Sunday, December 30, 2018

පිටු සංස්කරණය 'කජු කෑමක්' වී ලිවීම 'හුළං ගිය බැලුමක්'වීම හෙවත් අපේ කාලයේ සංස්කාරකවරුන්ගේ ඛේදවාචකය!

කුටුම්භය (සම්භාව්ය අර්ථයෙන් එවැන්නක් මට කිසිදාක තිබී නැත) සමග පැවති සුළු හෝ සබඳතාවය ලිහී මහ පාරේ ජීවිතය සොයන්නට පටන් ගත් කාලයේ සිට මං හෙව්වේ ලියන්නට කියන්නට කතා කරන්නට හැකි වෘත්තියකි. ජූලියස් ෆූචික්, ඔරියානා ප්ලච්, ඩොනල්ඩ් වූඩ්ස්ලා ‍හමු නොවූ බව සැබෑය. එහෙත් වෘත්තීය, බඩ රස්සාවෙන් ඔබ්බට ගිය රසක් ඇති තැනක් බවට පත්කළ පෙර පරම්පරාවන් කිහිපයක මිනිසුන් කිහිප දෙනෙකු ඇසුරු කරන්නට ලැබීම භාග්‍යයකි. පුවත්පත් කලාවේ පුංචිම තැනක සිට විද්‍යුත් මාධ්‍යය හරහා නව මාධ්‍යයටත් එක සේ දායක වන්නට ලැබුණු සියවස් දෙකක් යා කළ පරම්පරාවක් නියෝජනය කරන්නට ලැබීමත් වෙනස් ආරක අත්දැකීමකි. 'ලිවීම' ජීවිකාවත්, ජීවිතයත් බවට පත්ව තිබූ කාලය අතීතයට එකතු වී තිබේ. හෙට දවසේ තෝරාගන්න‍ට සිදුවන්නේ කුමක්දැයි අනුමාන කිරීම පවා අපහසුය. පසුකාලීනව පුවත්පත් පිටු සංස්කාරකයින් බවට පත්වූ මිතුරන් මෙන්ම පෙර පරම්පරාවේ ඇතැම් ගමන් සගයන් තම වෘත්තියේ ක්‍රියාකාරකම් කෙරෙහි අද දවසේ දක්වන ආදි කල්පික මතවාදයන් මෙන්ම හැසිරීම් යනු හෙට දවසේ ක්ෂේත්‍රයේ දිශානතියට කෙතරම් බලපෑම් සහගතවේද, මිත්‍ර සබඳතාවන් කෙසේ වරනඟනු ලබත්ද යන්න යළි සිතාබැලිය යුතු කාලයක් පැමිණ තිබේ.




                      අද දව‍සේ පුවත්පතක පළවන බොහෝ ලිපි කියවනවිට මුද්‍රණ දෝෂ, වියරණ දොස්, පමණක් නොව ඇතැම්විට එකිනෙක වාක්‍යයන් අතර නොගැලපීම්, තවත් විටෙක එකම වැකියේ පරස්පර යෙදුම් හෝ අර්ථය සංදර්භය හා ගැටීම් බහුලව දැකිය හැකිය. තවත් විටෙක ලිපියේ මාතෘකාව හා අන්තර්ගතය අතර සම්බන්ධයක් නොවන අවස්ථාවන්ද ඉඳ හිට හමුවී තිබේ. වරෙක මවිසින් චිත්‍රපටයක් අරබයා ලියූ ලියවිල්ලක හැඳින්වීමේ කරුණු කිහිපයක් දක්වා ඒ එකිනෙක ගැන ඡේදයෙන් ඡේදයට විස්තර කර තිබුණද, පුවත්පතේ පළවූ ලිපියේ අත්‍යවශ්‍ය කරුණු පරාසයක් අතුරුදහන්වී තිබිණි. මගේ ලියවිලි පිළිබඳ යම් අවබෝධයක් තිබුණු කිහිපදෙනෙකුම මට කතා කර ඇසුවේ, 'මොකක්ද බන් අර ලියලා තියෙන්නෙ. පටන් ගන්නකොට හෙණ එකක් දීලා පටන් අරන් තියෙනවා. ඉවර වෙනකොට මොකුත් කියලා නෑ" කියලයි. මා විසින් සිදුකරනු ලැබුවේ අදාළ සම්පූර්ණ ලිපිය, ෆේස්බුක් එකේ ෂෙයාර් කිරීම හා තාවකාලිකව එකී පුවත්පතට ලිවීම අත්හිටුවීමයි. ඒ ගැන බුකියේ ලියූ සටහනට කමෙන්ටුවක් එකතු කළ නළු නිළියන්ගේ ඕපාදූප ලිවීම, 'මාධ්‍ය කලාව' ලෙස වටහාගෙන සිටි ප්‍රවීණයෙකු එය ''සංස්කරණ අයිතිය" බැවින් ලියන්නන් සංස්කාරකට යටත් බැව් අවධාරණය කරන ලදී. ලිවීම 'ටොයිස්' වී සංස්කරණය 'සුපර්' වීම ගැන නැවත සලකා බැලිය යුතු බව කල්පනා කරන්නට සිදුවූයේ පසුගිය දිනෙක අවමඟුලක ඇදුණු 'මඟුල් කතා' වක් නිසාමය.



