Sunday, February 5, 2017

නැතුව බැරි මිනිහෙක් නැතුව කොහොමද?




       නූතන සංස් කෘතියේ නරකම හැඟවුම්කාරකය ලෙස ෂෝන් බෞඩිලාද් අර්ථ ගන්වනුයේ පැරීසියේ පොම්පිඩු මධ්‍යස්ථානයයි. මෙම ගොඩනැගිල්ලේ ඇතුළාන්තය සංස්කෘතික මතකයක් (කෞතුකා ගාරයක්) ලෙස ඉදිරිපත් කිරීමට උත්සාහයක් ගෙන තිබුණද, එය වඩාත් ළංවන්නේ සුපිරි වෙළෙඳසැලකටය. එබැවින් සමස්ත ගොඩනැගිල්ලෙන් හඟවනුයේ සංස්කෘතියේ අතුරුදහන්වීමක් බැව් බෞඩිලාද් පෙන්වාදෙයි. වඳ සංස්කෘතියේ භෞතික විනාශය සමග එයට අභියෝග කිරීමට පොදු ජනතාව කැමතිය. මිනිසුන් 30,000 ක් ගොඩනැගිල්ල තුළ සිටියදී එය කඩාවැටීමට හැකිය. බෙයාර්බොග්හි ජනතාව පිළිබිඹු වන්නේ සංස්කෘතිය මත නොව එය ස්පර්ශ කිරීම, අනුභව කිරීම, සහ හොරකම් කිරීම මතය. මෙම සංස්කෘතික ප්‍රචණ් ඩත්වය උත්කෘෂ්ටභාවයට වඩා වැඩි බර පැටවීමක් හා ඇතුළත පිපුරුමක් වූවක් බැව් හෙතෙම පෙන්වාදෙයි. එනම් සංස්කෘතිය ආරක්ෂා කරන මුවාවෙන් එය විනාශ කිරීමේ මධ්‍යස්ථානයකි. රාජිත දිසානායකගේ නවතම නාට්‍ය නිර්මාණය වන ‘නැතුව බැරි මිනිහෙක්’ කෘතිය පිළිබඳ අවධානය යොමුකිරීමේදීද, ලාංකේය මේ මොහොත තුළ සංස්කෘතිය ආරක්ෂා කිරීමේ මුවාවෙන් එය ස්පර්ශ කිරීමෙන්, අනුභව කිරීමෙන් හෝ හොරකම් කිරීමෙන් එදාවේල යැපෙන්නන්, ජාතිය ආරක්ෂා කරන මුවාවෙන් තම පැවැත්ම ආරක්ෂා කරගන්නන්, ජීවත්වීම වෙනුවට ජීවිතය ගනුදෙනුවක් පමණක් බවට ඌනනය කරගත්තවුන් පිළිබඳ හරස්කඩකි.

‘ආණ්ඩුවකට නැතුව බැරි මිනිහෙක් වෙනවා කියන එක හිතන තරම් ලේසි නෑ පුතා. උන්ට මාව ඕනෑ නැති දවසට මට යන්න වෙනවා හිරේයැ’යි ප්‍රධාන චරිතයයැ’යි කිවහැකි ජයන්ත (ධර්මප්‍රිය ඩයස්) කියයි.
බැලූබැල්මට සරල වැකියක්යැ’යි කිවහැකි වුවද මේ මොහොතේ දේශ පාලනයේ අව්‍යාජ ප්‍රකාශනය පමණක් නොව එය සරල වන තරමටම ලාංකේය සමාජ සත්තාව තුළ සංකීර්ණ ක්‍රියාදාමයක ඛේදවාචකය ප්‍රේක්ෂකයාට අභිමුඛ කරවයි. රාජිතගේ මෑත කාලීන නාට්‍ය නිර්මාණවල විශේෂයෙන්ම ‘ආපසු හැරෙන්න බෑ’, ‘බකමූණා වීදිබසියි’ වැනි නාට්‍යයන්හි ප්‍රස්තූතය වූයේ තත්කාලීන දේශපාලනයයි. නවතම නාට්‍ය නිර්මාණයද මෙම ක්‍රියාදාමයේම දිගුවක් බැව් කිවහැකිය.



