Tuesday, January 24, 2017

භූමිට විදර්ශන හමුනොවීම බූපති සුළුතරයෙකු වීම නොහොත් ෆ්‍රැන්ජිපානි මට පෙනෙන හැටි

මේ ලි ය වි ල් ල ෆ්‍රැන්ජිපානි චිත්‍රපටය ගැන වුවත් ඒ ගැන පමණක් නොවේ. චිත්‍රපටය අධිපති කතිකාවට අභියෝගයක් වන්නේ යම්සේක්ද, කොළඹ කේන්ද්‍රීය සංවාද තලයේ එය ස්ථානගත වූයේ කුමන ආකාරයෙන්ද යන්න පිළිබඳ මධ්‍යස්ථ මතධාරියෙකුගේ නිරීක්ෂණයකි. ඒ අර්ථයෙන් මෙය සාම්ප්‍රදායික විචාරයක් නොව සමීප නිරීක්ෂණයක් ලෙස පමණක් සැලකුව මනාය. ලියුම්කරු මෙම චිත්‍රපටය දෙවරක් නරඹා තිබේ. පළමු අවස්ථාව දෙවසරකට පමණ ඉහතදී ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ චිත්‍රපටය ප්‍රදර්ශනය කොට ඒ පිළිබඳ සංවාදයක්ද කෙරුණු අවස්ථාවයි. දෙවන අවස්ථාව ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේ පැවති මංගල දර්ශනයයි. මේ අතුරින් චිත්‍රපටය පිළිබඳ කෙරුණු කතාබහ උපුටා ගැනීමේදී ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ සිදුවුණු සංවාදයත්, ඉතාම මෑතකදී චිත්‍රපටය පසුබිමේ තබාගෙන එහි අන්තර්ගතය පිළිබඳ පදනම් ආයතනයේදී පැවති සංවාදයත් ප්‍රස්තූතවීම නොවැළැක්විය හැකිය.




