Wednesday, August 23, 2017

ධර්ම නොවන ධර්ම යුද්ධය


                       


"දෘෂ්‍යම්" නමින් මලයාලම් භාෂාවෙන් චිත්‍රපටයක් නිර්මාණය වන්නේ 2013 දීය.  එය කන්නඩ භාෂාවෙන් ඩ්‍රිෂ්යා ලෙස 2014දීද, එම වසරේදීම තෙලිඟු භාෂාවෙන්ද, 2015 වසරේදී  ද්‍රවිඩ භාෂාවෙන් පාපනාසම් ලෙස ද, නිර්මාණයවූ අතර එහි සිංහල පිටපත මේ දිනවල'ධර්ම යුද්ධය'නමින් අපට දැකබලා ගත හැකිය. ඩ්‍රිෂ්‍යුම් මුල් නිෂ්පාදනය, කේරළයේදී පළමුවරට තිරගත වූ අවස්ථාවේදී දින එකසිය පනහක් ප්‍රදර්ශනය වෙමින් බොක්ස් ඔෆීස් වාර්තා තැබූ සිනමා නිර්මාණයක් වූවා පමණක් නොව කේරල ප්‍රාන්ත සිනමා උළෙලෙහි දී සම්මානයෙන් පිදුම් ලබන්නේ, වසරේ හොඳම ජනප්‍රිය චිත්‍රපටය ලෙසයි.

                            මෙහිදී අපගේ අවධානයට ලක්විය යුත්තේ දකුණු ඉන්දියානු චිත්‍රපටයක කොපියක් වන්නා සේම, නිර්මාණාත්මක වශයෙන් දුර්වලතා කොතෙක්  පැවතියද, මෙම චිත්‍රපටය මෙතරම් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබමින් ලංකාවේද තිරගත වන්නේ මන්ද යන්නයි. තිරගතවීම ආරම්භවීමෙන් පසු ඉතා කෙටි කලක් තුළ ආදායම් වාර්තා තැබුයේ මන්ද යන්නය. බොහෝ දෙනෙකුගේ ජනප්‍රිය අර්ථ දැක්වීම වන්නේ මෙම චිත්‍රපටයේ නිෂ්පාදන දායකත්වය සිරස නාලිකාව ඇතුළු කැපිටල් මහාරාජා සමාගම වීමෙන් ඊට අපමණ ප්‍රචාරණයක් ලබාදීම හේතුවෙන් මේ සා ජනප්‍රියත්වයට පත්වූ බවයි. එහි සත්‍යයක් පවතින නමුත් 'සාර්ථකත්වයේ රහස' මුළුමනින්ම එය නොවන බැව් අපගේ හැඟීමය.

                        මෙම චිත්‍රපටයේ තේමාව ඉතාමත් සරල කතන්දරයකි. ලංකාවේ ධනාත්මක චින්තකයන්ගේ සිල්ලර භාෂාවෙන් පවසන්නේනම් 'දුක දිනා ලොව ජයගත් මිනිස්සු' අර්ථයෙන් මෙම චිත්‍රපටයේ කතා නායකයා වන හරිස්චන්ද්‍ර මුදලාලි කුඩා කල එලෙස දුක් විඳි තමාගේ යයි කිවහැකි කිසිවෙකු නොමැති අයෙකි. පසුව ඉඩකඩම් දේපළ වෙළදාම් තුළින් සාර්ථකත්වය අත්පත් කරගත් අයෙකි. හිටි අඩියේම තම දියණියට අනපේක්ෂිත හිරිහැරයකට ලක්වන්නට සිදුවීමෙන් එයට මුහුණදීමේදී සිදුවූ අහඹු ඛේදජනක මරණයක්  හේතුවෙන් ඝාතන චෝදනාවන්ගෙන් හා නීතියෙන් ගැලවීමට අවසන් මොහොත දක්වාම උපක්‍රමශීලිව හා අධිෂ්ඨානයෙන් යුතුව අරගල කරන පුද්ගලයෙකි. එහෙත් පළමු හා අවසාන රූප රාමුදෙක පූර්වාපර ගැලපීමේදී වටහා ගත යුත්තේ හරිස්චන්ද්‍ර මුදලාලි යනු ඇප ලබා ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපති ඉදිරියේ සෑම මසකම අවසන් ඉරිදා අත්සන් තබා යන සැකකරුවෙකු බවය. එනම් නිර්දෝෂි අයෙකු නොව තවදුරටත් සැක සහිත පුද්ගලයෙකු යන කාරණයයි. මෙවන් සරල කතන්දරයක් තුළ වුව ප්‍රෙක්ෂකයා වඩාත් ඇදබැද තබාගැනීමට සමත් විජ්ජාව කුමක් විය හැකිද? එය කියවා ගැනීමේ යතුර ඇත්තේ ලාංකිකයාගේ එදිනෙදා ජනජීවිතය ගැටගැසී පවත්නා දෘෂ්ටිවාදය තුළ හා ලාංකිකයාගේ ෆැන්ටසිය තුළ බැව් අපගේ හැඟීමය.

