Saturday, November 4, 2017

එදා මෙදාතුර බෝඩිංකාරයෝ

1962දී සුගතපාද සිල්වා විසින්  ලියා නිෂ්පාදනය කළ 'බෝඩිංකාරයෝ' නාට්‍යය, කෘතියක් ලෙස ප්‍රකාශයට පත්වීම නොබෝදා සිදුවිය. කොළඹ, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේදී ඒ වෙනුවෙන් ශාස්ත්‍රීය කතා බහක් හා අත්දැකීම් බෙදාහදා ගැනීමක්ද පැවැත්විණි. නාට්‍ය දර්ශනයක් ලෙස සජීවීව දැකබලා ගැනීමට හැකියාවක් නොවුණද, න‍ාට්‍ය පෙළ කියවීමෙන් ඉක්බිතව මෙම තීරුව මේ සතියේ ඒ වෙනුවෙන් වෙන් කරන්නට සිත්විය.
.

                          1962 වසරේදී පැවති නාට්‍ය උළෙලේදී හොඳම පිටපත් රචනය, නිෂ්පාදනය හා රංගනය යන ත්‍රිවිධ ක්ෂේත්‍රයන්ට අදාළව 'බෝඩිංකාරයෝ' සම්මානයට පාත්‍රවිය. එලෙස සම්මාන ලැබීමෙන් පසු සිරිලාල් කොඩිකාරට හමුවූ සුගතපාලද සිල්වා මෙසේ පවසා තිබේ.
''අපි ඉතිං තවම බෝඩිංකාරයෝ නොවැ. 'අපේ කට්ටියේ' අලුත් බෝඩිංකාරයෝනුත් එකතු කරගෙන අලුත් විධිහක නිර්මාණයක් කරන්න මට හිතුණා". 1962 නොවැම්බර් 02දා 'විසිතුර' පුවත්පතට ලිපියක් සපයමින් සිරිලාල් කොඩිකාර විසින් මෙම මතක සටහන එකතු කර ඇත. 50-60 දශක යනු සරච්චන්ද්‍රගේ 'මනමේ'නාට්‍ය බිහිවීමෙන් පසු එකී ආනන්දයෙන් ඇළලී ගිය යුගයකි. පැවති සම්ප්‍රදායික කෝලම්, නූර්ති, නාඩගම්, ජනසංගීතය ආදිය මත නූතනත්වයේ අංග ලක්ෂණ ආරෝපණය කරමින් කළ නව අත්හදා බැලීමක් වූ එය සාර්ථක ව්‍යාපෘතියක් වූ බව සැබෑය. එහෙත් සරච්චන්ද්‍රට පැවති පවුල් පසුබිම, ඇකඩමික් පදනම, සංකේතීය බලය, ගෝල පරපුර කෙරෙහි අවධානය යොමුකරන විට ඔහු උත්කර්ෂයට නැංවීම පිළිබඳ හෝ ඔහුගේ නිරායාස මතුවීම පිළිබඳ එතරම් පුදුමයට පත්විය යුතු නොවේ. සාපේක්ෂ වශයෙන් එවන් කිසිදු සාධකයක් පරිපූර්ණ නොවූ, එවක සමාජයේ වැදගත් යයි සම්මත‍ ජීවිත නොගෙවූ, වරප්‍රසාද අහිමි නමුත් යමක් කළ යුතු යයි තරයේ විශ්වාස කළ පිරිසක් 'අපේ කට්ටිය' නමින් එකතුවීමම, 'සම්ප්‍රදාය මත නූතන සළුපිළි ඇන්දවීම' වෙනුවට නූතනත්වය අභිමුව තමන්ගේම සැබෑ ජීවිත දෙස හැරීබැලීමට කළ බලකිරීමක් විය. ඔවුන් සැබවින්ම එතෙක් ගල්ගස්වන ලද සමාජ-සංස්කෘතික-දේශපාලන-ආර්ථික ජීවන තත්ත්වයටන්ට 'පිටස්තරයන්' විය. 'අපේ කට්ටියේ අලුත් බෝඩිංකාරයොනුත් එකතු කරගෙන'' යයි සුගතපාලද සිල්වා විසින් කියන විට සැබවින්ම මේ සියලුදෙනාම අලුත් වුවද, පැරණි වුවද, බෝඩිංකාරයින්ම වූ බැව් පැහැදිලිය.