                               පාවුලේ ෆ්රයරේ විසින් රචිත PEDAGOGY OF THE OPPRESSED කෘතිය සිංහලට පරිවර්තනය කළ සයිමන් නවගත්තේගම ඊට “සංවාදය, සංවිධානය හා විප්ලවය”යයි නම් තැබීය. අධ්‍යාපනය පාදක කරගත් පීඩිතයාගේ විමුක්ති අරගලය පිළිබඳ මාහැඟි කියවීමක්වූ එම කෘතිය තුළ සාම්ප්‍රදායික අධ්‍යාපන බල රටාව අභියෝගයට ලක්කරමින් සංවාදය හා සංවිධානය ව්‍යුහගතවන ස්වරූපයන් මෙන්ම විටෙක පීඩිතයා තවත් විටෙක පීඩකයාගේ තැන පිහිටන අයුරු මෙන්ම පීඩකයින්ගේ ගොන්නෙහි පීඩාවට පත්වන පීඩිතයන්ද සිටින බැව් පෙන්වාදෙනු ලබයි.
ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරයගේ කැමැත්ත වන අතරම සුළුතරය නොතකා නොහැරීමද, සුළුතරයගේ අයිතිවාසිකම් ආරක්ෂා කරලීමද ඊට අයත්ය. එහෙත් ප්‍රායෝගික තලයේදී ව්‍යවස්ථානුකූල විධිවිධාන කෙසේවුවද, බහුතරය විසින් සුළුතරය මර්දනය කෙරෙයි. ජාතික ප්‍රශ්නය හා ඒ ආශ්‍රිත මතුවන ගැටලුවලදී වාර්ගික සිංහල-බෞද්ධ බහුතරය විසින් සුළුතර ද්‍රවිඩ-මුස්ලිම් ජනයා කෙරෙහි මර්දනය මුදාහරිනු ලබයි. මෙම තත්ත්වය විසින් දකුණේදී පොලිස් වෙඩි පහරට ලක්ව නිරායුධ සිසුවෙකු ජීවිතක්ෂයට පත්වූ අවස්ථාවකදී පොලීසියට එරෙහිව විරෝධතා දැක්වීම සාමාන්‍යකරණය වී උතුරේදී එයම සිදුවූ විට එය “කොටි හිස එසවීම” බවට පත්වෙයි. දකුණේදී පොලිස් පොලිස් නිලධාරියෙකුට පහරදී හිස්වැසුම ගෙදර ගෙන ගිය මාලබේ ස්ත්‍රිය වීරවරියක වී උතුරේදී පොලිස් නිලධාරියෙකුට බෝතල යකින් පහරදුන් තැනැත්තා ‘ත්‍රස්තවාදියෙකු’බවට නිතැතින්ම පත්වේ. දකුණේදී සිංහල පමණක් වහරන ජනයා අතර, සිංහල බස් පුවරු රැගත් පොදු ප්‍රවාහන සේවා, සිංහල නාම පුවරු සහිත මාර්ග උතුරේ ද්‍රවිඩයාට හෝ නැගෙනහිර මුස්ලිම් ජාතිකයාට තමා පිළිබඳ ඇතිකරන අනාරක්ෂිත හැඟීම, තමා පිටස්තරයෙකු බවට පත්ව ඇතැයි යන සිතුවිල්ල අහම්බයක් විය නොහැකිය. ඒ ආකාරයෙන්ම උතුරේදී හෝ නැගෙනහිරදී ද්‍රවිඩ භාෂාව පමණක් වහරන ජනයා අතර ද්‍රවිඩ නාම පුවරු, හින්දු ජන ආහාර පමණක් සහිත හෝටල් පරිසරයකදී සිංහලයෙකුටද තමා කෙරෙහි අනාරක්ෂිත හැඟීමක් හෝ තමන් පිටස්තරයෙකු නොවේදැයි යන සිතුවිල්ලක් පහළවීම සම්බන්ධයෙන්ද අප පුදුම විය යුතු නොවේ. වෙනත් අයුරකින් කිවහොත් තමා අයත්වන්නේ පීඩකයන්ගේ ගොන්නටද, එසේත් නැතිනම් පීඩිතයන්ගේ ගොන්නටදැයි කෙනෙකුට දනවන මොහොත නිශ්චිත ලෙස අර්ථගැන්විය හැකි ව්‍යුහාත්මක මොහොතකි. විෂම ලිංගිකත්වය පමණක් අධිනිශ්චය වූ සමාජයක සමකාමීන්, සංක්‍රාන්ති ලිංගිකයන්ට මුහුණදීමට සිදුවන ගැහැට හා පීඩාවන් කෙරෙහි අවධානය යොමුකිරීමේදීද, මේ තත්ත්වයෙහි වෙනසක් අපේක්ෂා කළ නොහැකිය.




                                  ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ චිත්‍රපට දර්ශන වාරයෙන් ඉක්බිතිව පැවති සංවාදයේදී පළමු වාග් ප්‍රහාරය එල්ලවූයේ විසාකේසටය.
“ඔබ මේ සමකාමීන්ගේ ගැටලුව දිහා පිට ඉඳන් බලලා මතුපිටින් අතගාලා කරපු වැඩක්. අපිට තියෙන්නේ මේ වගේ ප්‍රශ්න නෙවෙයි.” මේ ප්‍රශ්නය එල්ලවූයේ ප්‍රේක්ෂාගාරයේ සිටි සමකාමීත්වය නියෝජනය කරන අයෙකුගෙනි. ඊට ප්‍රතිචාර දක්වමින් තමාට මෙම විෂය ක්ෂේත්‍රය සමග ඇති සබඳතාව මෙන්ම තමා නියෝජනය කරන කොළඹ උපසංස්කෘතික ව්‍යුහයන් පිළිබඳව සැකෙවින් යමක් කියාපෑමට මෙහිදී විසාකේසට සිදුවිය. ප්‍රශ්න නැඟූ පුද්ගලයා ටික වේලාවකින් නිහඬවිය. එහෙත් සමකාමී සමාජය තුළ පවත්නා විවිධ උපසංස්කෘතීන් හා ගතිකයන්හි සංකීර්ණත්වය පිළිබඳ යම් අදහසක් අවදි සිහියෙන් සිටියවුන්ට ලබාගත හැකිවිය. (කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උළෙල තුළ මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුවද සමකාමී සමාජය නියෝජනය කරන්නෙකුගේ දැඩි ප්‍රශ්න කිරීමකට ලක්වන්නට විසාකේසට සිදුවිය.) මෙම ප්‍රේක්ෂාගාරය තුළ අන් දිනෙක හමුනොවන එදින පමණක් සහභාගිවූ මුහුණු වැඩි වශයෙන් දක්නට ලැබුණි. ඒ තමා ගැන කියැවෙන චිත්‍රපටයක් නැරඹීමට දැක්වූ උනන්දුව සහිතවූවන් විය හැකිය. අනෙක් අතිබහුතරයද, තමන් සමකාමීන් නොවූවද ඔවුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කරන අප වැන්නන්ය. කතාබහ අවසාන භාගයේදී බූපති නලින් චිත්‍රපටය ගැන තම අදහස් පළකළේය.