                         අල්තුෂරියානු අර්ථයෙන් ගත්තද, ග්‍රාම්ස්චියානු අර්ථයෙන් ගත්තද, පවුලෙන්-ආගමෙන් දහමෙන්-සන්නිවේදන උපකරණයන්ගෙන් ප්‍රතිනිෂ්පාදනය වන්නේද, අඛණ්ඩව නඩත්තු වන්නේද, එකිනෙකට නොපෑහෙන පරස්පරයන්ගෙන් ගහණ දෘෂ්ටිවාදයකි. මෙය සතුරාට පවා මෛත්‍රී කළ යුතු යයි උගන්වන ආගමික පරිසරයක හැදීවැඩෙමින් 'ද්‍රවිඩයාට හො මුසල්මානුවාට' මෛත්‍රී තබා සමානත්මතාවයෙන් හෝ නොසලකන සිංහල-බෞද්ධ බහුතරයකගේ ප්‍රජාතන්ත්‍රවාදය හිස් මුදුනින් පිළිගන්නා සමාජයකි. යුධ මෙහෙයුමක් කිසිසේත්ම 'මානුෂික' විය නොහැකි වුවද, 'මානුෂික මෙහෙයුම' නම් මිලිටරි ක්‍රියාදාමයෙන් ලක්ෂ ගණනක් ඝාතනයට ලක්ව, තවත් ලක්ෂ ගණනාවක් අවතැන් කිරීම 'හිංසාවක්' ලෙස බාර ගැනීම තබා ඒ පිළිබද කිසිදු වරදකාරී හැඟීමක් සිංහල දකුණට ජනනය නොකරන්නේ දෘෂ්ටිවාදය කෙතරම් තීරණාත්මකවී ඇත්ද යන වගයි. යුද්ධයක්ද, කිසිසේත්ම 'ධාර්මික' නොවන නමුත් මෙම චිත්‍රපටයද, 'ධර්ම යුද්ධය' වී ඇත්තේ එහි සරල කතන්දරය තුළ සැගවී පවත්නා ඝාතනයක් වසන් කිරීම, සාධාරණීයකරණය කිරීම උදෙසා බලහත්කාරයෙන් පෙළගස්වන රූපරාමු දාමයක විජ්ජාව නිසාමය.

