මේ යුගයේ ආදර සබඳතා පිළිබඳ ස්ලෙවෝජ් ශිෂෙක් විසින් පැවසූ අදහස කලකට ඉහතදී මවිසින් උපුටා දක්වනු ලැබුවේ මලිත් හෑගොඩ හා බූපති නලින් යන දෙදෙනාගේ සුසංයෝගයෙන් නිර්මාණය වූ “දැකලා පුරුදු කෙනෙක්“ චිත්‍රපටය සම්බන්ධයෙන් ලියූ ලියවිල්ලකටය. ඉක්බිතිව එය යළි සිහිපත් වූයේ පසු ගිය දිනෙක බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පැවති පොත් දොරටවැඩුමකට සමගාමීව රංග ගත කෙරුණු ‘බොක්ස්‘ සහ ‘හෙලෝ‘ යන කෙටි නාට්‍ය ද්විත්වය යළි නැරඹීමෙනි. නාට්‍ය රංගයකට සුදුසු ලෙස වේදිකාව සකස්වී නොතිබුණත්, මීට පෙරාතුවද මෙම නාට්‍ය නිර්මාණ ද්විත්වය නරඹා තිබූ නිසාත් එදිනට සුවිශේෂීවූ දුර්වලතා නොතකා ඒ පිළිබඳ යමක් සටහන් කරන්නට සිත්වූයේ සරලවූත්, කෙටිවූත් මෙම නිර්මාණ ද්විත්වයෙහි පවත්නා අපූර්වත්වය නිසාමය.
ස්ලෙවෝජ් ශිෂෙක් යුගයේ ආදර සබඳතා පිළිබඳ මෙසේ කියයි.
‘බොහෝ බුද්ධිමත් සංස්කෘතික කවයන් අපි ආයෙමත් පූර්ව නූතන ආදර සංස්කෘතික සම්බන්ධයකට යනවා යයි ප‍්‍රශ්න කරනවා. අද තියෙන්නේ ඩේටින් ඒජන්සීස්. ඔවුන් කියන්නේ ආදරෙන් බැඳෙන්නේ නැතිව ආදරය කරන්න කියලා. ආදරයෙන් බැඳුණාම කරදරයි. අපි ෂොක් වෙනවා. ජීවිතයේ දිශානතිය වෙනස්වෙනවා. බෙදාහදා ගන්න වෙනවා. ඒ නිසා අපි බැඳීම්වලට බයයි. ආදරය, එහි සංඥාකාරකය හා එහි වින්දනය එහෙම පිටින්ම ගන්නේ නැතිව එහි විච්ඡේදනය වුණු කොටසක් පමණක් ගෙන කරදරයක් නැතිව ඉන්න අප කැමතියි. දැඩිව නොබැඳුණු ආදරයක් හසුරුවා ගන්න හරි පහසුයි. අපට කැමති වෙලාවක කැමති තැනකින් පටන්ගෙන කැමති වෙලාවක ඉවර කරන්න පුළුවන්. ඒක අපේ භෞතික ජීවිත එක්ක ගැටෙන්නේ නෑ.
මම නිතරම කියන මගේ ජනප‍්‍රිය විහිළුව මෙතැනට ආදේශ කරන්න පුළුවන්. සීනි කෑවාම ලෙඩ හැදෙනවා. ඒ නිසා අපි කැලරි නැති සීනි කාලා සීනි කෑමේ ආශාව සංතෘප්ත කර ගන්නවා. මේ වගේ අපට ඇල්කොහොල් නැති බීර, නිකොටින් නැති සිගරට් හමුවෙනවා. ඒ වගේම තමයි සෙක්ස්. සැබෑ ලිංගික තෘප්තිය කියන්නේ ශරීරය හා මනස තෘප්තිමත් කරගෙන කෙරෙන ලොකු ක‍්‍රියාවලියක්. ඒක බැඳීමක්. ඒ වෙනුවට නිල් චිත‍්‍රපට වගේ පහසු මාර්ග අපට හමුවෙනවා. එයින් විරුද්ධ ලිංගිකයාගේ අතින්වත් අල්ලන්නේ නැතිව අපට ලිංගික තෘප්තිය විදින්න පුළුවන්. හරියට ආදරෙන් බැඳෙන්නෙ නැතුව ආදරය කරනවා වගේ.’