“මේ චිත්‍රපටයේ අවසාන දර්ශනයෙන් මෙතෙක් ගොඩනඟපු සමස්ත උපසංස්කෘතික දේශපාලනය බිඳවැටෙනවා. ව්‍යාජ මානවවාදී තැනකට තල්ලුවෙනවා. මේ තරම් සාමකාමී විදිහට මේ වගේ ප්‍රශ්නයක් බේරාගන්න පුළුවනි නම් ලංකාව මාර රටක් වෙන්න ඕනෑ” ඔහු තම අදහස මේ අයුරින් සම්පිණ්ඩනය කළේය. ඊට විසාකේසගේ ප්‍රතිචාරය වූයේ මෙවැන්නකි.

“මම මේ චිත්‍රපටය හැදුවේ සමකාමීන් ගෙදර ගිහිල්ලා වහ බොන තැනට නෙවෙයි. ඒ අය එල්ලිලා මැරෙන තැනකින් චිත්‍රපටය ඉවරවුණා නම්ද දේශ පාලනික වෙන්නේ? එහෙම වෙන්න ඕනෑ නෑ. මට සමාජයට දෙන්න පණිවිඩයක් තියෙනවා. ලංකාවේ සමකාමී සමාජය කුලකය තුළ ඉඳගෙන ඒක අන් අයට පිළිගැනීමට බලකරන වැඩක මං ඉන්නේ. ඒක යථාර්ථය තුළද, යථාර්ථයෙන් තොරද කියන කාරණය මට අදාළ නෑ”
                      චිත්‍රපටයේ අධ්‍යක්ෂ වරයාට තමා නිරතවන්නාවූ කලා භාවිතය සම්බන්ධ යෙන් අදහස් පළකිරීමටද, පෙනී සිටීමටද සපුරා අයිතියක් ඇත. තමා විසින් සිදුකරනු ලබන්නේ කලා කටයුත්තක්ද, එසේත් නැතිනම් යම් ප්‍රචාරාත්මක වැඩසටහනක්ද යන්න වුවද ප්‍රසිද්ධියේ පිළිගැනීමට හෝ පිළිනොගැනීමටද අයිතියක් තිබේ. එහෙත් අධ්‍යක්ෂවරයාගේ ඇසින් චිත්‍රපටය නැරඹිය යුතු යයි බලකිරීමට හෝ චිත්‍රපටය හා ගනුදෙනු කිරීමට පිවිසිය හැකි එකම මග මේ යයි අර්ථ නිරූපණ දීමට අයිතියක් ඇතැයි කිව නොහැකිය. මෙම අවස්ථාවෙන් පසුව සැබවින්ම සිදුවූයේ ප්‍රථමයෙන්ම විසාකේස ප්‍රශ්න කරනු ලැබූ ප්‍රේක්ෂකයාගේ සිට විසාකේස, භූමි, ආචාර්ය අශෝක ද සොයිසා ආදි බොහෝ දෙනෙකු එකම කඳවුරක සිට බූපතිට වාග් ප්‍රහාර එල්ලකිරීමය. සමකාමී අයිතිය පිළිගන්නා අතරම, චිත්‍රපටයේ අවසාන රූප රාමුව පිළිබඳ පමණක් වෙනස් මතයක් දැරූ බූපති එම අවස්ථාවේ පීඩිත සුළුතරයා බවට රූපාන්තරණයවී නිහඬවිය. වෙනත් අයුරකින් කිවහොත් “ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ ෆ්‍රැන්ජිපානි කතිකාවේ සමකාමී මහා ව්‍යුහය තුළ (මහා සංස්කෘතිය) සමකාමී අයිතිය පිළිගන්නා ‘විසමකාමි’යා (උප සංස්කෘතිය) සුළුතර පීඩිතයා බවට පත්කරනු ලැබිණි. හෝරා 3ට පමණ පසු වැඩසටහනට සමුදී ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ ගේට්ටුව පසුකරන අවස්ථාව වන විට නැවතත් කතිකාවේ මහා සම්ප්‍රදාය හෝ සංස්කෘතිය ගේට්ටුවෙන් එපිට ලෝකය තුළ චූල සම්ප්‍රදාය හෝ උප සංස්කෘතියක් බවට ඌනනය වී දියවී යන ලදී. එබැවින් සමකාමිත්වය පිළිගැනීම හෝ පිළිනොගැනීම චිත්‍රපටය පිළිගැනීම හෝ පිළිනොගැනීම තරමට කතිකාවේ හරස්කඩක් නිර්මාණයවීම කනගාටු දායක වන්නේ ‘අනෙකා නොඉවසීමේ දේශපාලනය’ කනගාටුදායක වීමේ තරමට අඩුවෙන් නොවේ.