                    මෙම චිත්‍රපටයේ පවුල අපගේ ෆැන්ටසියයි. අපගේ ආශාවයි. අපගේ සිහිනයයි. දකුණු ඉන්දියානු ටෙලිවල මහා මන්දිරවල, දිදුලන සාරි, රත්‍රන් මාල හත් අට පොටක් පැළඳ නිදා ගන්නා ශෘංගාරය දනවන මධ්‍යම පාන්තික ස්ත්‍රී ශරීර වලට ආසක්ත වන්නාසේම අපට අහිමි නමුත් අප ආශා කරන අපට ගැලපෙන වර්ගයේ පවුලක් ලෙස 'ධර්ම යුද්ධයේ' හරිස්චන්ද්‍රගේ පවුල අපගේ සිහින ලෝකයට කඩාවදියි.  ලාංකිකයාගේ මේ මොහොතේ සැබෑ පවුල තුළ දෛනික ජීවිතයේ අනේකවිධ ගැහැට බහුලය. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉහළය. එක රස්සාවකින් යැපෙන්නට අසීරු බැවින් රාත්‍රී වැඩ මුර එක පෙළට ගැට ගසන, පාර්ටි ටයිම් වෙන රස්සා හොයන, කාර්ය බහුල නිසාම පවුලේ සාමාජිකයින් සියලුදෙනාට කිසි දවසක එක කෑම මේසයකට එකට වාඩිවෙන්නට අවස්ථාව නොලැබීම එහි අනිවාර්යතාවයයි. පවුලේ නැති ආදරය සොයා සමාජයට වැදීමෙන්  පවුල් ප්‍රශ්න පැටව් ගැසීමත්, තාවකාලික ලැගුම්හල්වල යතුරුහිලෙන් රූගතවන වීඩියෝ අන්තර්ජාලයේ යූ ටියුබය තුළ සැරිසරමින් ලෝකයේ අංක එකට 'සෙක්ස්' සොයන ජනයාවීමේ වාර්තාව තැබීමත් එහි පසුබිමේ පවතියි. මේ සියලු කාරණා මාධ්‍යයේ අඹු-සැමි ආදරයත්, මා-පිය දූදරු ආදරයත් ඉහවහා ගිය මෙවන් චිත්‍රපටයක ආදරයට ලාංකේය ප්‍රේක්ෂකයා වහවැටීම අහම්බයක් නොවේ.

                  ඒ අනුව අපගේ ෆැන්ටසියවූ ආදරය පිරුණු පුංචි පවුල ඉතාම කෙටි කාලයක් තුළ මිහිපිට අපායක් බවට පත්කරනු ලබන්නේ ප්‍රභූ පවුලක අමන තරුණයෙකි. පවුලේ වැඩිමහල් දියණිය වන අචිනි ඇදුම් මාරුකරන දර්ශනයක් හොරෙන් රූගත කොට එකී ජංගම දුරකථනය ඇයට පෙන්වා ඇයගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමෙන් නොනවතින ඔහු ඇය තම අවශ්‍යතාව ඉටුනොකරන්නේනම් ඇයගේ මව හෙවත් හරිස්චන්ද්‍රගේ බිරිද හෝ එය ඉටුකළ යුතු බව අවධාරණය කරයි. එවිට ප්‍රේක්ෂකයා ත්‍රාසය මුසු හැගීමකින් වෙලීයන අතරම ඔහු හෝ ඇය ප්‍රාර්ථනා කරනු ලබන්නේ 'මූට නම් හොදක් වෙන්න එපා' යන්නමය. එකී ප්‍රාර්ථනාව මල්ඵල ගන්වමින් ඊළග මොහොතේ ඔහු පහරකා මළ මිනියක්ව ඇදවැටෙයි. එතැන් සිට ප්‍රේක්ෂකයාගේ ආශාව කුළු ගැන්වෙන්නේ තම ආදර්ශවත් පවුල නීතියෙන් ගැලවිය යුතුබවේ දිශානතියටයි. ප්‍රභූ පවුල්වල අමන තරුණ පුතුන් තම දේශපාලන බලය හා මුදල් බලය තුළින් සාමාජශාලාවල පිස්සු නටනවිටත්, තරුණියකට නිදහසේ පාරේ බැස යා නොහැකි ලෙස අයුතු බලපෑම් කරනවිටත් එය හුදෙක් ඔවුන්ගේම 'ජඩකම' ලෙස වටහාගැනීමට මිස ඔවුන්ගේ ජඩකමට, ඒ බලය ගොඩනගාගැනීමට තමන් දුන්නු තල්ලුව පිළිබද අමතක කරදමයි. මේ නිසාම අනුන් නීතිය කඩනවිට කුලප්පු වන තරමට තමන් නීතිය කැඩීම සම්බන්ධයෙන් එතරම් තැකීමක් කරන්නේ නැත. මේ හේතුව නිසාම වරදකරුවන් විනාශ කිරීම මිස වරදට තුඩු දුන් සමාජ-දේශපාලනික-සංස්කෘතික කාරණාවන් කෙරෙහි වධවීම ලාංකියාගේ සිරිත නොවේ. මේ අර්ථය චිත්‍රපටයට ආදේශ කරන්නේනම් තරුණයාගේ අකල් මරණය සිදුවිය යුත්තක් සේම නීතියෙන් ගැලවීමට තම ෆැන්ටාස්මික පවුල විසින් බොරු ගොතා කීම සාධාරණීයකරණය වෙයි. මෙහි වඩාත් පුළුල් හරස්කඩ ලෙස පොලීසියට බෝම්බ දමා ගසන්නට ගිය බව පවසා අපරාධකරුවන් නීතියට පිටින් ඝාතනය කිරීම පවා ඉවසා සිටීමත්, 'ඕකුන්ට ඔහොම තමයි කරන්න ඕන' කියන සමාජ මතයත් නිර්මාණයවීම පෙන්වාදිය හැකිය. ඒ අනුව 'ධර්ම යුද්ධය'ට ලාංකේය ප්‍රේක්ෂාගාරය තුළද, වැඩි ජනප්‍රියත්වයක් හිමිවීම අහම්බයක් නොව අනිවාර්යතාවකි.