                                                 'සංස්කාරකවරයෙකු' සතු හැකියාව කෙබඳු විය යුතුද? ව්‍යාකරණ දැනුම හෝ තනතුර පමණක් ඊට ප්‍රමාණවත් වනු ඇත්ද? සංස්කාරක සතු අයිතියෙන් ලේඛකයාගේ අයිතිය යටපත් කළ හැකිද? නිදසුනක් ලෙස තමන් ලියූ ලිපියක අර්ථය විකෘති වන සේ මාතෘකාවක් යොදා ඇත්නම්, ලිපියේ අත්‍යවශ්‍ය කොටස් ඉවත් කර අරුත් සුන්වී ඇත් නම්, වැකි නියමිත සංදර්භයෙන් ඉවත්වන ලෙස සංස්කරණය කර ඇත්නම් එය පළවන්නේ තමාගේ නමින් නම් එයින් තමාගේ සංකේතීය වටිනාකමට, ආත්ම ගෞරවයට හානි සිදුවී ඇත්නම් ලියන්නාට ඒ වෙනුවෙන් කතා කරන්න‍ට හෝ අයිතියක් නැතිද? එහිදී කළ යුත්තේ "ඒක සංස්කරණ අයිතිය" යයි නිහඬවීම පමණද? වරෙක ජාතික පුවත්පතක සාහිත්‍ය පිටු සංස්කාරකවරයෙක් මට කතා කොට 'අද ඔයාගෙ පොත ගැන ලිපියක් තියෙනවා' යයි කීවේය. මවිසින් අදාළ පුවත්පත මිලදී ගෙන සාහිත්‍ය අතිරේකයේ මුල සිට අගට බැලුවත් එවැනි ලිපියක් සොයා ගැනීමට නොහැකි විය. වඩාත් සුපරීක්ෂාකාරීවීමේදී මට අරුත වටහා ගත හැකිවිය. ‍ප්‍රවීණ ලේඛක ටෙනිසන් පෙරේරා විසින් වත්මන්හි පළ වන කෙටිකතාවල දුර්වලතා පිළිබඳ අගනා ලිපියක් ලියා තිබිණි. එම ලිපියට අදාළව පිටුව සකස් කිරීමේදී ඡායාරූප ලෙස එවක පළවූ කෙටිකතා පොත් කිහිපයක කවර පළ කර තිබුණු අතර මගේ කෙටිකතා පොතේ පිටකවරයේ ඡායාරූපයක්ද ඒ අතර විය. එහෙත් ලිපියේ කිසිදු තැනක මගේ කෘතිය පිළිබඳ වචනයක් හෝ සඳහන් නොවිණි. තමාගේ නිරීක්ෂණයට මාගේ කෘතියද, ඇතුළත්වූයේදැයි පොත් දොරටවැඩුමකදී හමුවූ ටෙනිසන් ගෙන් මම විමසුවෙමි. ''අනේ ඔයාගෙ පොත මං ඇහැටවත් දැක්කෙ නෑ" යි ඔහු කියා සිටියේය. මවිසින් ලියූ කෙටිකතා කෘතියේ දුර්වලතා බොහෝ තිබෙන්නට ඇත. ටෙනිසන් විසින් සමකාලීන කෙටිකතා සම්බන්ධයෙන් පවසන ඇතැම් කරුණු මාගේ කෘතියටද, යම් පමණකට හෝ අදාළ වූවා වන්නටද, පුළුවන. ඒ ගැන විචාරය කිරීම හෝ නොකිරීම පවා ඔවුන්ට අයිතිය. එහෙත් මාගේ කෘතිය ඇහැට හෝ නොදුටු විචාරකයෙකුගේ විචාරයකට අදාළව පිටු සැකසීමේදී පසුබිමේ ඡායාරූපයක් ලෙස මාගේ කෘතිය පාවිච්චි කිරීම කෙතරම් සදාචාර සම්පන්නද? මම කිසිවක් නොකීමි. අදාළ සංස්කාරකවරයාට දුරකථන ඇමතුමක් ලබාදී 'ස්තූතියි' කියා පමණක් කීමි. එම සංස්කාරකවරයා අද දවසේද, ජාතික පුවත්පතක සාහිත්‍ය පිටු සංස්කරණය කරන දැවැන්ත චරිතයකි. ලංකාවේ අද දවසේ  ''සංස්කරණ අයිතිය" යනු එවැනි දෙයකි. තවත් විටෙක ප්‍රවීණ ලේඛක දයා දිසානායක විසින් සාහිත්‍ය කෘති විනිශ්චය කිරීමක් අරබයා ප්‍රසිද්ධියේ කියන ලද අති සරල, වගකීම් විරහිත, පුද්ගලවාදී ප්‍රකාශයකට ප්‍රසිද්ධ ලිපියක් මගින් පිළිතුරු ලබාදුනිමි. ''දයා දිසානායකට පිළිතුරක්" ලෙස මවිසින් ලියූ ලිපියේ මාතෘකාව යොදා තිබුණද, ලිපිය පුවත්පතේ පළවූයේ ''පොත් ප්‍රකාශකයින්ගේ සංගමයට පිළිතුරක්" ලෙසය. අවසන් ප්‍රතිඵලය වූයේ පොත් ප්‍රකාශකයින්ගේ සංගමයට මාව හඳුන්වා දුන් ජනක ඉණිමංකඩ මිත්‍රයා වසර ගණනාවක් මා සමග අමනාපයෙන් සිටීමය. අදාළ ලිපියේ මාතෘකාව අමතක කර අද දවසේද, ලිපිය මුල සිට අගට කියවිය හැකිනම් ලිපියකට මාතෘකාව තරම් වැදගත් තවත් යමක් තිබිය හැකිදැයි ඒත්තු ගන්වා ගත හැකිය. සංස්කරණ අයිතිය යනු එබඳුය. මෙවැනි නිදසුන් ටොන් ගණනක් දිය හැකිය.