                                            පාවුලේ ෆ්රයරේ මෙසේ පවසයි. “පීඩක හා පීඩිත ප්‍රතිවිරෝධතාව පිහිටන්නේ සංයුක්ත අවස්ථාවකදී බැවින්, එම විසංවාදයේ විසඳීම විෂය මූලිකව, සත්‍යක්ෂ (VERIFIABLE) විය යුතුය. මේ අනුව තමන් පීඩකයෙකියි ද නැතිනම් පීඩිතයෙකයිද තෙමේ තමා විසින්ම අවබෝධ කොට ගන්නා තැනැත්තාට- උන්මූලවාදියාට, පීඩනයට මූල හේතුව වූ සංයුක්ත අවස්ථාවම විපර්යාස විය යුතුය”(10වන පිටුව, සංවාදය සංවිධානය හා විප්ලවය).
එබැවින් ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයද, පදනම් ආයතනයද සංයුක්ත අවස්ථාවක් ලෙස ගැනීමේදී තත්ත්වය කෙරෙහි තවදුරටත් සමීප නිරීක්ෂණයක් ලකුණු කළ හැකිවනු නොඅනුමානය.
පදනම් ආයතනයේ පැවති සංවාදයේදී භූමි හරේන්ද්‍රන් පෙන්වාදී සිටියේ ඉස්ලාම් හා කතෝලික හෝ ක්‍රිස්තියානි ආගමික දර්ශනය හැඩගැසී ඇත්තේ රාජ්‍ය ගොඩනැඟීම, එය ව්‍යාප්ත කරලීම සඳහා යුද්ධ ක්‍රියාත්මක කිරීම, ප්‍රචණ්ඩත්වය සාධාරණීය කරණය කිරීම වැනි කාරණා තුළ වුවද, බුදුදහම හෝ හින්දු ආගම ඊට පරස්පර බවයි. එබැවින් කුරානය හෝ බයිබලය පදනම් කරගත් ආගම් විසින් යුද්ධය මෙන්ම යුද්ධයට පිරිස් බලය වඩ වඩාත් අවශ්‍ය බැවින් දරුවන් සෑදීමට බාල වයස් විවාහ පවා සාධාරණීකරණය කළ බවයි. එහිදී දරුවන් සෑදීම (නිෂ්පාදනය) මිස දරුවන් සෑදීම අරමුණු කොට නොගත් පවුල් හෝ ආදර සබඳතා (සමකාමී) තහනම් කිරීම හෝ පිළිනොගැනීම රාජ්‍ය කේන්ද්‍රීය අවශ්‍යතාවක් මත සිදුවූ බවයි. මෙය කරුණක් ලෙස නිවැරදි විය හැකිය. එහෙත් විදර්ශන විසින් එය කරුණක් ලෙස පිළිගැනීම හෝ නොගැනීම පසෙක තිබියදී මෙසේ කියා සිටියේය.