                                      2015 ජනවාරි 08 වනදායින් පසුව ලාංකේය භූදේශපාලනය තුළ බොහෝ වෙනස්කම් වේයැ’යි බොහෝ දෙනා කල්පනා කළහ. සාපේක්ෂ වශයෙන් යම් යම් සුබවාදී වෙනසක් සඳහා ප්‍රවේශයන් අත්දැකිය හැකිවුවද ජනයා බලාපොරොත්තු වූ තරමේ කාර්යක්ෂමභාවයක් දකින්නට නොලැබිණි. ජනතාව ප්‍රතික්ෂේප කළ දේශපාලන චරිත ජාතික ලැයිස්තුවෙන් යළි පාර්ලිමේන්තුවට තේරී පත්වූවා පමණක් නොව ඔවුන්ට අමාත්‍යධුර පවා හිමිවිය. වෙනත් අයුරකින් දක්වතොත් වෙනස් මුහුණු වෙනුවට පැරණි මුහුණුම යළි ප්‍රාදුර්භූත විය. මෙම නාට්‍යයේ ප්‍රධාන චරිත රංගනය හෙවත් ව්‍යාපාරික ජයන්තගේ සහය දිනාගන්නා දේශ පාලනඥයාද (වේදිකාව තුළ දක්නට නොලැබෙයි.) මීට පෙරාතුව ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කොට පසුව මැතිවරණයෙන් පරාජය වුවද පවත්නා ආණ්ඩුවට හේත්තුවී යළිදු අමාත්‍යධුරයක් ලබාගනියි. මූලාරම්භයේදී ජයන්තටද තම නායකයා කෙරෙහි පවත්නේ අප්‍රසාදයකි. ‘යකෝ පැරදිලත් මුන් දිනුම්. හොඳ වෙලාවට මුන් ක්‍රිකට් කවුන්සිලයේ නැත්තේ. එහෙම වුණානම් අවුට් වෙච්චි උන් ආයෙම බැට් කරන්න කැඳවනවා.’
ජයන්තගේ ඉහත ප්‍රකාශය තුළ ඇති සරදම සුළු කොට තැකිය නොහැකිය.