                        මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය, කැමරාකරණය, සංස්කරණය ආදී ප්‍රමුඛ කාරණාවන් සියල්ල සිදුවන්නේ ඉන්දීය ශිල්පීන් අතිනි. නිෂ්පාදනය සිරස මාධ්‍ය ජාලය ප්‍රමුඛ මහාරාජා සමාගම විසින් සිදුකරන නිසාම අතරින් පතර එහි වෙළදදැන්වීම්ද නොමදව දකින්නට ලැබෙයි. මාධ්‍ය ජාලයක හයිය කියාපෑම වෙනුවෙන් අවස්ථා ගණනාවකදීම රූපරාමු ගණනාවක් භාවිතා කිරීම දැක ගත හැකිය. "දඹුලු ගිහින් තලගොයින්ද මරාගෙන ඒම" ලාංකේය මුදලාලිලාගේ කලාව බැවින් එහි විශේෂත්වයක් නොමැත. තරුණයාගේ ජංගම දුරකථනය විනාශ කළ අවස්ථාවේදී දුර රූප රාමුවක දිස්වන්නේ එහි මොබිටෙල් වර්ගයේ භාවිතා නොකරන ලද අලුත් සිම් කාඩ්පතක් එහි දවටනයද සහිතව පවතින බවකි. පසුව එය පත්තර කඩදාසි දෙකකින් අහුළන අවස්ථාවේදී භාවිත අවස්ථාවේ පවත්නා සිම් කාඩ්පතක් බවට පරිවර්තනය වෙයි. මෙවන් දෝෂද තැනින් තැන දැකිය හැකි වුවද, ඒ සියල්ල පරදවා ප්‍රතිරූපයක් ලෙස විනාශවී තිබුණු ජැක්සන්ගේ විශිෂ්ට රංගනයද, ප්‍රේක්ෂකයා ආශා කරන කතන්දරයක නිර්මාණාත්මක සමෝධානයක්ද මතකයේ රැන්දීමට 'ධර්ම යුද්ධය' සමත්වන බැව් නොකියා බැරිය.


- ප්‍රියාන් ආර් විජේබණ්ඩාර (2017-08-22/දිනමිණ)

No comments:

Post a Comment