“ඒත් අද දවසේ සමකාමී අයිතිය පිළිබඳ යම් පිළිගැනීමක් ඇතිවී ඇත්තේත්, ඒ පිළිබඳ සාධනීය කතිකාවක් ඇත්තේත් ඔය කියන බයිබලය පදනම් කරගත් ආගමික පසුබිමක් ඇති රාජ්‍යයන්වල පමණක් නේද? එතකොට ආගමට ඔබ්බෙන් ඒ ගැටලු සම්බන්ධයෙන් මිනිස්සු සක්‍රියව සිදුකළ මැදිහත්වීමක්, එහෙමත් නැත්නම් කැපවීමක් තියෙනවා.”

                                           විදර්ශන විසින් ආගමට ප්‍රතිපක්ෂව මිනිසුන් විසින් සක්‍රීයව සිදුකරන ලද දේශපාලනික මැදිහත්වීම්, සංවාද, සාහිත්‍ය තුළින් එය කතිකාවක් බවට පත්වන බව පෙන්වාදීමට උත්සාහ කළද, භූමි කියා සිටියේ ඒ සඳහා වන විසඳුම ඇත්තේ හින්දු හෝ බෞද්ධ ආගම් තුළ බවත්, බටහිර අවශ්‍යතා මත පටවන ලද පුහු සදාචාරාත්මක හා නීතිමය කරුණු වෙනුවට නැවත පෙරදිග ආගමික හරයන් වෙත සමාජය නැඹුරුවීමෙන් මෙම ගැටලු නිරාකරණය වනු ඇති බවත්ය.
“පෙනී ඉන්නවා හෝ ඒ වෙනුවෙන් වැඩකරනවා එහෙමත් නැත්නම් සංවාද කරනවා කියන එකේ තේරුම මොකක්ද? මං ගෙදරින් එළවන කොට පාරට වැටෙන කොට ඒ ගැන කතා කරන්න කවුරුත් හිටියාද? මං අවුරුදු ගාණක් තිස්සේ මේ දේවල් ගැන කතා කරනවා. ඒත් කවුරුත් එන්නේ නෑ. කතා කර කර හිටියට මොකුත් වෙන්නේ නෑ. දැන් සුනිල් ටීලා මැදිහත් වෙලා මේ චිත්‍රපටය පෙන්නන්න ගත්තේ නැත්නම්, දෙරණ සම්මාන උළෙලේ මේක ඇගයීමට ලක්වුණේ නැත්නම් මේ චිත්‍රපටය ගැන මෙතැන සංවාදයක් වත් සංවිධානය වෙන්නේ නෑ” භූමි, තමන්ගේ සැබෑ අත්දැකීම් ආශ්‍රයෙන් කියන දේ කරුණු වශයෙන් සත්‍යයක් විය හැකිය.