                                     ඉකුත් පාලන තන්ත්‍රය සමඟ සමීපව කටයුතු කළ බොහෝ දෙනෙකුට පසුකාලීනව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත නිතර කැඳවීම් ලැබෙයි. මෙම කැඳවීම් ගැන රජයේ ප්‍රකාශකයන්ගේ පාර්ශ්වීය ප්‍රකාශයද, කැඳවීමට ලක්වූ තැනැත්තා තමා කැඳවූ සැබෑ හේතුව හෝ නොකියා එය දේශපාලන පළිගැනීමක් වන්නේ කෙසේදැයි තහවුරු කිරීමට කරනු ලබන ප්‍රකාශයද ප්‍රසිද්ධ මාධ්‍යයට වැදගත්ය. අවසන ඉතිරිවන්නේ මාධ්‍ය සංදර්ශන මිස කිසිවක් නොවේ. එහෙත් ඒ සියල්ල අතරේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවනු ලබන්නන් තමන් එසේ කැඳවීම තුළින් තමන් විසින් කාලයක් තිස්සේ උපයා ගනු ලැබූ සංකේතීය බලය විනාශවී යා නොදීමට කුමක් හෝ ගනුදෙනුවකින් ප්‍රශ්නය ගොඩින් බේරා ගැනීමේ ක්‍රියාදාමයකට තල්ලුවෙයි. එහෙත් ජනතාවට කොළේ වසා ගසන මේ සූදුවට හේට්ටු කිරීමේ බලය හිමිවන්නේ ජනතාවගෙන්මය. ලංසුවට තබන්නේ ජනතාවය. විකිණෙන්නේ ජනතාවය. දහස් ගණන් කැටුව පාදයාත්‍රා සංවිධානය කොට ප්‍රසිද්ධ මාධ්‍යයට ප්‍රකාශ ලබාදෙමින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසුරුවන ලෙස ආණ්ඩුවට බලකරන බව කීමට ලජ්ජා නොවන්නේද ඒ නිසාමය. රට නොව තමාය. තම පවුලය. රටක් යනු සීමා සහිත සමාගමක් නොවන බව මොවුන් නොදන්නේ තමන් එය සමාගමක් ලෙස සිතා කටයුතු කළා විනා රටක් ලෙස සිතා කටයුතු නොකළ නිසාමය. මේ අයුරින් ජාතික මට්ටමේ ඊනියා නායකයන් පාදයාත්‍රා සෙනඟ පෙන්වා තමාට හෝ තම පවුලට එරෙහිව සිදුකෙරෙන පරීක්ෂණ නවත්වන ලෙස සෘජුවම වගකිවයුත්තන්ට බලකරන විට ප්‍රාදේශීය මට්ටමේ හෙංචයියන්ට අවශ්‍ය වන්නේ සමූපකාර ඡන්දයක, වෙළෙඳ බලමණ්ඩලයක හෝ සභාපති ලෙස වැඩි ඡන්දයෙන් පත්වෙන්නටය. මෙම නාට්‍යයේ ජයන්ත ද, ‘ලොක්කට තියෙන්නේ පක්ෂෙන් අයින්වෙන්න නෙවෙයි පවුලෙන් අයින් වෙන්න’ කියා ප්‍රසිද්ධියේම කියන්නේ හිටපු පාලකයෙකුට බැව් පැහැදිලිය. එලෙස කියන ජයන්ත ද උත්සාහ කරන්නේ සිංහල වෙළෙඳ බලමණ්ඩලයේ සභාපති වෙන්නටය. සභාපතිවීද, නොවීද යන ගැටලුව නොවිසඳී තිබියදී වුව හෙතෙම තමන්ගේ දේශපාලනඥයා කටයුතු කළා සේම සාර්ථක ඩීල් එකකින් පවත්නා පාලන තන්ත්‍රයටම හේත්තුවෙයි. එවිට මූලාරම්භයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනීසිටින ලෙස නියෝග කරන ලද ලිපිය රැගෙන පැමිණි පොලිස් නිලධාරියා ජයන්තගේ සුවච කීකරු ගෝලයෙකු බවට රූපාවතරණය වෙයි. රාජිත දිසානායකගේ බොහෝ නාට්‍ය නිර්මාණ සේම මෙම නාට්‍ය නිර්මාණයේද, කූටප්‍රාප්තිය පොල්ලකින් හිසට තඩිබෑවා සේ ප්‍රේක්ෂකයා තිගැස්මකට ලක්කරයි. එසේම එය තවත් එක් අවසානයක් බවට සනිටුහන් නොකොට ජයන්තලා සේම කටයුතු කරන බොහෝ නායකකාරකාදී දැවැන්ත යන්ට වැරදිය හැකි තැනක ඉඟි පළකරයි.



