Sunday, February 19, 2017

pink: කෙල්ලො දිනුම්- ඉතිං ඒ ඇතිද?

චිත‍්‍රපටය pink. බොහෝ දෙනෙකු මෙම චිත‍්‍රපටය පිළිගනු ලබන්නේ ස්ත‍්‍රීවාදී ඇසකිනි. කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල සංගමය විසින් පසුගිය දිනෙක මෙම චිත‍්‍රපටය පෙන්වා පවත්වන ලද සාකච්ඡාවේදීද ඒ පිළිබඳ අවධානය යොමු විය. එදින බෙදාහරින ලද අත් පත‍්‍රිකාවේ තේමාව වූයේද, ”ස්ත‍්‍රීන් විෂයෙහිලා”යන්නය. අනිරුද්ධ රෝයි චෞද්රිගේ මෙම අධ්‍යක්ෂණයට පාදකවී ඇත්තේද මෑත යුගයේ ඉන්දියාවෙන් වාර්තාවූ සමූහ ස්ත‍්‍රී දූෂණ මෙන්ම ඊට එරෙහිව ඉන්දීය ස්ත‍්‍රී ව්‍යාපාර විසින් ගෙන ගිය විරෝධතා ව්‍යාපාරයන්ය. තරුණියන් තිදෙනෙකු හා මහලූ නීතිඥවරයෙකු මූලික කරගනිමින් දිගහැරෙන තිර කතාවක නම pink බවට පත්වන්නේද, ඒ නමින් ක‍්‍රියාකාරී වූ සමාජ ව්‍යාපාරයකි.



                  චිත‍්‍රපටයේ කතාව හරිම සරලයි. තට්ටු නිවාස පේළියක ඉහළ නිවසක කුලියට ජීවත්වන රූමත් තරුණියන් තිදෙනෙකි. (රූමත්වීම දේශපාලනිකය) තම නිදහස උපරිමයෙන් භුක්තිවිඳින මේ තිදෙනා කලින් දන්නා හඳුනන මිතුරන් කිහිපදෙනෙකු සමග විනෝදවීම සඳහා හෝටලයකට යයි. එහිදී මත්පැන් පානය කරන ඔවුන් අසැබි කතා කියමින්, අතපත ගාමින් සිට හදිසියෙන් එක් තරුණයෙකු තමා සමග තනිවූ එම තිදෙනා අතරින් කෙනෙකු හා ලිංගිකව එකතු වන්නට උත්සාහ ගනියි. එම උත්සාහය දැඩි වෙද්දී තරුණිය විසින් තරුණයාට අසළ පවත්නා බෝතලයකින් පහරදෙනු ලබයි. තරුණයින් තම ලජ්ජාව වසන් කර ගැනීමටත්, තරුණියන් සිද්ධිය අමතක කර දැමීමටත් උත්සාහ කරනු ලබයි. එහෙත් තරුණයින් විසින් තරුණියන්ගෙන් පලිගැනීමට දිගින් දිගටම උත්සාහ කිරීමත්, ඔවුන්ට තර්ජනය කිරීමත් නිසා අවසන නීතියේ පිහිට පැතීමට ඔවුන්ට සිදුවේ. එහෙත් බොහෝ දෙනා දන්නා කල්තියා දන්නා පරිදි මුදලින් හා සමාජ බලයෙන් ඉහළ තරුණයින්ගේ පැත්ත ගන්නා පොලීසිය විසින් පහරදුන් තරුණිය කුදලාගෙන ගොස් පොලිස් කූඩුවේ දමයි. සිදුවිය යුතුවාසේම දිගින් දිගටම පීඩාවට පත්වන තරුණියන්ට ආරක්ෂාව ලබාදෙනු පිණිස වීරයෙක් ඉස්මතුවෙයි. අතපය වීසි කරන ජනප‍්‍රිය හින්දි සිනමාවේ වීරයින් වෙනුවට මෙම කතා ප‍්‍රවෘත්තිය දිගහැරෙන්නේ අධිකරණ කුටියක් පාදක කරගනිමින් වන බැවින් මහලූ නීතිඥ වීරයෙකු ආදේශ වී තිබේ. ඔහු විසින් මෙම තරුණියන් යටකී දුෂ්ඨයින්ගෙන් බේරාගෙන ඔවුන්ට සාධාරණත්වය ඉටුකර දෙනු ලබයි.




                                                ස්ත‍්‍රීත්වයේ වසඟය පුරුෂ ස්වෝත්තමවාදී මානයකින් වසා තමාට රිසි ලෙස අර්ථදක්වා ගැනීමට එරෙහිව මහලූ රෝගී නීතිඥයා (අම්තාබ් බච්චන්) අධිකරණ භූමිය වෙව්ලූම්කවන අන්දමේ ප‍්‍රකාශයක් කරනු ලබයි.‘‘යාළුවා වුණත්, පෙම්වතිය වුණත්, ගණිකාවක වුණත් එපා කියන්නෙ එපා’’ ඒක සම්පූර්ණ වාක්‍යක්. ඒකෙ තේරුමට වෙන කිසි දෙයක් අවශ්‍ය වන්නේ හෝ අදාළ වන්නේ නෑ“