                               අතහැරීම හෝ හුදකලාවීම වෙනුවට මේ මොහොතේ තමන් ප්‍රමුඛ සමාජයේ පරිධියට තල්ලුවී ගිය පුරවැසියන් කොට්ඨාස යකගේ අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කිරීමට ඇය තීරණය කිරීමම පැසසුම් කටයුතුය. එහෙත් ගැටලුව ඇත්තේ ඇයගේ භාවිතය තුළ නොව දේවල් තේරුම් ගැනීමේ මාදිලිය තුළය. ඇයට පෙරාතුවද, ලංකාව තුළ සමකාමී හා සංක්‍රාන්ති ලිංගිකයන්ගේ අයිතිවාසිකම් ගැන කතා කළ පුද්ගලයන් හා කුඩා කණ්ඩායම් ක්‍රියාත්මක විය. 90 දශකයේ අගභාගය වන විට රොහාන් පෙරේරාගේ මැදිහත්වීමද, එක්ස් කණ්ඩායමේ සංවාදයද ලාංකේය ලිංගිකත්වය පිළිබඳ හෙජමොනික අදහසට ප්‍රතිපක්ෂව පිහිටා තිබිණි. යම් යම් අඩුලුහුඬුකම් මධ්‍යයේ වුවද, සෘජුව හා වක්‍රව මෙකී චූල සම්ප්‍රදායේ කතිකාව කුඩා කණ්ඩායම් දේශපාලනය තුළද, එම කුඩා කණ්ඩායම්ද තනි පුද්ගල ඒකක ලෙස කැඩී බිඳී විසිරී ගියද මෙම කතිකාවේ නෂ්ටාවශේෂයන් ඉතිරිවී තිබිණි. සාහිත්‍යමය වශයෙන් දුර්වලතා ගහණ වුවද, දැනට වසර හත අටකට ඉහතදී ගීතා කුමාරිගෙන් “මල්පෙති මැද ළැව්ගිනි” කෘතිය බිහිවීමද මෙම කතිකාවට සමපාත වන බැව් මාගේ පුද්ගලික හැඟීමය. එම කෘතිය ජනගත කරලීම සිදුවූයේ ද, දීපා මෙහ්තාගේ “ෆයර්” චිත්‍රපටය ප්‍රදර්ශනය කරමින් වීමද මෙහිලා සිහිපත් කරනු වටී. ඒ අනුව භූමිට උපකල්පනය කළ නොහැක්කේ සුනිල් ටී චිත්‍රපටය බාර ගැනීම, දෙරණින් සම්මාන ලැබීම යන කාරණා සිදුනොවී වුවද, පදනම් ආයතනය වැනි තැනක ‘ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය’ වැනි පිරිසක් විසින් තමන් නියෝජනය කරන උප කුලකයක් ගැන කියැවෙන ‘ෆ්‍රන්ජිපානි’ වැනි චිත්‍රපටයක් ප්‍රදර්ශනය කෙරෙනු ඇති බවයි. ඒ පිළිබඳ කතාබහක් සංවිධානය වනු ඇති බවයි. භූමි නොදන්නේ තාමත් මහජන ප්‍රදර්ශනයට නොපැමිණි, ලාංකේය මහා සම්ප්‍රදායයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ චිත්‍රපට නරඹන ඒ ගැන කතා කරන, වෙනස්ව හිතන (තවත් අයට එහෙම හිතන්නට පොළඹවන) පිරිස් තැන තැන සක්‍රීයව සිටින බවයි. එහෙත් ගැටලුවක් තිබේ. එය නම් සුළුතරයාගේ (වාර්ගික/ භාෂාමය/සංස්කෘතික/ලිංගික) අයිතිය වෙනුවෙන් සංවේදී මෙන්ම ඒ වෙනුවෙන් පෙනී සිටින, හඬ නඟන පිරිස් හා සැබෑවට ප්‍රශ්නයෙන් පීඩා විඳින සුළුතරයන් එකිනෙකාට අභිමුඛ නොවීමයි. සංකේතාමකව පවසන්නේ නම් භූමිට විදර්ශන හමු නොවීමයි. සැබෑ ප්‍රශ්න වෙනුවෙන් සංවේදී මෙන්ම ඒ පිළිබඳ න්‍යායාත්මක දැනුමෙන් යුතු පිරිසක් එකී දැනුමෙන් අහසේ සංවාද කරමින් සිටින විට පොළොවේ ප්‍රශ්නය සමග පොරබදිමින් සිටින්නන් තවදුරටත් පොළොව තුළටම කිඳාබසිමින් දාර්ශනික හුදකලාභාවයේ ගිලී නොපෙනී යෑමේ අවදාන මකට ලක්වී සිටියි. ප්‍රශ්නයට විසඳුම විදර්ශනට දේශපාලන තලයක හමුවන විට භූමිට එය ආගමික තලයක හමුවීමේ අනිවාර්යතාවක කනගාටු දායක අහම්බය එයයි. අවාසනාවකට මෙම තල දෙක අතර අභිමුඛවීමේ යාන්ත්‍රණයක් නොමැතිවීම හේතුවෙන් සිදුවිය හැක්කේ සුනිල් ටීලා වැනි තක්කඩි වෙළෙන්දන් මෙම අවකාශය යාකිරීමේ වගකීම අතට ගැනීමය. පාවුලේ ෆ්රයරේ විසින් “පංතියක් වශයෙන් පීඩකයෝ, පීඩිත පංතිය කෙරෙහි දක්වන සෑම ප්‍රතිචාරයක්ම බොරු පරිත්‍යාගශීලිත්වයෙන් කිළිටි කරති.” යයි කියන්නේ ඒ නිසාය.
කුරානයේ හෝ බයිබලයේ කුමක් සඳහන් වුවද, එකී ආගමික ඉගැන්වීම් සඳහා බලපවත්වන ලද දේශපාලනික, සමාජීය අවශ්‍යතාවක් කෙබඳු වුවද, අද දෙවියන් වහන්සේගේ කැමැත්තට පිටින් සමකාමියාද පුරවැසියෙකු ලෙස සැලකීමේ වගකීම යුරෝපයේ ප්‍රමුඛ පෙළේ රටවල් බාරගෙන තිබේ. එනම් පොතේ කුමක් තිබුණද මනුෂ්‍යත්වය පෙරදැරිකරගත් කතිකා වකට අද එකී රටවල් තල්ලුවී තිබේ.