කෙටියෙන් කිවහොත් ශිෂෙක් පවසන පරිදි මේ යුගයේ ආදර සබඳතාවල ස්වරූපය වන්නේ ‘විඳීමක් නැතුව බැඳීමක් හෝ බැඳීමක් නැතිව විඳීමක්‘යන්නය. මෙම අදහස ලාංකේය සමාජ- සංස්කෘතික තලයේදී තරමක අවබෝධයකින් යළි සිතාබැලිය හැකිය. ආදරය, සම්මත/ අසම්මත ලෙස හෝ නියම/අනියම් ලෙස හෝ වර්ගීකරණය කළ නොහැකි බව මෙම ලියුම්කරු තරයේ අදහන නමුත් විවාහක ජීවිත ගත කරන පිරිස් එම සබඳතාවට පිටින් ආදර සබඳතා පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය වටහා ගැනීමේ පහසුවට මෙතැන් සිට ජනප්‍රිය අර්ථයෙන් ‘අනියම් ආදරය‘ලෙස හුවාදැක්වීමට සිදුවන බවද කිව යුතුය. 60,70,80 දශකවල මෙවන් අනියම් ආදර කතාවන් කෙරෙහි සමාජය විසින් ප්‍රතිචාර දක්වනු ලැබුවේ අසීමාන්තික බියකින් යුතුවය. එය ‘තහනම් ගහේ ගෙඩි‘,දැලි පිහියෙන් කිරිකෑම, මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය“, ආදී ලෙස සැකෙවින් දැක්විණි. ඒ අනුව ඒවා බොහෝවිට ඝාතනයකින්, සියදිවි නසා ගැනීම්වලින්, පවුල් කඩා ඉහිරවීම්, දරුවන් හුදකලාවීම් ආදියෙන් කෙලවරවූ නිසාමය. එහෙත් වත්මන්හි එසේ නොවේ. විවාහයට පිටින් ආදර සබඳතා සාමාන්‍යකරණයවී ඇති අතර එය පවුල් කුටුම්භයට බාධාවක් නොවන පරිදි පවත්වා ගැනීමට තරම් සියලුදෙනා සවිඥානකය. ඒ නිසාම බොහෝදෙනෙකුට දුම්රියේදී එක් ආදරයක්, කාර්යාලයේදී තවත් ආදරයක්, නිවසේදී අඹු-සැමි ආදරයක් පවත්වාගැනීමට වරදකාරී හැඟීමකින් තොරව හැකියාව ලැබී තිබේ. මේ පිළිබඳ කිසිවෙකු විසින් විමසන ලැබුවහොත් ‘මම එයාටත් අඩුවක් කරලා නෑනේ‘, ‘අපි බබාලා නෙවෙයිනෙ‘ වගේ අදහසකට සමස්තය ලඝු කිරීමට ඔවුන්ට හැකිය. සැකෙවින් පවසතොත් මෙය ‘පශ්චාත් නූතන ආදර සබඳතා‘ ලෙස හැඳින්නුවද වරදක් නොවේ. මෙම අරුතින්, නව සංදර්භයන්ට ව්‍යුහගත නොවී පවත්නා සමාජ පරිසරයක වුවද, පූර්ව නූතන අවධියේද මෙවන් සබඳතා කිසිවෙකුටත් ගැටළුවක් නොවන ලෙස සමාජයේ අධිනිශ්චයව පැවතිණි. එනම් පූර්ව නූතන යුගයේ ලාංකේය සමාජ සත්තාවට එය එතරම් ගැටළුවක් නොවුණි. වාසගම් ලෙස ‘මුදියන්සේගේ/මුදියන්සේලාගේ වීමත් ආරච්චිගේ/ආරච්චිලාගේවීමත් අතර වෙනස විසින් එය සාමාන්‍යකරණය කර තිබිණි. “‘බොහෝ බුද්ධිමත් සංස්කෘතික කවයන් අපි ආයෙමත් පූර්ව නූතන ආදර සංස්කෘතික සම්බන්ධයකට යනවා යයි ප‍්‍රශ්න කරන“ බැව් ශිෂෙක් විසින් සිහිපත් කරනු ලැබුවේද මේ නිසාමය.