                          සිරිලාල් කොඩිකාර සමග කළ කතා බහේදී සුගතපාල ද සිල්වා තවදුරටත් ‍මෙසේද පවසයි.
"නිර්මාණයක් ඇතිවන්නේ අත්දැකීමකුත් අනාවරණය නොවූ යමකුත් එක්වීමෙන්. 'බෝඩිංකාරයෝ' නමැති නිර්මාණයට එක්වුණු අත්දැකීම නම් මා, සෙසු බෝඩිංකාරයනුත් බෝඩිං ජීවිතයෙන් ලබා ගත් දෙයයි".
                                                        සැබවින්ම බෝඩිම යනු කුමක්ද? එය තවදුරටත් පැරණි සමාජයේ සම්ප්‍රදායික ජීවන රටාවට සෙවණ දුන් ආයතනය නොවේ. අද දවස තරමට ‍වානිජ ප්‍රාග්ධනය සංකේන්ද්‍රණය නොවුණද, පරම්පරා ත්‍රිත්වයකට පමණ පසු 60 දශකය යනු ඉඩම මත පදනම් වූ ගැමි කෘෂි ආර්ථිකයේ හා සංස්කෘතිය ක්‍රමයෙන් ගිළිහෙන්නට පටන් ගත් දශකයයි. ගමේ පැවති ඉඩකඩම් පරම්පරා දෙක තුනක් යන විට කොටස් ලෙස වෙන්වී ආදායම් බෙදී යන්නටත්, පවුල්වල අලුත් තරුණයින්ට පැරණි කෘෂිකර්මය හෝ පාරම්පරික කර්මාන්ත මත තවදුරටත් යැපීමට හැකියාවක් නොවුණි. අනෙක් අතට නිදහස් අධ්‍යාපනයේ ඵල ලැබෙමින් පැවති මෙන්ම  56 දී රාජ්‍ය භාෂාව සිංහලවීමේත් ආනිසංසයෙන් යම් අධ්‍යාපනික වරප්‍රසාදයක් හිමිකරගත්තවුන් ගමෙන් නගරයට සංක්‍රමණයවීමට පටන් ගත් යුගයයි. මේ නිසාම අවතැන්වූ තාරුණ්‍යයට ගමේ හුරු පුරුදු ජීවිතය, නගරය විසින් මුළුමනින්ම බාර නොගත් බැවින් 'ගන්දබ්බ' ජීවන රටාවකට හුරුවීමට සිදුවිය. එවන් පරපුරකට සෙවණ සැලසූ නගරයේ තීරණාත්මක ව්‍යුහය වූයේ 'බෝඩිම'යි. මුල් ග්‍රාමීය වුවද, විවිධ සමාජ බල ධූරාවලින් නියෝජන කළ, විවිධ ගති පැවතුම්වලින් යුතු, නානාප්‍රකාර අනාගත සිහින දුටු, දිවයිනේ බොහෝ ප්‍රදේශ නියෝජනය කළ පිරිසක් නගරයේ 'බෝඩිං' තුළ එකට එක්වූ වෙනස් උපසංස්කෘතියකට උරුමකම් කී පිරිසක් වූහ. මෙවන් පිරිසකගේ රුචි අරුචිකම්, අනාගත අපේක්ෂා යම් තාක් දුරට රටේ දිශානතියටද බලපෑම් කළ බව පෙනෙන්නට ඇත්තේ එහෙව් බෝඩිංකාරයින් පරම්පරා කිහිපයක් ක්‍රමයෙන් 60-70-80-90 දශකවල නගරයට සංක්‍රමණය වී පර්චස් 25-20-15-10 ඉඩම් කට්ටි තුළ සිරගතවී යම් සංකේත බලයක් අත්පත්කරගෙන සිටිනු දකින්නට ලැබෙන නිසාය. ඒ අර්ථයෙන් සුගතපාල ද සිල්වාගේ 'බෝඩිංකාරයෝ' යනු හුදෙක් නාට්‍ය නිර්මාණයක් පමණක් නොව මෑත ඉතිහ‍ාසයේ හරස්කඩකි.