                                   කලකට ඉහතදී මහින්ද අබේසුන්දර විසින් ආණ්ඩුවේ ටෙලිවිෂනයේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් පසුව 'විමසුම' නමින් මඩ ලියවිල්ලක් ලියා ප්‍රචාරය කරන ලදී. එවක මාධ්‍ය මර්දනයට එරෙහිව අරගල කළ වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට එරෙහිව දිගින් දිගටම ද්වේෂ සහගත ලෙස "එන්.ජී.ඕ වලින් මුදල් ගෙන රට පාවාදෙන මාධ්‍ය ද්‍රෝහීන්" ලෙස හඳුන්වමින් මඩ ව්‍යාපාරයක් ගෙන ගියේය. එම ලියවිල්ල ප්‍රචාරය කරන අවස්ථාවේදී සංස්කරණය කරන ලද රූප රාමු ලෙස පෙන්වන ලද්දේ වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් කොටුව දුම්රියපළ ඉදිරිපිට කරන ලද උද්ඝෝෂණයක වීඩියෝ දර්ශනයන්ය. එහි ඉදිරියෙන්ම සිට සටන්පාඨ කියන පොද්දල ජයන්තගේ  නිතර නිතර වඩා සමීප දසුන් ලෙස පෙන්වීමටත්,  ඇතැම්විට රවුම් කර පෙන්වීමටත් එවක එකී ටෙලිවිෂනයේ ප්‍රවෘත්ති සංස්කාරකවරයා කටයුතු කර තිබිණි. එහි ප්‍රතිඵලය ලෙස එක් පසෙක පොද්දල ජයන්තට අමානුෂික පහරදී කකුලක් පවා කඩා දැමීම සිදුවන අතර අ‍නෙක් පසින් දියණියට පාසලේ අර්බුද මතුවීමටත්, අවසානයේ පොද්දල පවුලට කුලී ගෙයක්වත් සොයා ගැනීමට නොහැකි තැනට මිනිසුන් උසිගැන්වීම ඵලදැරීමය. මහින්ද අබේසුන්දර පවා ලේක් හවුසියේ දිනමිණ කර්තෘ ලෙස හමුවන අවස්ථාවන්හිදී පුද්ගලිකව මටත්, තවත් බොහෝ දෙනෙකුටත් පවසා තිබුණේ "පොද්දල නම් අහිංසකයා. මට අනිත් උන් නම් පේන්න බෑ" කියාය. එහෙත් ඒ අහිංසකයාට කෙළවීමට තමන්ගේ ලියවිල්ලත්, අදාළ ටෙලිවිෂනයේ පුවත් සංස්කාරකයාත් රූප රාමු සංස්කරණය කිරීම කෙතරම් බලපෑමක් කර තිබුණේද, යන්න පිළිබඳ ඔහුට තක්සේරුවක් තිබුණේදැයි මම නොදනිමි. ඒ ඊනියා "සංස්කරණ අයිතිය" යි. අද මහින්ද අබේසුන්දර ජීවතුන් අතර නැත. පොද්දල ජයන්ත රටේ නැත. එවක මර්දනයේ ගොදුරු බවට පත්වූ ඇතැම් මිත්‍රයින් අද මහින්ද අබේසුන්දරලාට එදා හයිය දුන් ලේක්හවුසියේ මාධ්‍ය ඔස්තාර්ලාය. එදා සංස්කරණයේ අමානුෂිකත්වය අත්විඳියවුන් අද ''සංස්කාරකවරුන්ගේ පරම සංස්කරණ අයිතිය" වෙනුවෙන් මිත්‍රයින් පාවාදීම තේරුම් ගත හැක්කේ කෙසේද?