            චිත‍්‍රපටය නිමා වුවද, සිනමා ශාලාවෙන් එළියට බහින  ඕනෑම ප්‍රේක්ෂකයෙකු තුළ හොල්මන් කරන්නේ මෙම වාක්‍ය ඛණ්ඩයයි. චිත‍්‍රපටය නිමාවන්නේ අතිශය කම්පනයක් හා සංවේදිතාවක් ඉතිරි කරමිනි. චිත‍්‍රපටයේ ඉතා පටු හා සීමිත වෙද්දීත්, චිත‍්‍රපටය තුළ ඉබාගාතේ යන තේමා ශීර්ෂ තිබියදී වුවද, මයිල් කෙලින්වන සුළු අත්දැකීමක් බවට මෙය පත්වීම යනු අධ්‍යක්ෂවරයාගේ ප්‍රොපගැන්ඩාව සාර්ථකවීමක් බව චින්තන ධර්මදාස කියන්නේද ඒ නිසාය. ඉකුත් වසරේ සැප්තැම්බර් ප‍්‍රථම වරට තිරගත වන මෙම චිත‍්‍රපටය ඉතාමත් කෙටි කලක් තුළ ප්‍රේක්ෂක හා විචාරක අවධානය දිනාගැනීමට සමත්වන්නේද, සම්මානයට පාත‍්‍රවන්නේද ඒ නිසාමය. එහෙත් මෙපමණකින් සෑහීමට පත්වීමට හැකියාවක් ඇත්ද? චිත‍්‍රපටයේ මගහැරීයාමට නියමිත හා අවශේෂ බවට ඒත්තු ගැන්වීමට උත්සාහ ගෙන ඇති සමකාලීන දෘෂ්ටිවාදයේ හෙවනැල්ල චිත‍්‍රපටයේ රූප රාමු අතර බොහෝවිට හොල්මන් කරනු දැකිය හැකිය. චිත‍්‍රපටය අවසානයේ ඇතිකරනු ලබන කම්පනය විඳ දරාගන්නා අතරම රූප රාමු අතර කොනිත්තන හිඩැස් විසින් කරනු ලබන ආමන්ත‍්‍රණය නොතකා හළ නොහැකිය. එය ප‍්‍රශ්නයක් ලෙස වරන`ගන්නේනම් ඇසිය යුතු වන්නේ ‘‘ අවසානයේ කෙල්ලො දිනුවා, එත් ඒ් ඇතිද? යන්නය’’. අපගේ අදහස වන්නේ කිසිසේත්ම එතෙකින් සෑහීමට පත්විය නොහැකි බවය.



                   චිත‍්‍රපටය ආරම්භයේදීම එහි ප‍්‍රධාන චරිතය වූ නීතිඥ දීපක් සේගල් (අම්තාබ්) යම් රෝගී තත්ත්වයකින් පෙළෙන නමුත් අනාගතයේ සිදුවිය හැකි විපත් කල්තියා දැකීමේ අරුම හැකියාවකින් යුක්තවීම එහි පෙළ ගැටගැසීමට දුර්වල සංඥාවක් ලබාදෙනු ලබයි.
‘‘ පරිස්සම් වෙන්න’’ හෙතෙම අනතුරු අඟවයි. මෙම විධානය පසුපස පවත්නා දෘෂ්ටිවාදී ගොඩනැංවීම කෙබඳුද? තරුණියන්ව නිදහසේ දිවිගෙවීම හේතුවෙන් ඔවුන්ට පරිස්සම්වීමට සිදුව ඇත්තේ කාගෙන්ද? සමාජක‍්‍රමයක් විසින් ඇය වන් ස්ත‍්‍රීන්ගේ ජීවිත අනාරක්ෂිත තත්ත්වයකට ඇදදමා තිබියදී තිදෙනෙකු පමණක් පරිස්සම් සහගතවීම යනු කුමක්ද?