                            තමාට අභියෝගයක් විය හැකි, තමා අභියෝගයට ලක්විය හැකි අවස්ථාව කිසිසේත්ම උදාවිය යුතු නැතැයි තරයේ විශ්වාස කරන ජයන්ත අවසන් වරට මත්පැන් වඩියකින් සැහැල්ලුවීමට උත්සාහ දරන අවස්ථාවේදී ඔහු තම හෙංචයියා වන ඥාති කරූට කියන්නේ මෙවැන්නකි. ‘කාට මොනව වෙනවාද කියන එක මට අදාළ නෑ. ඒත් අපේ එවුන්ට මොකුත් නොවන බව මට විශ්වාසයි’ එහෙත් සිදුවන්නේ එය නොවේ. නගරයේ ප්‍රසිද්ධ උපවාසය ළඟ වේදිකාවේ ප්‍රකාශය සිදුකරන්නේ කවුරුන් වුවද එය සිදුනොවිය යුතු තැනට කටයුතු කරන ලෙස උපදෙස් දී (දුර සිට වෙඩි තබා ඝාතනය කරන ලෙසයැ’යි ඇඟවෙයි.) බලා සිටින ජයන්තට නිවසේ රූපවාහිනි යන්ත්‍රයෙන් දැකබලා ගැනීමට හැකිවන්නේ එම ප්‍රකාශය සිදුකරන්නේ තමාගේම දියණිය බවයි. තනි තනි පුද්ගලයා තම පවුල, තම ගුරු කුලය, තම දේශපාලන කණ්ඩායම ආදි වශයෙන් ‘පුද්ගලිකත්වය’කෙතරම් දුරට ප්‍රසාරණය වුවද, ඉන් පරිබාහිරත්වය සතුරා බවට පත්කොට තමාගේ ආරක්ෂාව සලසා ගැනීමට නිරන්තරයෙන් අවධානය යොමු කරයි. සමාජයට, රටට හෙණ ගැසුවද තමාට ගැටලුවක් නොවන්නේයැ’යි තරයේ විශ්වාස කරයි. දේශපාලනය යනු තමාට අවැදගත්ම තේමාව බව ඇතැම්හු ඒත්තු ගන්වන්නට උත්සාහ කරති. එහෙත් පුද්ගලයන් යනු ඕපපාතිකයන් විශේෂයක් නොව සමාජ සබඳතා ජාල සමූහක කොටස්කාරයන් පමණක් බවත්, එම ජාලයන්හි තමන්ගේ චලනයන් සේම තවත් අයගේ චලනයන්ද, තීරණාත්මක බවත්, කොටින්ම විෂය බාහිර තමාගෙන් ස්වායත්ත වූ අමුතු සමාජයක් දක්නට නොමැති බවත් නැතුව බැරි මිනිහෙක් නාට්‍යය නිර්මාණය තුළ මනාව සාකච්ඡාවට ලක්කෙරෙයි. 90 දශකයෙන් පසුව ලංකාවේ කළු සල්ලි මතින් ගොඩනැඟුණු නව සල්ලිකාර පංතිය තමා කුඩා කළ නොලැබූ සමාජ ඉඩ ප්‍රස්ථාව, ඉටු නොවුණු හීන ස්වකීය දරුවන් හරහා ඉටුකරගන්නට යත්න දැරීම එදිනෙදා හමුවන යථාර්ථයකි. දරුවන්ට විදෙස් අධ්‍යාපනය ලබාදීම, එම දරුවන්ට තමාට නොපෑහුණු වංශක්කාර හෝ දේශපාලන බලය සහිත පවුල්වලින් විවාහ කටයුතු සිදුකොට දී තම හීනමානය වසාගැනීමට උත්සාහ දැරීම සාමාන්‍ය තත්ත්වයකි. ජයන්ත තම පුතුට ඇමති දියණියක සම්බන්ධ කරවීමට සැලසුම් කිරීමත්, පුතු ඊට අකමැත්ත ප්‍රකාශ කළද, අවසානයේ පියාට අවනතවීමට කැමැත්ත පළකිරීමත් එම සමාජ ස්ථරයත්, පරම්පරා වෙනසත් කියාපෑමක් පමණක් නොව මුලින් නොව කඳින් මුල් දුවා පැළවුණු තාරුණ්‍යයක සමාජ බෙලහීනතාවද මැනවින් චිත්‍රණය කරයි. තමාගේ මිතුරා වන රමේෂ් උතුරේදී අතුරුදහන්වුණු මවගේ හෝඩුවාවක් සොයා රතු කුරුස සංවිධාන කාර්යාලයට යෑමට වේලාවක් විමසන විට පියා රණවිරු ස්මාරකයක් විවෘත කිරීමේ උත්සව අවස්ථාවට සහභාගිවීමත්, මිතුරාගේ අවශ්‍යතාවත් එක විට විසඳාගත හැකි සරල දෙයක් ලෙස හෙතෙම දකියි.