                                     ලංකාවේ අධිපති සිංහල-බෞද්ධ වාර්ගික ජාතිකවාදී කතිකාව තුළ කරුණාව, මෛත්‍රිය, යහපත් රාජ්‍ය පාලනය යනාදී ආචාර ධාර්මික අංගයන් පවා පවතී. බෞද්ධාගම අන්‍යාගම් කෙරෙහි පවා සහනශීලිය. එහෙත් මෙම සමස්තය තුළ “ද්‍රවිඩ විමුක්ති සටන්කාමියාටද මෛත්‍රිය කළ යුතුය” යන අර්ථය නොමැත. එක් අතකින් ද්‍රවිඩ සටන්කාමියා මෙම සමස්තයෙහි ‘පිටත’ යයි අපට පැවසිය හැකිය. අනෙක් අතට එම සමස්තය තැනී ඇත්තේම ද්‍රවිඩයා බහිෂ්කරණය‍ෙ( externa lization) කිරීමෙන් යයිද පැවසිය හැකිය. භාෂාව මගින් මෙම මූලික පසමිතුරුතා සම්බන්ධය වසන්නට කෙතරම් ප්‍රයත්න දැරුවද ඊට හැකියාවක් නොවේ. සමකාමියාටද එය අදාළය. ඉවසීම, කරුණාව, මුදිතාව, උපේක්ෂාව, මෛත්‍රීය, සමානාත්මතාව, පිළිබඳ බෞද්ධ පතපොතේ ඉගැන්වීම් කෙතෙක් වුවද, ඒ අවස්ථාව සමකාමියාට ලබාදෙන්නට සිංහල-බෞද්ධයා ඉදිරිපත් වන බවක් නොපෙනෙයි. අනෙක් අතට එය ‘ලබාදීම’ යන්නම දෝෂ සහිතය. එය සමකාමියා විසින් කිසිවෙකු අත තිබී තමා විසින් ලබාගන්නා දෙයක් නොව තමාගේම අයිතියක් බැව් අනෙකා විසින් පිළිගත යුතුය. ඒ අර්ථයෙන් යුරෝපයේ සමකාමීන්ට ඉඩක් ලැබුණේ ඒ බව පොතේ නොතිබීම නිසා නොවන්නා සේම ලංකාවේ ඉඩක් ලැබෙන්නේ නම් ලැබෙන්නේද, ඒ ගැන පොතේ තිබීම නිසා නොවනු ඇත. පොතයි ජීවිතයයි අතර පවත්නා පරතරය පියවනු ඇත්තේ මනුෂ්‍යත්වය වෙනුවෙන් සිදුකරන්නාවූ මිනිස් මැදිහත්වීම් විසිනි.