                                තම අභිමතය පරිදි හසුරුවා ගැනීමට නොහැකිවීම හෝ තම සිතැඟියාවන් ඉටුකර ගැනීමට නොහැකි වන අවස්ථාවන්වලදී ස්ත‍්‍රීය ‘‘ බඩුවක් ’’ බවට පත්කිරීම ඉන්දියාවේ පමණක් නොව මේ මොහොතේ ලාංකේය සමාජ යථාර්ථය තුළද මහා පොදු සාධකය බවට පත්ව තිබේ. කුලියාපිිටිය ප‍්‍රදේශයේ දරුවෙකුගේ පියාට ඒඞ්ස් වැළඳී ඇති බවට ප‍්‍රචාරයක් යවමින් දරුවාට පාසලක් අහිමි කිරීමේ ගෞරවය හිමිකරගත් ප‍්‍රදේශයේ බෞද්ධ ජනයා විසින් දරුවාගේ මවට ගරු නම්බු නාමයෙන් පිදීමේ සිදුවීම පසුපසද පැවතියේ මෙවන් අත්දැකීමකි. තමාට වූ ලැජ්ජාව පිරිමසා ගැනීම සඳහා  ඕනෑම කැත වැඩක් සිදුකිරීමට පසුබට නොවන පුරුෂෝත්තම සමාජය කදිම ලෙස මෙම චිත‍්‍රපටය තුළ නිරූපනය කර තිබිණි. මෙම තරුණියන් කුලී නිවසින් පළවා හැරීමේ කුමන්ත‍්‍රණය දියත් කොට එය අසාර්ථක වන තන්හි ෆලක්ට රැකියාව අහිමිකරලීමට ඔවුන් විසින් යොදන උපක‍්‍රමය වන්නේද ඇයගේ ඡායාරූපයක් සමග ඇය විසින් තමා විකිණෙන බවට මුදල සඳහන් කළ පෝස්ටුවක් අන්තර්ජාලයට මුදාහැරීමය. සංදර්භය වෙනස් වුවද, පසුගිය කාලයේ ලංකාවේ පුද්ගලික බැංකුවක සේවිකාවක තම කළමනාකාරිත්වය සමග ලිංගිකව එකතුවූ වීඩියෝවක් කිසිවෙකු විසින් මුදාහැර තිබීමත්, එමගින් අදාළ ආයතනයට උද්ගතවූ අවමන් සහගත තත්ත්වය සමනය කරගනු පිණිස අදාළ තරුණයා හා තරුණිය සේවයෙන් ඉවත්කිරීමට තරම් බැංකුවේ ඉහළ කළමනාකාරිත්වය විසින් තීරණය කිරීමත් මෙහිලා සිහිපත්වීම වැළැක්විය නොහැකිය. ශික්ෂණයකින් තොරව තොරතුරු තාක්ෂණය ගමට වැදීමේ බරපතළ විපාකයන්ට ඉන්දියාව මෙන්ම ලංකාවද එක හා සමාන අන්දමින් ගොදුරු බවට පත් වුවද ඉන්දීය සිනමාව හෝ සාහිත්‍ය කලාව තරමේ ප‍්‍රකාශන මාදිලියකින් වේදනා සමනය කරගැනීමට අපට හැකියාවක් ලැබී නැත. නීරාජ් ගයිවන් ගේ අධ්‍යක්ෂණයෙන් යුතුව 2015 දී නිර්මාණය වූ මසාන් චිත‍්‍රපටයද මෙම ගැටළුව මනාව ස්පර්ශ කර ඇති බව මෙහිලා සිහිපත් කළ යුතුය. මාලක දේවප‍්‍රිය මෙම ගැටළුවේම තවත් මානයක් කැමරාවට හසුකරගෙන ඇතත් එය ලාංකේය ප්‍රේක්ෂාගාරයට තාමත් දුර වැඩිවීම අපගේ අවාසනාවමය. කෙසේ වුවත් පොදුවේ මහලූ වීරයෙකු ලවා තරුණියන් තිදෙනාට නීතියෙන් නිදහස දිනාදෙන්නට කැමරාව වෙහෙසීමට වැඩි උනන්දුවක් දැක්වීම හේතුවෙන් අතරමගදී රැකියාවෙන් හැළී, ජීවිතය හකුළා ගන්නට සිදුවන ෆලක්ගේ ඉරණම මහා ආඛ්‍යානය තුළ සැඟවයාම කනගාටුදායකය. ෆලක්ට අත්වූ ඉරණම හුදෙක් රැකියාවක් අහිමිවීම පමණක් නොවේ. ඇයට ඇයගේ පෙම්වතා වූ වැඩිහිටි මහාචාර්යවරයාගේ ආදරය අහිමිවේ. අතිශය පුද්ගලික සබඳතා ලෝකයට අනාවරණය වේ.  සමාජයක් ලෙස ඇයට සිදුකෙරෙන අපකීර්තිය  හා චරිත ඝාතනය තුළින් තවත් බොහෝ ගැහැට ඇයට අත්වීමට නියමිතව තිබියදී ‘‘ ඉක්බිතිව සියල්ලෝම සතුටින් ජීවත්වූහ’’ වැනි අවසානයක් කරා ඉක්මනින් අපව දැක්කීමට අධ්‍යක්ෂවරයා උත්සුක වී තිබේ. එහෙත් අහිමිවන සියල්ල යළි අත්පත් කරදීමට හෝ අත්පත්වීමට හැකිවේද? මෙවන් සිදුවීමකට රක්ෂණාවරණයක් මෙන් හානි පූරණය කළ හැකිද?


                              නඩු විභාගය තුළින් තරුණියන්ට සාධාරණ ඉෂ්ඨවන බව සැබෑය. එහෙත් සැබෑ ලෝකයේදී මෙවන් ප‍්‍රශ්නයකදී ඒ මොහොත දක්වා කරන්නට සිදුවන කැපකිරීම්, විඳින්නට සිදුවන ගැහැට, අහිමිවිය හැකි දේ කෙතරම්ද? තරුණයෙකු හා තරුණියක සිනමා ශාලාවක බොක්ස් එකක සිටියද පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා රටක, කොණ්ඩමයක් අත තිබූ වරදට ප‍්‍රශ්න කරන රටක නීතිමය ආධාර ලබාදෙන්නට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්ව කට්ට කන නීතිඥවරුන් සිනමා කෘතියකම මිස අන් කවර තැනක නම් දකින්නද? තම සැමියා ඝාතනය කළ පොලීසියට එරෙහිව තනියම නඩු කියන ඇඹිලිපිටියේ එක් දරු මව ගැන මේ මොහොතේ සිහිපත්වන කෙනෙකු නැති තරම්ය.