                              කෙනෙකු තමාගේ හිමිකම් භුක්ති විඳිය යුත්තේ අනෙකාගේ හිමිකමට බාධාවක් නොවන ලෙස බැව් අමුතුවෙන් කිව යුතු නොවේ. " මා අත ඇති සැරයටිය වැනීමට මට පවත්නා අයිතිය අනෙකාගේ නාසය ළඟින් කෙලවර වේ" යයි කීවේ ජෝන් ලොක්ය. ''මා හට පවත්නා සංස්කරණ අයිතිය අනෙකාගෙ ලිවීමේ අයිතිය ළඟින් නවතී" යයි කියූ ලොක් කෙනෙක් ගැන මා අසා නැත. එහෙත් මූලධාර්මික වශයෙන් එහි වෙනසක් මට නොපෙනේ. කිසිවෙකු විසින් ලියන ලද ලිපියක් දැඩි සේ සංස්කරණයට ලක් කරද්දී අවම වශයෙන් එම ලිපිය පළ කිරීමට ප්‍රථම අදාළ ලියුම්කරුට ඒ පිළිබඳ දැන්වීමේ ආචාර ධාර්මික පුරුද්දක් සංස්කාරකවරුන්ට නැත. "ඔයාගෙ ලිපියේ අර වාක්‍යය අයින් වුණා නම් හොඳයි. ඔයාගෙ ලිපිය ටිකක් දිග වැඩියි. මට අන්තිම ඡේදය තව ටිකක් අඩු කරලා දෙන්න" යනුවෙන් කෙනෙකු මට කියා ඇත් නම් ඒ අනෝමා රාජකරුණා පමණි. "එඩිටිං එතික්ස් අපිත්  ඉගෙන ගන්න ඕන අනෝමගෙන්" යයි ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිද, මට වරෙක කියා තිබේ. ලියන්නන්ට අපුල්ලන්නන්ට පමණක් නොව සංස්කාරකවරුන්‍ටද පිළිගත් ආචාර ධර්ම ඇති බව ලංකාවේ ඔස්තාර්ලා බොහෝ දෙනෙකු නොදනී. වරෙක ලංකාවේ මාධ්‍ය මර්දනය හා මානව හිමිකම් කඩවීම් පිළිබඳ වාර්තාවක් ආශ්‍රිතව අමෙරිකානු පුවත්පතක කුඩා ප්‍රවෘත්තියක් පළ වී තිබිණි. එය එවක මෙරට විකල්ප පුවත්පතක සිංහලට පරිවර්තනය කොට පළ කර තිබිණි. තමාගේ පුරුදු මාධ්‍යකරණයේ යෙදෙමින් එවක දිනමිණ කතුවරයා වූ මහින්ද අබේසුන්දර අදාළ පුවත්පතට පිළිතුරු ලිපියක් යොමු කර තිබිණි. එම පිළිතුරු ලිපිය පළ නොවුණද, එම ලිපිය ලැබීම පිළිබඳ එම පුවත්පතේ කතුවරයා විසින් පිළිතුරු ලිපියක් අබේසුන්දරට එවා තිබුණි. "උක්ත කරුණ සම්බන්ධයෙන් ඔබ විසින් අප වෙත ලිපියක් යොමු කිරීමට කටයුතු කිරීම පිළිබඳ ස්තූතිය පළ කරන අතරම ඔබගේ ලිපියේ කරුණු අපගේ ආයතනික ආචාරධර්ම හා ගැටෙන බැවින් එය පළකිරීමට සුදුසු තත්ත්වයේ නොමැති බැව් කනගාටුවෙන් දැනුම් දෙමි" යන්න එලෙස එවන ලද ඉංග්‍රීසි මාධ්‍ය ලිපියේ සිංහල අදහස විය. පසු දින දිනමිණ පුවත්පතේ මුල් පිටුවේම තමාට එවූ ලිපියේ ඡායාරූපයක්ද සහිතව පුවතක් පළ කරමින් මහින්ද අබේසුන්දර විසින් පවසා තිබුණේ 'තමාගේ අභියෝගාත්මක කරුණු දැක්වීමට බියෙන් ලිපිය පළ නොකිරීමට අදාළ ආයතනය තීරණය කර ඇති බව හා එමගින් තමාගේ පිළිතුරු දීමේ අයිතිය උල්ලංඝණය කරමින් මානව හිමිකම් රකින බව කියන අමෙරිකාව මානව හිමිකම් කඩන බවට එයම උදාහරණයක්" බවයි. එවන ලිපියක් පළ නොකරන්නේ නම් කුණු බක්කියට දැමීම මිසක් එතැනින් එහාට පවත්නා යුතුකමක් හෝ වගකීමක් පිළිබඳ අත්දැකීම් නැති ලාංකේය යථාර්ථය එබඳුය. කරන්නේ එහෙමය. කියන්නේ මෙහෙමය. සංස්කරණ අයිතිය යනු එයමය.



                                                      අද දවසේ පුවත්පත්වල නිවරදි සංස්කරණ ප්‍රතිපත්තියක් නොමැතිවීමට බලපාන ප්‍රමුඛතම කාරණය වී ඇත්තේ සංස්කාරකවරුන්‍ට නිසි අවබෝධයක් හෝ අත්දැකීමක් නොමැති කමයි. අද පුවත්පතේ පිටු සැලසුම් ශිල්පියා හෙට පිටු සංස්කාරකවරයෙකු විය හැකිය. අද සෝදුපත් කියවන්නා හෝ කාර්යාල කාර්ය සහායකයා පවා හෙට ප්‍රධාන සංස්කාරකවරයාවීමට ඉඩ තිබේ. මේ කිසිදු වෘත්තිමය භූමිකාවක්  උසස් හෝ පහත් ලෙස සැලකීමක් වත්, එකම භූමිකාවක නිරත පුද්ගලයෙකු තම වෘත්තියෙන් විශ්‍රාම යන තෙක් එහිම නිරතවිය යුතු බවක් වත් මෙයින් අදහස් නොකෙරෙන අතර සංස්කාරකවරයෙකුට එකී සියලුම ක්ෂේත්‍රයන්හි අත්දැකීම් හා අවබෝධයක් තිබීම වඩාත් උචිතය. එහෙත් සැබවින්ම සිදුවන්නේ අවබෝධයක් හෝ අත්දැකීමක්වත් ලබන්නට ප්‍රථම තමාට උහුලන්නට බැරි තරමේ වගකීම් පටවා ගැනීමය. මුට්ටි අල්ලා හෝ තනතුරු ගැනීමය. වික්ටර් අයිවන්ගේ වචනයෙන් කිවහොත් මාධ්‍යවේදීන් වීමට ප්‍රථම මාධ්‍ය ඔස්තාර්ලාවීමය. එ් නිසාම උඩින් පල්ලෙන් කොහෙන් හෝ කෑලි කපා නියමිත ඉඩට ඡායාරූපයක් සමග අකුරු ටික බැස්සවීම පමණක් 'සංස්කරණය' වී තිබේ. අනුන්ගේ ලිපි සංස්කරණය කිරීමට හෝ සංස්කරණ අයිතියට සියල්ල යටත් යයි හිතනවුන් පළමුව  තමන්ගේ ඔළු සංස්කරණය කර ගැනීම කළ යුත්තේ ඒ නිසාය.