                                නාගරික ජන ජීවිතය තුළ බෝඩිං පවත්වාගෙන යන්නන් කෙරෙහි අවධානය යොමුකරන විට ඔවුන් ද ඉහළ මධ්‍යම පාන්තිකයින් හෝ ධනවතුන් නොවේ. කලක උපයා ගත් යම් යම් දේ තුළින් ජීවන රටාව පවත්වාගෙන පැමිණියද, අලුත් ආර්ථික රැළි හමුවේ අමතර ආදායමකින් තොරව පැවතිය නොහැකි පිරිසකි. අද වනවිට නම් බෝඩිං යනු ඔවුන්ගේ අමතර ආදායම නොව ප්‍රමුඛතම ආදායම් මාර්ගයමය. ඒ නිසාම තම සේවාදායකයින් සමග හොඳ හිත පවත්වාගෙන යාම, ඒ අතරින් තමන්ගේ අනාගතය රඳා පවතින්නේ යයි සිතන පිරිස් කෙරෙහි වැඩි ළෙංගතුකමක් පවත්වාගෙන යාම සාමාන්‍ය ලක්ෂණයකි. 'බෝඩිංකාරයෝ' හි එන බෝඩිංහිමිකාරිය හෙවත් මිසිස් ජයසිංහ කෙරෙහි මෙම සියලු ලක්ෂණ අනූනව පිහිටා තිබේ. ඒ අනුව බෝඩිං ජීවිත ව්‍යුහගතවී ඇත්තේ ආදරණීය මිනිස් සබඳතාවන්ට වඩා උපයෝගීතා පදනම් කරගෙනය. බෝඩිං හිමිකාරියගේ දියණිය වන සරෝජිනීද, ඒ මොහොතේ යැපීමට වඩාත් සුදුසු වන්නේ කවුරුන්ද යන්න මත පිහිටා ක්ෂණික තීන්දු ගැනීමට පෙළඹෙයි. රැල්ල සමග පිහිනා ගොඩ ඒමට වලිකන සිරිසෝම වැන්නන්ද, හදිසි අකරතැබ්බයන්ගෙන් රැල්ල මගහැරුණු පෙරේරා වැන්නන්ද, රැල්ලට එරෙහිව උඩුගං බලා පිහිනීම හෝ නිසොල්මනේ බලා සිටින ගුණපාල වැන්නන්ද, ඒ කිසිවකටත් අයිති නොවන වීරසේකර වැන්නන්ද එදා මෙදා තුර ඕනෑම බෝඩිමක දැකිය හැකිය. වෙනසකට ඇත්තේ ඔවුන් අරමුණු කර ඇති ඉලක්කයන් හෝ පදනම් වන පුරුෂාර්ථවල වටිනාකම් පමණි. සිරිසෝමලා තමන්ගෙන් අනාථවුණු තරුණියන් අතහැර කුමාරිහාමිලා විවාහ කරගෙන ගමට යාමට කල්පනා කරනු වෙනුවට අන්තර්ජාලය හරහා විදෙස් තරුණියක් හඳුනාගෙන ඇය හා විවාහවීමෙන් විදෙස් පුරවැසිභාවය ලබා යනු ඇත. පෙරේරලාට රජයේ රෝහල්වලින් නෙරපූවද, පුද්ගලික රෝහල්වල දොර විවෘත වනු ඇත. සරෝජිනීලාට ඉතා  පහසුවෙන් ගබ්සාවක් කරගැනීමෙන් ඉක්බිතිව ප්ලාස්ටික් සැත්කමක් මගින් යළි කන්‍යාභාවය ලබා ගැනීමට හැකිය. වීරසේකරලා තමන්ගේ හීනමානයත්, සමාජීය බෙලහීනතාවත් ආදායම් මාර්ගයක් කොට ටෙලිවිෂන්වල සාමිලා, දෛවඥයින් බවට පොළාපනිනු ඇත. එහෙත් ගුණපාලලා පමණක් රැල්ලට ගසාගෙන යන උන් දෙස උපෙක්ෂා සහගතව බලමින් ගං ඉවුරේ සිට ජීවිතය විඳිනු ඇති බව කිව හැකිය.

                     සුගතපාල ද සිල්වා ද අයත්වූ 'අපේ කට්ටිය' ගැන මගහැර යා නොහැකි සටහනක් තබා ඇති සයිමන් නවගත්තේගම උපුටා දක්වමින් මෙම සටහන හමාර කරනු කැමැත්තෙමි.
''පනහ, හැට දශකවල සිංහල වේදිකාවේ ඇතිවූ පෙරළිය, අද දක්වා ක්‍රම විකාශය වෙමින් විද්‍යාමන වෙයි. නූතන තරුණයෝ 'නාට්‍යය' කියන්නේ මොකක්දැයි ඉගෙන ගන්නේ මෙම ප්‍රවාහයේ නූතන ප්‍රතිඵල නැරඹීමෙනි. එහෙත් තමන්ගේ නිර්මාණ කාර්යයෙහිලා 'අපේ කට්ටියේ' බලපෑම ඔවුහු නොදනිති." (ප්‍රේක්ෂා-1(1995)
           

                     
-දිනමිණ(31-10-2017)