                                         ඒ සියල්ල පසෙක තිබියදී මෙම චිත‍්‍රපටය කෙරෙහි පමණක් අවධානය යොමු කිරීමේදී වුව නඩු ක‍්‍රියාදාමය පවා කෙතරම් පුරුෂෝත්තමව පීඩාව නඩත්තු කරන්නේද යන්න ඒත්තු ගන්වයි. වරක් දූෂණයට පත්වූ ස්ත‍්‍රීයක ප‍්‍රසිද්ධ නඩු විභාගයක් තුළ අධිකරණය තුළම සියදහස් වාරයක් දූෂණයට ලක්වෙයි. ස්ත‍්‍රී දූෂණ චෝදනා අයිස් කඳු මෙන් ඉතා ස්වල්පයක් මිස නීතිමය ක‍්‍රියාමාර්ගයක අංශු මාත‍්‍රයක හෝ ඇස නොගැටී කාලයේ වැල්ලෙන් සැඟව යන්නේ ඒ නිසාය. විත්තියේ හරස් ප‍්‍රශ්න පමණක් නොව ඇතැම්විට ගැලවුම්කාර නීතිඥයා පවා අසනු ලබන ප‍්‍රශ්න කෙරෙන් මිනාල් පමණක් නොව ප්‍රේක්ෂාගාරයද රිදවනු ලබයි. එහෙත් ඒ ප‍්‍රශ්න පුරුෂය.
‘‘ ඔබ කන්‍යාවියක්ද?’’
‘‘ නෑ ’’
‘‘ ඔබේ කන්‍යාභාවය නැතිවුණේ කොයි කාලෙදිද?
‘‘ අවුරුදු 19 දි.
‘‘ කාගෙන්ද? කවුද පිරිමි ළමයා?
‘‘ මගේ බෝයි ෆ්‍රෙන්ඞ්’’
‘‘ නම මොකක්ද?
‘‘ අනීෂ් ’’
‘‘ එයා කීයක් ගෙව්වද?’
‘‘ එයා ඇයි ගෙවන්නෙ. අපි කැමැත්තෙන් එක්වුණේ.’
ස්ත‍්‍රීයකට ආදරය තුළ ලිංගිකව එකතුවීමට පවත්නා අයිතියත්, එහිදී දෙදෙනා අතර වගකීම බෙදාහදා ගැනීමට සිදුවීමත්, එය හුදෙක් ගනුදෙනුවක් නොවන බවත් මෙමගින් ඒත්තු යන බව සැබෑය. මිනාල් ගණිකා වෘත්තියේ නොයෙදුණු බවට අධිකරණයට තහවුරු කිරීමටත් මෙම සංවාදය මහලූ නීතිඥයාට උපකාරීවන බව සැබෑය. එහෙත් මෙවන් ප‍්‍රශ්නවලට වලංගුභාවයක් ලැබෙන්නේත් , මෙවන් ප‍්‍රශ්නවලට උත්තර බඳින්නට සිදුවන්නේත් කන්‍යා සිවිය තවදුරටත් පරම උත්තරීතර දෙයක් ලෙස සලකන හා ලිංගික ශ‍්‍රමිකයන්ගේ ‘‘ ශ‍්‍රමය ’’ අපරාධයක් ලෙස සලකන යුගයක පමණක් බැව්  මෙහිදී අපට අමතක නොවිය යුතුය. එය කෙතරම් ඛේදවාචකයක්ද?



                                           මෙම හරස් ප‍්‍රශ්න විමසන අවස්ථාවේදී මිනාල්ගේ පියාට අධිකරණයෙන් පිටතට යාමට සිදුවීමම මෙහි බරපතළකම සංකේතවත් කරනු ලබයි. මේ අයුරින් චිත‍්‍රපටයේ අවසානය තුළ සියුම් කම්පනයක් ජනිත කරමින් අපගේ ෆැන්ටසියට උත්තේජනයක් ලබාදුන්නද, ඉන් මෙපිට රූප රාමු අතර හිඩැස් තුළින් තත්කාලීන දෘෂ්ටිවාදයේ නරුමභාවය හොල්මන් කිරීම නොතකා හළ නොහැකිය.

             මෙම චිත‍්‍රපටයේ ප‍්‍රථම භාගය ත‍්‍රාසජනක චිත‍්‍රපටයක මෙන් පිම්මේ විකාශනය වී එක මොහොතකට පසු සමස්ත චිත‍්‍රපටයම අධිකරණ කුටියක් තුළට සීමාවෙයි. එහි කෙස් පැලෙන තර්ක විතර්ක හා මුහුණුවල අභිනයන්ගෙන් ඔබ්බට කිසිවක් ඇතුළත් කර නොගන්නා තත්ත්වයක් තුළ වුවද, කෘතියේ අඛණ්ඩතාවය නොබිඳ ප්‍රේක්ෂකයා විඩාවට පත් නොකර එය අවසානයක් කරා ගෙනයාමට අධ්‍යක්ෂවරයා සමත්ය. එය මෙවන් ආකෘතියේ චිත‍්‍රපටවල අසීරු කර්තව්‍යයකි. චිත‍්‍රපටය තුළ සංවාදවල පවත්නා  නිර්මාණශීලිභාවය ඊට දායක වූවා විය විය හැකිය. මේ නිසාමදෝ පසුගියදා පැවති ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී ද ‘‘හොඳම සංවාද ’’ වෙනුවෙන් මෙම චිත‍්‍රපටය ඇගයීමට ලක්විය. අම්තාබ්ගේ මෙන්ම අනෙක් තරුණියන් තිදෙනාගේද රංගනයන් අතිවිශිෂ්ටය. එහෙත් චිත‍්‍රපටයක් යනු එපමණක් නොවේ. ඒ නිසාම තවත් විටෙක අවශ්‍ය වන්නේනම් ‘‘සංවරව හැදෙන්න නොදන්නා ගැහැණු ළමයින්ට  ඕව හොඳ පාඩම් ’’ වැනි උපදේශයක් ලබාදෙන ජාතක කතාවක් බවටද මෙය පෙරළා පත්කර ගත හැකිබව නොකියා බැරිය.



-    ප‍්‍රියාන් ආර්. විජේබණ්ඩාර










2017-02-12 රාවය පුවත්පතේ පළවිය.











Sunday, February 5, 2017

නැතුව බැරි මිනිහෙක් නැතුව කොහොමද?