-ප්‍රියාන්- (30-12-2018)


Tuesday, October 9, 2018

කලාව වාරණය කොට කලාකරුවන් නිරාවරණය කළ විජේදාස


     
                          



 ‘මාතෘකාව කලාව තහනම් වචනය විජේදාස රාජපක්ෂ’ යයි කොන්දේසි සහිත කථික තරගයක කතා කළ නොහැකි තරමට මෑත යුගයේ මෙම වචන දෙක ගහට පොත්ත මෙන් සහසම්බන්ධවී තිබේ. අනෙක් අතට කලාව යනු කුමක්ද?, කලාකරුවා යනු කවරෙක්ද? යන පැනයන් යළි ඇසීමට හා ඊට නිසි පිළිතුරක් සොයාගන්නට කාලීන අවශ්‍යතාවක් මතුවී ඇත. මෑත යුගයේ සිදුවූ සංසිද්ධීන් විසින් ඊට අනුබල සැපයීම පිළිබඳ යළි සිතා බැලීමක් මෙන්ම ෆේස්බුක් වැනි සමාජජාල වෙබ් අඩවි තුළ සාකච්ඡාවට ලක්කෙරුණු කරුණු විසින් හඟවනු ලබන්නේ කුමක්දැයි සැකෙවින් විමසා බැලීම මෙහි අරමුණයි.

Saman-Malaka-Prasanna


                             රාජපක්ෂ රෙජිමයේ පාලන යුගයේදී කලාකරුවන්ට, කලාවට, සිවිල් සමාජ ක‍්‍රියාකාරීන්ට, මාධ්‍යවේදීන්ට ස්වකීය ප‍්‍රකාශනයේ නිදහසට එල්ලවූ බලපෑම් මෙන්ම මර්දනයන් කිසිවෙකුටත් රහසක් නොවේ. 2015 දී බලය ලබාගත් ඊනියා යහපාලන ආණ්ඩුව ඒ සඳහා පූර්ව මැතිවරණ බිමේ රඟන කාලයේදී කලාවේ නිදහස වෙනුවෙන් ඇප කැප වන බවටත්, ප‍්‍රකාශනයේ නිදහසට බාධා පමුණුවන ලද මෙන්ම වැය කරන ප‍්‍රතිපාදන වලට සාපේක්ෂව සැලකිය යුතු සාධනීය කිසිවක් ඉටු නොකරන හුදෙක් ‘සුදු අලින්’ බවට පත්ව ඇති ප‍්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය, පුවත්පත් මණ්ඩලය වැනි ආයතන අහෝසි කරන බවටත් පොරොන්දු වූයේ ඒ නිසාමය. සුපුරුදු පරිදි ස්වකීය ජයග‍්‍රහණයෙන් පසුව පොරොන්දු ඉටු නොකළ ආණ්ඩුව දෙවසරක් පමණ යන තෙක් කලාවට හෝ මාධ්‍ය නිදහසට අකටයුතුකම් කරන්නට නොපෙළඹුණි. ලංකා ඊ නිවිස් වෙබ් අඩවිය යළි තහනම් කිරීමට පියවර ගැනීමත්, සාහිත්‍යකරුවන්ගේ සියයට දහයක් වැනි සොච්චම් කර්තෘ භාගයට පවා බද්දක් අය කරන තැනටත් ආණ්ඩුව විසින් ක‍්‍රියා මාර්ග ගැනීමේදී, ගමන් ගනිමින් සිටින දිශාව පිළිබඳ ඉඟි පහළවන්නට විය.

