාවක් විකෘති කරන ලදැයි'දක්වමින් ටී.වී දෙරණට ලියුම් යැවීමයි.ජනාධිපතිවරයාගේ පමණක් නොව ඕනෑම අයෙකුගේ දේශනයකින්,මාධ්‍ය හමුවකින්,සංසිද්ධියකින් පුවතක් ලෙස සංස්කරණය කොට නිර්මාණය කරනුයේ අත්‍යවශ්‍යම වූ කොටස පමණක් බැව් නොදන්නා අයෙකු තොරතුරු ලෝකයේ සිටිය නොහැකිය.ටී.වී දෙරණේ විකාශය වූ ජනාධිපතිවරයාගේ කතාවේද අර්ථය විකෘතිවී නොමැති බව ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් එවන ලද නිවේදනයක් ද සමග  කරුණු සහිතව තහවුරු කර තිබුණද,බෝපගේ විසින් යළි දෙරණට ලියුමක් එවන ලද්දේ දින 7ක් ඇතුළත කරුණු දක්වන ලෙස දන්වා ලියුම අත්සන් කෙරුණු දින සිට දින 6ක් ඉක්ම ගිය සවසක ප.ව 4.00ට පමණය.අවසානයේ එම සිදුවීමෙන්ද නැට්ට අකුළා ගැනීමට ඔහුට සිදුවිය.

නිමල් බෝපගේගේ අලුත්ම නාඩගම වූයේ සාස්තරකාරයෙකුට බියවී හීනෙන් දෙඩවීමයි.
"අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමේ අරමුණෙන් පූර්ව මාධ්‍ය මෙහෙයුමක් දියත් කිරීම සම්බන්ධව" හෙළිදරව් කිරීමට යයි පවසා ඔහු විසින් මාධ්‍ය හමුවක් කැඳවූයේ ඉකුත් 20 වනදාය.
ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීමක් සිදුවෙතැයි මෙම මාධ්‍ය හමුව ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් බලාපොරොත්තු වුවද සිදුවූ‍යේ බෝපගේගේ විහිළු සැපයීමට දායකත්වය දීමටය.

විජිත් රෝහණ විජයමුණි නමැති ජ්‍යේතිර්වේදියෙකු යයි කියා ගන්නා පුද්ගලයෙකු විසින් තමන් මීට පෙරාතුව ප්‍රකාශයට පත් කළ අනාවැකි සියල්ල සත්‍යවී ඇති බවට ඒත්තු ගන්වා ඒ අයුරින්ම ජනාධිපතිවරයා ජනවාරි 26 දිනට පෙර කුමන ආකාරයෙන් හෝ මිය යන බවට කිසියම් "අනාවැකියක්"නිර්මාණය කොට සමාජ ජාල වෙබ් අඩවි හරහා ප්‍රසිද්ධියට පත්කොට ඇති බව බෝපගේ මෙහිදී සඳහන් කළේය.
එබැවින් ජනාධිපතිවරයාට තර්ජනයක් ඇති බව තමන් පිළිගන්නා බැවින් ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන මෙන් තමන් විසින් පොලිස්පතිවරයාට පැමිණිලි කරමින් ඉල්ලා සිටි බව බෝප‍ගේ මහතා කියා  සිටියේය.  

            පසුගිය කාලයේ මිථ්‍යාවට එරෙහිව සමාජ සාධාරණත්වයට පක්ෂව කටයුතු කළ සියලුම දෙනා පාහේ මහින්ද රාජපක්ෂ මහතාගේ වශී බෝලය විවේචනය කරන ලදී.එය හාස්‍යයට ලක්කරන ලදී. සුමනදාස  අබේගුණවර්ධන නම් රාජපක්ෂ‍ගේ ජ්‍යෙතිර්වේදියා අපමණ උපහාසයට ලක්වූවා පමණක් නොව උපුල් ශාන්ත සන්නස්ගල විසින් මෙහෙයවූ "සත්‍යාගාරය"වැඩසටහන තුළින් නැති භංගස්ථාන කරනු ලැබිණි.කුමන පාලකයත්,කුමන පාලකයාට වන්දභට්ටකම් කරන රාජ්‍ය නිලධාරියාත් තාම සිටින්නේ මහපොළොව මත සිටගෙන නොව සාස්තරකාරයින්ගේ හීන ලෝකවල බැව් බෝපගේ‍ගේ හැසිරී‍මෙන් තවත් තහවුරු විය.

                          සමාජ ජාල වෙබ් අඩවියක පමණක් ප්‍රසිද්ධියට පත්වූ අනාවැකිය සම්බන්ධයෙන් ලේකම්වරයාගේ ප්‍රතිචාරය ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය මගින් ප්‍රචාරය වන විට ඊට අදාළ අනාවැකියට යළිත් ප්‍රධාන ධාරාව තුළ පවා ප්‍රසිද්ධියක් ලැබෙන බැව් ඔහු නොදනියි.
මේ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළින් අනවශ්‍ය ප්‍රචාරයක් ලබාදීමෙන් පසු ආචාර ධර්ම කඩ කළ බවට නිමල් බෝපගේ මහතාගෙන්ම නිදහසට කරුණු විමසා ලිපි ලැබෙනු ඇත්දැයි මාධ්‍යවේදියෙකුද අදාළ මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කරන ලදී.ඊට ප්‍රතිචාර ලෙස අමාත්‍යංශ ලේකම්වරයා සිනාසුනා මිස කිසිත් නොකීවේය.

මිථ්‍යාවන් ඇදහීමට,ඕපදුප කරතියාගෙන යාමට අවශ්‍ය කෙනෙකුට ඒ සඳහා අයිතියක් ඇතැයි කෙනෙකුට තර්ක කළ හැකිය.ඒත් ගැටළුව වන්නේ මහජන මුදලින් නඩත්තුවන ආයතනයක,මහජන මුදලින් නඩත්තුවන රාජ්‍ය නිලධාරියෙකු තමාට පැවරී ඇති බලය අවභාවිතා කරමින් මිථ්‍යාවට උඩගෙඩිදීමට කටයුතු කිරීම කෙතරම් සුදුසුද යන්නයි.නිමල් බෝපගේ වැන්නන් හෙට දවසේත් ජනාධිපතිවරයා කෙරෙහි අචල භක්තියෙන් යුතුව මෙවන් ගොන්පාට් රඟ දක්වනු ඇත.එහෙත් අණක් ගුණක් නොදත් වඳුරාගෙන් රජුට සිදුවූ විනාශය මෙන්ම බෝපගේ වැන්නන්ගේ ක්‍රියාපිළිවෙල හේතුවෙන් වඩා හානියක් ගෙනදෙන්නේ ද ජනාධිපතිවරයාටමය.නෝන්ඩි වෙන්නේ ආණ්ඩුවය. මේ බැව් වැටහෙන වගකිව යුත්තන් ඇත්නම් කළ යුත්තේ තැන් තැන්වල පුද්ගලිකව තම තමන්ගේ අප්‍රසාය පළකිරීම නොව වහාම ක්‍රියා මාර්ග ගැනීමය.