       නූතන සංස් කෘතියේ නරකම හැඟවුම්කාරකය ලෙස ෂෝන් බෞඩිලාද් අර්ථ ගන්වනුයේ පැරීසියේ පොම්පිඩු මධ්‍යස්ථානයයි. මෙම ගොඩනැගිල්ලේ ඇතුළාන්තය සංස්කෘතික මතකයක් (කෞතුකා ගාරයක්) ලෙස ඉදිරිපත් කිරීමට උත්සාහයක් ගෙන තිබුණද, එය වඩාත් ළංවන්නේ සුපිරි වෙළෙඳසැලකටය. එබැවින් සමස්ත ගොඩනැගිල්ලෙන් හඟවනුයේ සංස්කෘතියේ අතුරුදහන්වීමක් බැව් බෞඩිලාද් පෙන්වාදෙයි. වඳ සංස්කෘතියේ භෞතික විනාශය සමග එයට අභියෝග කිරීමට පොදු ජනතාව කැමතිය. මිනිසුන් 30,000 ක් ගොඩනැගිල්ල තුළ සිටියදී එය කඩාවැටීමට හැකිය. බෙයාර්බොග්හි ජනතාව පිළිබිඹු වන්නේ සංස්කෘතිය මත නොව එය ස්පර්ශ කිරීම, අනුභව කිරීම, සහ හොරකම් කිරීම මතය. මෙම සංස්කෘතික ප්‍රචණ් ඩත්වය උත්කෘෂ්ටභාවයට වඩා වැඩි බර පැටවීමක් හා ඇතුළත පිපුරුමක් වූවක් බැව් හෙතෙම පෙන්වාදෙයි. එනම් සංස්කෘතිය ආරක්ෂා කරන මුවාවෙන් එය විනාශ කිරීමේ මධ්‍යස්ථානයකි. රාජිත දිසානායකගේ නවතම නාට්‍ය නිර්මාණය වන ‘නැතුව බැරි මිනිහෙක්’ කෘතිය පිළිබඳ අවධානය යොමුකිරීමේදීද, ලාංකේය මේ මොහොත තුළ සංස්කෘතිය ආරක්ෂා කිරීමේ මුවාවෙන් එය ස්පර්ශ කිරීමෙන්, අනුභව කිරීමෙන් හෝ හොරකම් කිරීමෙන් එදාවේල යැපෙන්නන්, ජාතිය ආරක්ෂා කරන මුවාවෙන් තම පැවැත්ම ආරක්ෂා කරගන්නන්, ජීවත්වීම වෙනුවට ජීවිතය ගනුදෙනුවක් පමණක් බවට ඌනනය කරගත්තවුන් පිළිබඳ හරස්කඩකි.

‘ආණ්ඩුවකට නැතුව බැරි මිනිහෙක් වෙනවා කියන එක හිතන තරම් ලේසි නෑ පුතා. උන්ට මාව ඕනෑ නැති දවසට මට යන්න වෙනවා හිරේයැ’යි ප්‍රධාන චරිතයයැ’යි කිවහැකි ජයන්ත (ධර්මප්‍රිය ඩයස්) කියයි.
බැලූබැල්මට සරල වැකියක්යැ’යි කිවහැකි වුවද මේ මොහොතේ දේශ පාලනයේ අව්‍යාජ ප්‍රකාශනය පමණක් නොව එය සරල වන තරමටම ලාංකේය සමාජ සත්තාව තුළ සංකීර්ණ ක්‍රියාදාමයක ඛේදවාචකය ප්‍රේක්ෂකයාට අභිමුඛ කරවයි. රාජිතගේ මෑත කාලීන නාට්‍ය නිර්මාණවල විශේෂයෙන්ම ‘ආපසු හැරෙන්න බෑ’, ‘බකමූණා වීදිබසියි’ වැනි නාට්‍යයන්හි ප්‍රස්තූතය වූයේ තත්කාලීන දේශපාලනයයි. නවතම නාට්‍ය නිර්මාණයද මෙම ක්‍රියාදාමයේම දිගුවක් බැව් කිවහැකිය.



                                      2015 ජනවාරි 08 වනදායින් පසුව ලාංකේය භූදේශපාලනය තුළ බොහෝ වෙනස්කම් වේයැ’යි බොහෝ දෙනා කල්පනා කළහ. සාපේක්ෂ වශයෙන් යම් යම් සුබවාදී වෙනසක් සඳහා ප්‍රවේශයන් අත්දැකිය හැකිවුවද ජනයා බලාපොරොත්තු වූ තරමේ කාර්යක්ෂමභාවයක් දකින්නට නොලැබිණි. ජනතාව ප්‍රතික්ෂේප කළ දේශපාලන චරිත ජාතික ලැයිස්තුවෙන් යළි පාර්ලිමේන්තුවට තේරී පත්වූවා පමණක් නොව ඔවුන්ට අමාත්‍යධුර පවා හිමිවිය. වෙනත් අයුරකින් දක්වතොත් වෙනස් මුහුණු වෙනුවට පැරණි මුහුණුම යළි ප්‍රාදුර්භූත විය. මෙම නාට්‍යයේ ප්‍රධාන චරිත රංගනය හෙවත් ව්‍යාපාරික ජයන්තගේ සහය දිනාගන්නා දේශ පාලනඥයාද (වේදිකාව තුළ දක්නට නොලැබෙයි.) මීට පෙරාතුව ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කොට පසුව මැතිවරණයෙන් පරාජය වුවද පවත්නා ආණ්ඩුවට හේත්තුවී යළිදු අමාත්‍යධුරයක් ලබාගනියි. මූලාරම්භයේදී ජයන්තටද තම නායකයා කෙරෙහි පවත්නේ අප්‍රසාදයකි. ‘යකෝ පැරදිලත් මුන් දිනුම්. හොඳ වෙලාවට මුන් ක්‍රිකට් කවුන්සිලයේ නැත්තේ. එහෙම වුණානම් අවුට් වෙච්චි උන් ආයෙම බැට් කරන්න කැඳවනවා.’
ජයන්තගේ ඉහත ප්‍රකාශය තුළ ඇති සරදම සුළු කොට තැකිය නොහැකිය.