                                          මෙම චිත්‍රපටයේ සාකච්ඡාවට බඳුන්වන්නේ ආදරය වේවා, සමකාමීන්ගේ අයිතිය වේවා ඒ වෙනුවෙන් එක පෙළට සිටගන්නට අපටද හැකිය. එහෙත් චිත්‍රපටයක් ලෙස සැලකීමේදී යම් යම් දුර්වලතාවන් පවත්නා බව පිළිගන්නට සිදුවීම ඊට බාධාවක් ලෙස නොසැලකිය යුතුය. “ඇඳුම් අඳින්නෙ ගැහැනු වෙන්න නෙවෙයි. විරෝධය පාන්න” යයි කියන විට සිනමාවේ රූප භාෂාව හෝ සිනමා උචිත වාග් මාලාවක් වෙනුවට ප්‍රොපගැන්ඩාවක භාෂාව ඉස්මතුවී දැනෙයි. නලින් හා සරසි අතර සබඳතාවකට ආර්ථික හා සමාජීය හේතු පසුබිමෙන් පෙළගැසෙනවිට (විවාහ යෝජනා/ වයස/ අපල/ ව්‍යාපාරික ස්ථානය /මෝටර් රථය) නලින් හා චමත් අතර ආදර සබඳතාව ආදරණීය වන්නේ අඩුවෙනි. පන්සලට කෑම ගිහින් දීම, වැඩපළට සහාය වීම වැනි අතිශය සරල ඕනෑම මිතුරන් දෙදෙනෙකු අතර පැවතිය හැකි හිතවත්කමක සීමාවෙන් ඔබ්බෙහි සංකීර්ණ මිනිස් සම්බන්ධයක් ගොඩ නැඟීමක් ප්‍රේක්ෂකයාට දැනවෙන්නේ අඩුවෙනි. ඒ නිසාම නලින් හා චමත් අතර සිදුවන සිපගැනීම් ආදරණීය වීම වෙනුවට ආක්‍රමණශීලි ආවේගයන් පිටවීමක් බවට පත්වෙයි. පන්සලේ මනාල-මනාලි වැඩසටහනද කතාවට බලහත්කාරයෙන් ඔබ්බවන ලද සිද්ධි ගැළපීමක් මිස එහි විකාශය තුළ සහසම්බන්ධ නොවන තරම්ය. මෙවන් යම් යම් සාපේක්ෂ දුර්වලතා කිහිපයක් අතරේ වුවද, දසුන්, ජෙහාන් හා නවක තරුණියගේ රංගනයන් අති විශිෂ්ටය. රඟපෑම වෙනුවට චරිත තුළ මැනවින් ජීවත්වීම සිදුකරයි. කුලරුවන්ගේ කැමරාවද, සිතුම්ගේ සංස්කරණයද චිත්‍රපටයට සාර්ථක හැඩයක් ලබාදී තිබේ. අවසාන වශයෙන් මේ චිත්‍රපටය විසාකේසට අනුව ආදරය හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ චිත්‍රපටයකි. භූමිට අනුව විවිධත්වය පිළිබඳ චිත්‍රපටයකි. කුලරුවන්ට අනුව ඩිජිටල් ෆිල්ම් ඇකඩමියෙන් ඉගෙන ගෙදර සිටිද්දී වැඩක් පෙන්නන්න ලැබුණු අවස්ථාවකි. සිතුම්ට අනුව ආදරය පිළිබඳ චිත්‍රපටයකි. කුමුදුට අනුව විසාකේසගේ යාළුකම නිසා මොන කට්ටක් කා හෝ පෙන්විය යුතු චිත්‍රපටයකි. සුනිල් ටී ට අනුව ශාන්තා, කුමුදු, ෂර්ලි ආදින්ගේ කරදරය නිසා අන්තිමට ප්‍රදර්ශනයට කැමැත්ත දෙන්නට සිදුවූ චිත්‍රපටයකි. කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවියට අනුව තමන්ගේ නිබන්ධනයට අත්‍යවශ්‍ය වූ සමකාමී ආදර චිත්‍රපටයකි. හේගල් තම චිත්ත ප්‍රපංචවේදයේ සඳහන් කළ පරිදි “ස්වාධීන පුද්ගලයෙකු විය හැක්කේ, “ස්වාධීනත්වය ගෙනෙන “භීතිකාව”ට බිය නොවී ඒ අරබයා “ජීවිතය පරදුවට හා අවදානමට” ලක්කිරීමෙනි. ඒ අනුව ෆ්‍රැන්ජිපානි චිත්‍රපටය මට දැනෙනුයේ හිමිකම හා ස්වාධීනත්වය වෙනුවෙන් විසාකේසලා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් ගනු ලැබූ අවදානමක් ලෙසය.





(2016 නොවැම්බර් 20 රාවය පුවත්පතේ පළවිය.)

No comments:

Post a Comment