‘ඒක වෙලාවත් එක්ක බලමු. එක්කො අප්පච්චිගේ වැඬේට ගිහින් එතෙන්ට යමු. නැත්නම් එතෙන්ට ගිහින් අප්පච්චිගෙ වැඬේට එමු’ සුමේධ පවසයි. එහෙත් මෙම සංසිද්ධි ද්විත්වය, හුදෙක් එක තැනකින් තව තැනකට යෑමක් පිළිබඳ කාරණයක් නොවේ. රමේෂ්ගේ මව ඔහුට අහිමිවන්නේ යුද්ධයේ ප්‍රතිඵලයක් හැටියටය. එහෙව් යුද්ධයේ රාජ්‍ය ත්‍රස්තවාදයක පාර්ශ්වකරුවා වන ඊනියා රණවිරුවා සමරන ස්මාරකයක්ද, ඒ රණවිරුවා විසින්ම අතුරුදහන් කෙරුණු මවක සොයායෑමද එකවිට බාරගැනීම අහිංසක ක්‍රියාදාමයක් වන්නේ කෙසේද?
රාජිතගේ මීට පෙර නාට්‍ය නිර්මාණවන වීරයා මැරිලා, හංසයින්ටත් මං ආසයි, ආපසු හැරෙන්න බෑ, බකමූණා වීදි බසියි වැනි නිර්මාණ සමඟ සසඳා බලන විට එම නිර්මාණවල දෘෂ්ටිවාදී කරුණු, තේමාත්මක හරය ගැඹුරු දාර්ශනික ප්‍රවේශයන් කරා ප්‍රේක්ෂකයා පොළඹවන අවස්ථා බහුලය. නිදසුනක් ලෙස එම නාට්‍යවල සංවාද, රංග වින්‍යාසය තවත් කාලයකට වලංගුය. එහි කාලෝචිත බව හුදු සංවාද හෝ භාෂා ප්‍රයෝග මත පමණක් යැපෙන්නේ නොවේ. එහෙත් ඒ තරමට නවතම නාට්‍ය නිර්මාණය තුළ කළු චරිත කළු ලෙස, සුදු චරිත සුදු ලෙස, එදිනෙදා අප ජනමාධ්‍යයන්ගෙන් අසන, දකින, කියවන ප්‍රවෘත්ති හා සංසිද්ධි කෙරෙහි වැඩි නැඹුරුවකින් යුතුව නාට්‍ය විකාශනය වීමක් මිස එහි ව්‍යුහාත්මක ගැඹුරක් ස්පර්ශ වන බවක් නොපෙනේ. නිදසුනක් ලෙස වේදිකා රංගය අමතක කළද, ඇතැම් සංවාද ඛණ්ඩ තුළින් ජනවාරි 8න් පසු මේ මොහොතේ දේශපාලනය පිළිබඳ කෙරෙන සාකච්ඡාව රසවින්දනය කළ හැකිය. එහෙත් තවත් වසර 4කින් මෙම සංවාද මේ සා සමීපව දැනෙනු ඇත්දැයි සැක සහිතය. එහි අදහස වසර 4න් ලාංකේය දේශපාලනය උඩුයටිකුරුවන බවක් නොවන මුත් මේ මොහොතේ අතිශය සමීපභාවයම ඊළඟ මොහොතේ අප දුරස්ථ කළ හැකි බැවිනි. මෙම නාට්‍ය පුරාවට එය හා සමීපව ඒ මොහොතේ නාට්‍යය හා ඒකාත්මිකව නාට්‍යයේ චරිතවලට සිනහවෙමින් ඒ සිනහවෙන්නේ තමාටම බව අමතක කරමින් රසාස්වාදයේ ගිලීයා හැකි නමුත් නාට්‍යගාරයෙන් එළියට බසින විට ගෙන යන්නට, තවදුරටත් ස්මරණය කරමින් විසඳාගන්නට බරක් ඉතිරි නොවෙයි. එහෙත් වීරයා මැරිලා, හංසයින්ටත් මං ආසයි, ආපසු හැරෙන්න බෑ වැනි නිර්මාණ කිසිදු සංශෝධනයකින් තොරව තවත් වසර කිහිපයකින් වුවද පෙරසේම රසවිඳිය හැකිවෙනු ඇත. එයින් එදිනටද ගෙදර ගෙනයන්නට යමක් ඉතිරිවනු ඇත. මෙවන් සමස්ත දුර්වලතාවක් තිබුණද, නාට්‍යය මේ මොහොතේ අත්විඳින්නට එය කිසිසේත්ම බාධාවක් නොවන බව කිවයුතුය.