                                     ඉකුත් පාලන තන්ත්‍රය සමඟ සමීපව කටයුතු කළ බොහෝ දෙනෙකුට පසුකාලීනව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත නිතර කැඳවීම් ලැබෙයි. මෙම කැඳවීම් ගැන රජයේ ප්‍රකාශකයන්ගේ පාර්ශ්වීය ප්‍රකාශයද, කැඳවීමට ලක්වූ තැනැත්තා තමා කැඳවූ සැබෑ හේතුව හෝ නොකියා එය දේශපාලන පළිගැනීමක් වන්නේ කෙසේදැයි තහවුරු කිරීමට කරනු ලබන ප්‍රකාශයද ප්‍රසිද්ධ මාධ්‍යයට වැදගත්ය. අවසන ඉතිරිවන්නේ මාධ්‍ය සංදර්ශන මිස කිසිවක් නොවේ. එහෙත් ඒ සියල්ල අතරේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවනු ලබන්නන් තමන් එසේ කැඳවීම තුළින් තමන් විසින් කාලයක් තිස්සේ උපයා ගනු ලැබූ සංකේතීය බලය විනාශවී යා නොදීමට කුමක් හෝ ගනුදෙනුවකින් ප්‍රශ්නය ගොඩින් බේරා ගැනීමේ ක්‍රියාදාමයකට තල්ලුවෙයි. එහෙත් ජනතාවට කොළේ වසා ගසන මේ සූදුවට හේට්ටු කිරීමේ බලය හිමිවන්නේ ජනතාවගෙන්මය. ලංසුවට තබන්නේ ජනතාවය. විකිණෙන්නේ ජනතාවය. දහස් ගණන් කැටුව පාදයාත්‍රා සංවිධානය කොට ප්‍රසිද්ධ මාධ්‍යයට ප්‍රකාශ ලබාදෙමින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසුරුවන ලෙස ආණ්ඩුවට බලකරන බව කීමට ලජ්ජා නොවන්නේද ඒ නිසාමය. රට නොව තමාය. තම පවුලය. රටක් යනු සීමා සහිත සමාගමක් නොවන බව මොවුන් නොදන්නේ තමන් එය සමාගමක් ලෙස සිතා කටයුතු කළා විනා රටක් ලෙස සිතා කටයුතු නොකළ නිසාමය. මේ අයුරින් ජාතික මට්ටමේ ඊනියා නායකයන් පාදයාත්‍රා සෙනඟ පෙන්වා තමාට හෝ තම පවුලට එරෙහිව සිදුකෙරෙන පරීක්ෂණ නවත්වන ලෙස සෘජුවම වගකිවයුත්තන්ට බලකරන විට ප්‍රාදේශීය මට්ටමේ හෙංචයියන්ට අවශ්‍ය වන්නේ සමූපකාර ඡන්දයක, වෙළෙඳ බලමණ්ඩලයක හෝ සභාපති ලෙස වැඩි ඡන්දයෙන් පත්වෙන්නටය. මෙම නාට්‍යයේ ජයන්ත ද, ‘ලොක්කට තියෙන්නේ පක්ෂෙන් අයින්වෙන්න නෙවෙයි පවුලෙන් අයින් වෙන්න’ කියා ප්‍රසිද්ධියේම කියන්නේ හිටපු පාලකයෙකුට බැව් පැහැදිලිය. එලෙස කියන ජයන්ත ද උත්සාහ කරන්නේ සිංහල වෙළෙඳ බලමණ්ඩලයේ සභාපති වෙන්නටය. සභාපතිවීද, නොවීද යන ගැටලුව නොවිසඳී තිබියදී වුව හෙතෙම තමන්ගේ දේශපාලනඥයා කටයුතු කළා සේම සාර්ථක ඩීල් එකකින් පවත්නා පාලන තන්ත්‍රයටම හේත්තුවෙයි. එවිට මූලාරම්භයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනීසිටින ලෙස නියෝග කරන ලද ලිපිය රැගෙන පැමිණි පොලිස් නිලධාරියා ජයන්තගේ සුවච කීකරු ගෝලයෙකු බවට රූපාවතරණය වෙයි. රාජිත දිසානායකගේ බොහෝ නාට්‍ය නිර්මාණ සේම මෙම නාට්‍ය නිර්මාණයේද, කූටප්‍රාප්තිය පොල්ලකින් හිසට තඩිබෑවා සේ ප්‍රේක්ෂකයා තිගැස්මකට ලක්කරයි. එසේම එය තවත් එක් අවසානයක් බවට සනිටුහන් නොකොට ජයන්තලා සේම කටයුතු කරන බොහෝ නායකකාරකාදී දැවැන්ත යන්ට වැරදිය හැකි තැනක ඉඟි පළකරයි.