                     මූලාරම්භයේදී තමන් සිටින්නේ ආණ්ඩුවේද, විපක්ෂයේද යන්න පවා නිසි ලෙස හඳුනා නොගත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ පට්ටම ගැලවී යන්නේ රාජපක්ෂවරුන්ටම තවදුරටත් කත් ඇදීම නිසාමය. ඉතාම කෙටි කලක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස නිහඬව සිටි ඔහු යළිත් කරළියට පිවිසෙන්නේ කැබිනට් මණ්ඩල සංශෝධනයකින් උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යංශය ඔහුට බාරවීමත් සමගය. බදු ගැසීම, වෙබ් අඩවි වාරණය කිරීමෙන් නොනැවතී තමා යටතේ පවත්නා ප‍්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය, සෘජුවම මර්දන උපකරණයක් ලෙස යොදා ගැනීමට ඔහු නොපැකිළෙන්නේ රාජපක්ෂවරුන් සමග ‘එකගෙයි කෑමේ දේශපාලනයකට’ හේට්ටු කිරීමේ ක‍්‍රියාමාර්ග, පාලන තන්ත‍්‍රයේ ඉහළම තැනින් ආරම්භවී තමන්ගේ කඳවුර ශක්තිමත් බැව් පසක් වූ අවස්ථාවේදීය. සිංහල-බෞද්ධ ජාතිකවාදය, ජාතිවාදය, ආගම්වාදය, ගෝත‍්‍රිකවාදය ස්වකීය දේශපාලන බඩගෝස්තරවාදය බවට පත්කරගත් රාජපක්ෂවරුන්ගේම දෘෂ්ටිවාදය, එසේත් නැතිනම් දේශපාලන උපාය මාර්ගය සමග සහසම්බන්ධවීමෙන් තමන්ගේ පැවැත්ම තහවුරු කරගැනීමට විජේදාසද කල්පනා කළා විය හැකිය. එහි අවසන් ප‍්‍රතිඵලය වන්නේ අසංක සායක්කාරගේ ‘මං කෙළින් මිනිහෙක්’වේදිකා නාට්‍යයත්, කේ.කේ ශ‍්‍රීනාත්ගේ ‘බුදුන්ගේ රස්තියාදුව’කෘතියත්, හා මාලක දේවප‍්‍රියගේ ‘තරුවන් සරණයි’ ගුවන්විදුලි නාටක මාලාවත් වාරණයට ලක්වීමය. මෙහි තවත් උත්ප‍්‍රාසජනක කාරණයක් තිබේ. එය නම් වේදිකා නාට්‍යයකට එරෙහිව තමන්ගේ අත්සනින් යුතුව තම බල අධිකාරියෙන් පියවර ගන්නා විට තමන්ද, හඬ නළුවෙකු ලෙස දායක වූ, එල්ලවී ඇති චෝදනාවන්ට කිසිදු පදනමක් නොමැති බැව් හො`දින් දන්නාවූ ත් ගුවන්විදුලි නාට්‍ය මාලාවක්ද, මෙම ක‍්‍රියාවලියේම දිගුවක් ලෙස වාරණයට ලක්ව ඇති බැව් සමන් අතාවුදහෙට්ටි නම් රැඟුම් පාලක මණ්ඩලයේ සභාපතිවරයා විසින් දැනගැනීමය. ‘මං කපන එකක් නෑ’ යි ටික කලකට ඉහතදී පුවත්පතකට ප‍්‍රකාශයක් කළ ඔහුටම කපන්නටත්, තව තැනක කැපෙන්නටත් සිදුවීම ලජ්ජා සහගතය. එහෙත් ලජ්ජා නහර කැපී බොහෝ කාලයක් ගතව ඇති බැවින් ඒ පිළිබ`ද සංවේදනයක් ඔහුට නැත.      


               
             කුමක් හෝ හේතුවකට ලංකාවේ රාජ්‍ය අනුග‍්‍රහයෙන් පවත්වනු ලබන උත්සව  අවස්ථාවන්හි ප‍්‍රධාන ආරාධිතයෙකු ලෙස සහභාගිවන්නේ අදාළ ආයතනය විෂය කටයුත්තක් ලෙස අයත්වන අමාත්‍යංශයේ ඇමතිවරයාය. රාජ්‍ය නාට්‍ය උළෙලේ ප‍්‍රධාන ආරාධිතයා ‘සංස්කෘතික කටයුතු ඇමතිවීම’ පිළිබඳ කොළඹ පැවති පොත් දොරට වැඩුමකදී ආචාර්ය සුනිල් විජේසිරිවර්දන විසින් හාස්‍යජනක ලෙස සිහිපත් කරනු ලැබුවේ දැනට වසර පහකට පමණ ඉහතදීය. ඒ එවක සංස්කෘතික ඇමතිවරයාගේ ක‍්‍රියාකලාපයන්ද උපුටා දක්වමිනි. තමාගෙ විදෙස් මිත‍්‍රයෙකු ‘උඹලගෙ ගෙදර උත්සවයක් තිබ්බම ඒකෙ ප‍්‍රධාන අමුත්තා උඹ වෙන එක හරිද?’ යන්නෙන් තමාගෙන් ඇසූ බව ඔහු සඳහන් කළේය. එහෙත් කුමන ආණ්ඩුව බලයට පත් වුවද, ක‍්‍රමවේදයේ වෙනසක් නොවන බැවින් මෙවර 2018 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේද, ජනාධිපතිවරයාට අමතරව ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවූයේ විජේදාස ඇමතිවරයාය. වාසනාවට හෝ අවාසනාවට ඒ ඇමතිවරයාගේ සෙවණ යට මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හො`දම කවියා ලෙස සම්මානයට පාත‍්‍ර වූයේ ආචාර්ය සුනිල් විජේසිරිවර්දනය. කෙදිනත් ආණ්ඩුව විසින් සංවිධානය කරන, විෂය භාර අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන ‘රාජ්‍ය සාහිත්‍ය උළෙල’ කෙරෙහි මෙවර වඩාත් අවධානයට ලක්වූයේ එකී අමාත්‍යවරයාගේම උපදෙස් හා නියෝග මත කලා කෘති වාරණයට ලක්වී එකී උණුසුම හෝ මැකී යන්නට මත්තෙන් ඔහුගෙන්ම සම්මාන ලබාගැනීමට සාහිත්‍යකරුවන්ට සිදුවීමේ ඛේදජනක ඉරණම නිසා මිස මෙවර රාජ්‍ය සාහිත්‍ය උළෙල පමණක් අසෝබනවී පෙර පැවති සියලූම රාජ්‍ය සම්මාන උළෙලවල් සෝබනවීම නිසා නොවේ. විදර්ශන කන්නන්ගර, රවීෂ තිලකවර්ධන, හෙන්රි වර්ණකුලසූරිය, ජයසිරි අලවත්ත වැනි කිහිපදෙනෙකු මෙන්ම මෙම ලියුම්කරුද, විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලත්, ස්වර්ණ පුස්තක සම්මාන උළෙලත් වර්ජනය කළ යුතු බවට ෆේස්බුක් සටහන් තබන ලදී. ඊට ලැබුණු ප‍්‍රතිචාර මෙන්ම සම්මාන උළෙලවල් දෙකෙහි සිදුවූ සිදුවීම්ද විසින් මෙම සංසිද්ධිය කෙරෙන් අපගේ ආස්ථානයන් යළි ප‍්‍රශ්න කෙරෙන තැනකට තල්ලූවීම සාධනීය ලක්ෂණයක් ලෙස සැලකිය යුතුය.