මෙලෙස සැබවින්ම පවුල් කුටුම්භයන් බාධාවක් කර නොගන්නා අතරම ඊට පරිබාහිරව ආදර සබඳතා පවත්වා ගැනීමේ මොහොත හෙවත් පශ්චාත් නූතන ආදර අන්දර දෙකක හරස්කඩක් ලෙස චාලක රණසූරියගේ ‘බොක්ස් ‘ සහ ‘හෙලෝ‘ කෙටි නාට්‍ය ද්විත්වය අපට අභිමුඛවී තිබේ. ‘හෙලෝ ‘ නාට්‍ය නිර්මාණය, එකම බස් නැවතුම්පළක එකතුවී සිටින පුද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ රැකියාව කරන අයෙකු යයි සිතිය හැකි පුද්ගලයෙකු සහ පෙදරේරු වෘත්තියේ නියැළෙන අධ්‍යාපන මට්ටමින් ඉතා අඩු යයි සිතිය හැකි පුද්ගලයින් දෙදෙනෙකු වටා ගෙතී තිබේ. ඔවුන් දෙදෙනාට එම මොහොතේ එන ඇමතුම් හා දෙදෙනා ඊට දක්වන ප්‍රතිචාර මත පමණක් නාට්‍ය ආරම්භයේ සිට අවසානය දක්වා විකාශන වෙයි. ජංගම දුරකථන දෙක නාදවීමේදී එහි නාදයට යොදා පවත්නා ජනප්‍රිය ගීත දෙකක සංගීත ඛණ්ඩය, දෙදෙනා ප්‍රතිචාර දක්වන භාෂා ශෛලිය, දෙදෙනාට දෙදෙනා අභිමුඛවීමේදී අභිනයන්, ශාරීරික භාෂාවන්, රුචි අරුචිකම් ආදී සියල්ලෙන්ම දෙදෙනා අයත්වන පවුල් පසුබිම, අධ්‍යාපන මට්ටම, වෘත්තිකභාවය පිළිබඳ ප්‍රේක්ෂකයාට පැහැදිලි චිත්‍රයක් මවාපෑමට නාට්‍යකරුවා සමත්ය.
‘‘මහත්තයා අපේ ගෙදරට පනිනවා කියලා මම දැනගත්තෙ මීට අවුරුද්දකට කලින්. මහත්තයට මට්ටම් පොලු පාරක් දෙන්න හිතුණු වාර අනන්තයි. ඒත් මං එහෙම කරේ නෑ“ නාට්‍යයේ උච්චතම අවස්ථාවේදී පෙදරේරුවා පවසයි. ඒ පූර්ව නූතන වෘත්තිකයෙකුගේ පශ්චාත් නූතන ඉවසීමයි.
‘බොක්ස්‘ කෙටි නාට්‍ය තුළින් නිරූපනය කෙරෙන්නේ මැදිවියේ රාජ්‍ය සේවකයෙකු, ලිංගික ශ්‍රමික තරුණියක සමග සිනමාශාලාවක ‘කුටියක්‘ තුළ ගත කරනු ලබන මොහොතකි. පැරණි චිත්‍රපටයක් වන ‘පරසතු මල්‘ යළි තිරගත කෙරෙන අවස්ථාවකි. තරුණිය චිත්‍රපටයේ බොනී මහත්තයාට ආදරය කරයි. ඇය චිත්‍රපටය නැරඹීමටත්, බොනී මහත්තයා සමග මානසික බැඳීමක කාලය ගතකිරීමටත් උත්සාහ කරන අතර රාජ්‍ය සේවකයා මොහොතක ලිංගික තෘප්තියක් විඳීමට දැඩි පරිශ්‍රමයක යෙදෙයි. දෙදෙනා අතර පවත්නා ගැටුම නාට්‍ය නිර්මාණයේ අන්තර්ගතය වන අතර චිත්‍රපටය නිමාවන මොහොත, නාට්‍යයේද නිමාව සනිටුහන් කරන අතර ඒ වනවිටත් රාජ්‍ය සේවකයාට තමා පැමිණි අරමුණ ඉටුකර ගැනීමට නොහැකිව ප්‍රේක්ෂකයාට හාස්‍ය ඉතිරි කොට නැඟිට යාමට සිදුවේ. සමකාලීන පවුල් කුටුම්භයේ ඛේදවාචකයෙහි එක් තලයක් මෙහි මැනවින් නිරූපනය කෙරෙයි. තරුණිය මෙසේ පවසයි.
‘‘බොනී මහත්තයා කියන්නෙ මං අවුරුදු දාහතරේ ඉඳන් ආදරය කරපු කෙනෙක්. මට බොනී මහත්තයාගෙ ගෑනු තලේ එක ගෑනියෙක් වෙලා දවසක් හරි ඉඳලා මැරුණත් කමක් නෑ“.මෙම ප්‍රකාශය ඉතාමත් වැදගත්ය. ඇයට අවශ්‍ය වන්නේ තමන් ආදරය කරන බොනී මහත්තයා මුළුමනින් අත්පත් කරගැනීමට නොව ඔහුට හිමි ගැහැනු පිරිසේ අයෙකු ලෙස දවසක් හෝ සිටීම පමණි. මේ විඳීමක් නැති බැඳීම්වල හා බැඳීමක් නැති විඳීම්වල ප්‍රකාශනය මිස අන් කුමක්ද?
-ප්‍රියාන් ආර් විජේබණ්ඩාර (29-08-2017/දිනමිණ)