                            තමාට අභියෝගයක් විය හැකි, තමා අභියෝගයට ලක්විය හැකි අවස්ථාව කිසිසේත්ම උදාවිය යුතු නැතැයි තරයේ විශ්වාස කරන ජයන්ත අවසන් වරට මත්පැන් වඩියකින් සැහැල්ලුවීමට උත්සාහ දරන අවස්ථාවේදී ඔහු තම හෙංචයියා වන ඥාති කරූට කියන්නේ මෙවැන්නකි. ‘කාට මොනව වෙනවාද කියන එක මට අදාළ නෑ. ඒත් අපේ එවුන්ට මොකුත් නොවන බව මට විශ්වාසයි’ එහෙත් සිදුවන්නේ එය නොවේ. නගරයේ ප්‍රසිද්ධ උපවාසය ළඟ වේදිකාවේ ප්‍රකාශය සිදුකරන්නේ කවුරුන් වුවද එය සිදුනොවිය යුතු තැනට කටයුතු කරන ලෙස උපදෙස් දී (දුර සිට වෙඩි තබා ඝාතනය කරන ලෙසයැ’යි ඇඟවෙයි.) බලා සිටින ජයන්තට නිවසේ රූපවාහිනි යන්ත්‍රයෙන් දැකබලා ගැනීමට හැකිවන්නේ එම ප්‍රකාශය සිදුකරන්නේ තමාගේම දියණිය බවයි. තනි තනි පුද්ගලයා තම පවුල, තම ගුරු කුලය, තම දේශපාලන කණ්ඩායම ආදි වශයෙන් ‘පුද්ගලිකත්වය’කෙතරම් දුරට ප්‍රසාරණය වුවද, ඉන් පරිබාහිරත්වය සතුරා බවට පත්කොට තමාගේ ආරක්ෂාව සලසා ගැනීමට නිරන්තරයෙන් අවධානය යොමු කරයි. සමාජයට, රටට හෙණ ගැසුවද තමාට ගැටලුවක් නොවන්නේයැ’යි තරයේ විශ්වාස කරයි. දේශපාලනය යනු තමාට අවැදගත්ම තේමාව බව ඇතැම්හු ඒත්තු ගන්වන්නට උත්සාහ කරති. එහෙත් පුද්ගලයන් යනු ඕපපාතිකයන් විශේෂයක් නොව සමාජ සබඳතා ජාල සමූහක කොටස්කාරයන් පමණක් බවත්, එම ජාලයන්හි තමන්ගේ චලනයන් සේම තවත් අයගේ චලනයන්ද, තීරණාත්මක බවත්, කොටින්ම විෂය බාහිර තමාගෙන් ස්වායත්ත වූ අමුතු සමාජයක් දක්නට නොමැති බවත් නැතුව බැරි මිනිහෙක් නාට්‍යය නිර්මාණය තුළ මනාව සාකච්ඡාවට ලක්කෙරෙයි. 90 දශකයෙන් පසුව ලංකාවේ කළු සල්ලි මතින් ගොඩනැඟුණු නව සල්ලිකාර පංතිය තමා කුඩා කළ නොලැබූ සමාජ ඉඩ ප්‍රස්ථාව, ඉටු නොවුණු හීන ස්වකීය දරුවන් හරහා ඉටුකරගන්නට යත්න දැරීම එදිනෙදා හමුවන යථාර්ථයකි. දරුවන්ට විදෙස් අධ්‍යාපනය ලබාදීම, එම දරුවන්ට තමාට නොපෑහුණු වංශක්කාර හෝ දේශපාලන බලය සහිත පවුල්වලින් විවාහ කටයුතු සිදුකොට දී තම හීනමානය වසාගැනීමට උත්සාහ දැරීම සාමාන්‍ය තත්ත්වයකි. ජයන්ත තම පුතුට ඇමති දියණියක සම්බන්ධ කරවීමට සැලසුම් කිරීමත්, පුතු ඊට අකමැත්ත ප්‍රකාශ කළද, අවසානයේ පියාට අවනතවීමට කැමැත්ත පළකිරීමත් එම සමාජ ස්ථරයත්, පරම්පරා වෙනසත් කියාපෑමක් පමණක් නොව මුලින් නොව කඳින් මුල් දුවා පැළවුණු තාරුණ්‍යයක සමාජ බෙලහීනතාවද මැනවින් චිත්‍රණය කරයි. තමාගේ මිතුරා වන රමේෂ් උතුරේදී අතුරුදහන්වුණු මවගේ හෝඩුවාවක් සොයා රතු කුරුස සංවිධාන කාර්යාලයට යෑමට වේලාවක් විමසන විට පියා රණවිරු ස්මාරකයක් විවෘත කිරීමේ උත්සව අවස්ථාවට සහභාගිවීමත්, මිතුරාගේ අවශ්‍යතාවත් එක විට විසඳාගත හැකි සරල දෙයක් ලෙස හෙතෙම දකියි.