පරිපූර්ණ සද්භාවි සම්මාන


මෙවර සාහිත්‍ය සම්මාන උළෙලවල ප‍්‍රධාන ආරාධිතයා ලෙස විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා සහභාගිවීමත්, ඊට විරෝධය දක්වා සමාජජාල වෙබ් අඩවි තුළ අදහස් උදහස් හුවමාරුවීමත් ආරම්භවීමෙන් පසු ‘‘ලංකාවේ සෙසු සම්මාන උළෙලවල් සාධාරණද? දෙරණ, හිරු වැනි සම්මාන උළෙලයන්හි කොන්ද නමාගෙන සම්මාන ගන්නා අය විජේදාසගෙන් සම්මාන ගැනීමට විරෝධය දැක්වීම විහිළුවකි. විජේදාස මේ මැජර ක‍්‍රමයට උන්ට වඩා අවංකය.’’ යන්නෙන් අදහස් දැක්වූ අයද සිටියහ.


Wijedasa Rajapakse

                                      මෙය නොතකා නොහළ යුතු අදහසකි. එහෙත් මෙය හුදෙක් ලාංකේය සුවිශේෂත්වයක් පමණක් නොවන බවද, අප විසින් වටහා ගත යුතුය. ස්වර්ණ පුස්තක, රාජ්‍ය සම්මාන, ජනාධිපති සම්මාන, දෙරණ සම්මාන, හිරු සම්මාන, රයිගම් සම්මාන, සුමති සම්මාන, සිග්නීස් සම්මාන, සරසවි සම්මාන ආදී මෙකී නොකී කුමන සම්මාන උළෙලක වත් සැඟවුණු න්‍යාය පත‍්‍ර, ව්‍යාපාරික අරමුණු, දුබල විනිශ්චයන්, තාක්ෂණික ගැටළු අපමණය.  මෙහිදී මෙවන් එක් සම්මාන උළෙලකට වඩා තවත් සම්මාන උළෙලක් වඩා සාධාරණයයිද, තර්ක කළ නොහැකිය. මන්ද එතැන ඇත්තේ ‘අසාධාරණයට තුඩුදෙන කරුණු’ නොදැන සිටීම පමණක් වන නිසාය. එක් සම්මාන උළෙලකින් ‘කලාව සුපුෂ්පිත කිරීම’ අරමුණ යයි කියනවිට එකී සංවිධාකයින්ගේම අනුදැනුමකින් තවත් තැනක කලාවට බාධා පැමිණවිය හැකිය. පල්ලියේ සංවිධානාත්මක අනුග‍්‍රහයෙන්  ඕසීඅයිසී-සිග්නීස් සම්මාන පිදෙනවිට ඔවුන්ගේම අනුදැනුමෙන් හා ක‍්‍රියාමාර්ග තුළින් මංජුල වෙඩිවර්ධනගේ ‘මේරි නම් වූ මරියා’ වාරණයට ලක්වීම සිදුවන්නේ ඒ නිසාය. එහෙත් ජාත්‍යන්තර සම්මාන වෙළෙඳපොළ මත රැකෙන බොහෝ දෙනා දේශීය සම්මානයන්ට විරෝධය පානවිට වසංකරනු ලබන්නේ ‘ජාත්‍යන්තර සම්මාන’ පිටුපස සැඟවී පවත්නා කතාවය. විමුක්ති ජයසුන්දර විසින් ‘දෙරණ සම්මාන උළෙල’ ප‍්‍රතික්ෂේප කිරීමටත්, පවත්නා කොන්දේසිවලට විරෝධය දැක්වීමත්, ඒ සඳහා ඔහුට පවත්නා අයිතියට ගරු කරන අතරේම ඔහු විසින් තමා ඊට ගෙන එනු ලබන්නේ බොළඳ තර්කවීමත්, උත්කර්ෂයට නංවනු ලබන ජාත්‍යන්තර සම්මාන උළෙලවල් පවා පාරිශුද්ධ නොවන බවටත් මෙම ලියුම්කරු විසින් පෙන්වාදුන්නේ ඒ නිසාය. ඔහුගේම තර්ක අනුව, මිනුම් දඬු අනුව ඔහුම නියෝජනය කළ සම්මාන උළෙලකදී ප‍්‍රතික්ෂේප වන ජාත්‍යන්තර සම්මානලාභී සිනමාකරුවෙකු පවා ලියුම්කරු මතු කළ සැබෑ කරුණු නොතකා තමාව එවක ප‍්‍රතික්ෂේප කළ විමුක්ති ජයසුන්දර සමග ‘මචං මං ඉන්නේ උඹත් එක්ක’ කියනවිට දෙදෙනාගේම පැවත්ම ඇත්තේ ‘ජාත්‍යන්තර ගනුදෙනුවක’ හේතුවෙන් එකී පදනම දෙදෙරායාම දෙදෙනාටම අවාසිසහගත බැව් හොඳින්ම දැන සිටීමේ යථාර්ථය අභිමුඛ වේ. එය එක්තරා ආකාරයකට නරුමවාදයේ ප‍්‍රකාශනයකි. පවත්නා සමාජ ක‍්‍රමයට මුළුමනින්ම එරෙහි වන්නේ නම්, තමාගේ පැවැත්ම වෙනත් පරමාදර්ශි යථාවක් තුළ ස්ථානගත කරන්නේනම්, පවත්නා නව ලිබරල් ආර්ථික ක‍්‍රියාවලියේ දෙපා තබා නොසිටින්නේනම් කොන්දේසි විරහිතව සියලූ ගරු බුහුමන්, අගයකිරීම්, සම්මාන ප‍්‍රතික්ෂේප කිරීමට හැකිවිය යුතුය. එහෙත් එවිට පවත්නා සමාජ ක‍්‍රමය තුළ ලැබෙන සම්මාන ප‍්‍රතික්ෂේප කරන අතරේ ඒ සමාජ ක‍්‍රමය පවත්වාගෙන යමාට රුකුල් දෙන රැකියාවන්හි නිරතවීම, ජීවන චර්යාවන් පවත්වාගෙන යාම පවා නොකළ යුතුය. එවිට ඔවුනට අරාජකවාදීන් හෝ සාංදෘෂ්ටිකවාදීන් ලෙස ජීවත්විය හැකිය.