                             වේදිකාවේ ඉතා අවම පසුතල නිර්මාණයන් හා සරල වේදිකා කළමනාකරණයක් තුළින් උපරිම ඵල නෙලාගැනීමට මෙවරද රාජිතට හැකිවී තිබීම අගය කළ යුතුය. ධර්මප්‍රිය ඩයස්ගේ රංගනය විශිෂ්ටය. පාදඩ සමාජ සංදර්භයක තම ප්‍රමෝදය අවශ්‍යතාව වෙනුවෙන් යට කළ මිනිසෙකුගේ ඇතුළාන්තය, චර්යාව, අභිනයන් සමබරව නාට්‍ය පුරාවටම එකම රිද්මයකින් පවත්වාගෙන ඒමට ඔහුට හැකියාව ලැබී තිබේ. රාජිතගේ වෙනත් නාට්‍යවල බොහෝවිට එකම රංගන ශෛලියක් නිරූපණය කරන ශ්‍යාම් ප්‍රනාන්දු මෙවර වෙනස් මාදියක, වෙනත් රිද්මයක අත්හදාබලන රංගනයද පැසසිය යුතුය.




‘නැතුව බැරි මිනිහෙක්’ ගැන කෙරෙන ලියවිල්ල අවසන් කිරීමට මත්තෙන් ෂෝන් බෞඩිලාද් පොම්පිඩු මධ්‍යස්ථානය සම්බන්ධ යෙන් අමු අමුවේ කියන දේ නැවත සිහිපත් කරනු වටියි. ‘ඒක සංස්කෘතිය අධෛර්ය කරනවා. හරියට 2001 විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයේ තනි ගල් කුට්ටිය වගේ. ඒක හාත්පස ශක්තිය උරාගන්නවා. ඒක පෙනෙන්නේ න්‍යෂ්ටික බලශක්ති මධ්‍යස්ථානයක් වගේ. ඒක රහස්‍යබව විනාශ කරනවා.’
විනාශ කරන්නට තරම් රහස්‍යභාවයක් නොතිබුණද, එය ඇඟේ හැපුණද, ලාංකිකයාට සමාජ යථාර්ථය අභිමුඛවීම දුර්ලභය. ඒ පිළිබඳ කනගාටුවීම පමණක් ප්‍රමාණවත් නොවුණද, මොහොතක කිති කැවීමකට වුව නැතුව බැරි මිනිහෙක් නැතුවම බැරිය.


(2016-10-02 රාවය පුවත්පතේ පළවිය.)

No comments:

Post a Comment