‘ඒක වෙලාවත් එක්ක බලමු. එක්කො අප්පච්චිගේ වැඬේට ගිහින් එතෙන්ට යමු. නැත්නම් එතෙන්ට ගිහින් අප්පච්චිගෙ වැඬේට එමු’ සුමේධ පවසයි. එහෙත් මෙම සංසිද්ධි ද්විත්වය, හුදෙක් එක තැනකින් තව තැනකට යෑමක් පිළිබඳ කාරණයක් නොවේ. රමේෂ්ගේ මව ඔහුට අහිමිවන්නේ යුද්ධයේ ප්‍රතිඵලයක් හැටියටය. එහෙව් යුද්ධයේ රාජ්‍ය ත්‍රස්තවාදයක පාර්ශ්වකරුවා වන ඊනියා රණවිරුවා සමරන ස්මාරකයක්ද, ඒ රණවිරුවා විසින්ම අතුරුදහන් කෙරුණු මවක සොයායෑමද එකවිට බාරගැනීම අහිංසක ක්‍රියාදාමයක් වන්නේ කෙසේද?
රාජිතගේ මීට පෙර නාට්‍ය නිර්මාණවන වීරයා මැරිලා, හංසයින්ටත් මං ආසයි, ආපසු හැරෙන්න බෑ, බකමූණා වීදි බසියි වැනි නිර්මාණ සමඟ සසඳා බලන විට එම නිර්මාණවල දෘෂ්ටිවාදී කරුණු, තේමාත්මක හරය ගැඹුරු දාර්ශනික ප්‍රවේශයන් කරා ප්‍රේක්ෂකයා පොළඹවන අවස්ථා බහුලය. නිදසුනක් ලෙස එම නාට්‍යවල සංවාද, රංග වින්‍යාසය තවත් කාලයකට වලංගුය. එහි කාලෝචිත බව හුදු සංවාද හෝ භාෂා ප්‍රයෝග මත පමණක් යැපෙන්නේ නොවේ. එහෙත් ඒ තරමට නවතම නාට්‍ය නිර්මාණය තුළ කළු චරිත කළු ලෙස, සුදු චරිත සුදු ලෙස, එදිනෙදා අප ජනමාධ්‍යයන්ගෙන් අසන, දකින, කියවන ප්‍රවෘත්ති හා සංසිද්ධි කෙරෙහි වැඩි නැඹුරුවකින් යුතුව නාට්‍ය විකාශනය වීමක් මිස එහි ව්‍යුහාත්මක ගැඹුරක් ස්පර්ශ වන බවක් නොපෙනේ. නිදසුනක් ලෙස වේදිකා රංගය අමතක කළද, ඇතැම් සංවාද ඛණ්ඩ තුළින් ජනවාරි 8න් පසු මේ මොහොතේ දේශපාලනය පිළිබඳ කෙරෙන සාකච්ඡාව රසවින්දනය කළ හැකිය. එහෙත් තවත් වසර 4කින් මෙම සංවාද මේ සා සමීපව දැනෙනු ඇත්දැයි සැක සහිතය. එහි අදහස වසර 4න් ලාංකේය දේශපාලනය උඩුයටිකුරුවන බවක් නොවන මුත් මේ මොහොතේ අතිශය සමීපභාවයම ඊළඟ මොහොතේ අප දුරස්ථ කළ හැකි බැවිනි. මෙම නාට්‍ය පුරාවට එය හා සමීපව ඒ මොහොතේ නාට්‍යය හා ඒකාත්මිකව නාට්‍යයේ චරිතවලට සිනහවෙමින් ඒ සිනහවෙන්නේ තමාටම බව අමතක කරමින් රසාස්වාදයේ ගිලීයා හැකි නමුත් නාට්‍යගාරයෙන් එළියට බසින විට ගෙන යන්නට, තවදුරටත් ස්මරණය කරමින් විසඳාගන්නට බරක් ඉතිරි නොවෙයි. එහෙත් වීරයා මැරිලා, හංසයින්ටත් මං ආසයි, ආපසු හැරෙන්න බෑ වැනි නිර්මාණ කිසිදු සංශෝධනයකින් තොරව තවත් වසර කිහිපයකින් වුවද පෙරසේම රසවිඳිය හැකිවෙනු ඇත. එයින් එදිනටද ගෙදර ගෙනයන්නට යමක් ඉතිරිවනු ඇත. මෙවන් සමස්ත දුර්වලතාවක් තිබුණද, නාට්‍යය මේ මොහොතේ අත්විඳින්නට එය කිසිසේත්ම බාධාවක් නොවන බව කිවයුතුය.

                             වේදිකාවේ ඉතා අවම පසුතල නිර්මාණයන් හා සරල වේදිකා කළමනාකරණයක් තුළින් උපරිම ඵල නෙලාගැනීමට මෙවරද රාජිතට හැකිවී තිබීම අගය කළ යුතුය. ධර්මප්‍රිය ඩයස්ගේ රංගනය විශිෂ්ටය. පාදඩ සමාජ සංදර්භයක තම ප්‍රමෝදය අවශ්‍යතාව වෙනුවෙන් යට කළ මිනිසෙකුගේ ඇතුළාන්තය, චර්යාව, අභිනයන් සමබරව නාට්‍ය පුරාවටම එකම රිද්මයකින් පවත්වාගෙන ඒමට ඔහුට හැකියාව ලැබී තිබේ. රාජිතගේ වෙනත් නාට්‍යවල බොහෝවිට එකම රංගන ශෛලියක් නිරූපණය කරන ශ්‍යාම් ප්‍රනාන්දු මෙවර වෙනස් මාදියක, වෙනත් රිද්මයක අත්හදාබලන රංගනයද පැසසිය යුතුය.




‘නැතුව බැරි මිනිහෙක්’ ගැන කෙරෙන ලියවිල්ල අවසන් කිරීමට මත්තෙන් ෂෝන් බෞඩිලාද් පොම්පිඩු මධ්‍යස්ථානය සම්බන්ධ යෙන් අමු අමුවේ කියන දේ නැවත සිහිපත් කරනු වටියි. ‘ඒක සංස්කෘතිය අධෛර්ය කරනවා. හරියට 2001 විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයේ තනි ගල් කුට්ටිය වගේ. ඒක හාත්පස ශක්තිය උරාගන්නවා. ඒක පෙනෙන්නේ න්‍යෂ්ටික බලශක්ති මධ්‍යස්ථානයක් වගේ. ඒක රහස්‍යබව විනාශ කරනවා.’
විනාශ කරන්නට තරම් රහස්‍යභාවයක් නොතිබුණද, එය ඇඟේ හැපුණද, ලාංකිකයාට සමාජ යථාර්ථය අභිමුඛවීම දුර්ලභය. ඒ පිළිබඳ කනගාටුවීම පමණක් ප්‍රමාණවත් නොවුණද, මොහොතක කිති කැවීමකට වුව නැතුව බැරි මිනිහෙක් නැතුවම බැරිය.


(2016-10-02 රාවය පුවත්පතේ පළවිය.)