Saman Wikkramaarachchi

                      1964 දී ෂෙන් පෝල් සාත්‍රේ විසින් නොබෙල් සාහිත්‍ය සම්මානය ප‍්‍රතික්ෂේප කරනු ලැබුවේ මෙකී අර්ථයෙනි. ඔහු කොහොමත් සියලූ නිල ගරු බුහුමන් සියල්ල ප‍්‍රතික්ෂේප කරනු ලැබුවේ ඔහුගේ දාර්ශනික ඉගැන්වීම් කෙරෙන් නිල සමාජ වටපිටාව ප‍්‍රතික්ෂේප කිරීමක් වූ නිසාය. එහෙත් අප හෝ ලෝකයේ අන් බොහෝ දෙනා සාත්‍රේලා නොවේ. ඒ නිසාම යම් යම් සම්මාන උළෙලවල් වර්ජනය කිරීමටත්, සම්මාන ප‍්‍රතික්ෂේප කිරීමටත් විවිධ අවස්ථාවන්හි විවිධ හේතු සාධක බලපැවැත්වූ බව කිව හැකිය.

විවිධ ලබාගැනීීම් හා ප‍්‍රතික්ෂේප කිරීම්


කලෙක වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ නායකයාව සිට යුද පෙරමුණේ සක‍්‍රීයව සටන් කළ ලි ඩියුක් තෝ ට 1973දී නොබෙල් සාම ත්‍යාගය සඳහා නිර්දේශ කෙරුණේ  එක්සත් ජනපද රාජ්‍ය ලේකම්ව සිටි හෙන්රි කිසින්ජර් හා සම හිමිකරුවන් ලෙසය. හෙන්රි කිසින්ජර් එය ලබාගනු ලැබුවද, ලි ඩියුක් විසින් එය ප‍්‍රතික්ෂේප කරනු ලැබුවේ වියට්නාම් සාම ක‍්‍රියාදාමයට අමෙරිකාව මැදිහත්වූ ස්වරූපය තමාට පිළිගන්නට නොහැකි බැව් අවධාරණය කරමිනි. නාසි ජර්මනියේ හිට්ලර්ගේ පාලන යුගයේ රිචඞ් කූන්, ඇඩොල්ෆ් බුටෙනැන්ඞ්ට්, ගෙඩාඞ් ඩොමාර්ක් යන තිදෙනා නොබෙල් සම්මාන ප‍්‍රතික්ෂේප කරන ලදී. එහෙත් හිට්ලර්ගේ පාලනය ගිළිහී යාමෙන් පසුව ඔවුන් තිදෙනාම නොබෙල් සම්මානයට හිමි ඩිප්ලෝමාව හා පදක්කම් බාරගත් අතර මුදල් ත්‍යාගය පමණක් බාර නොගන්නා ලදී. 1958 දී නොබෙල් සම්මානයට පාත‍්‍ර වූ බොරිස් පැස්ටර්නැන්, එය පිළිගත් නමුත් පසුව සෝවියට් දේශය එය ප‍්‍රතික්ෂේප කරන නිසා බාර නොගන්නා බව පැවසීය. දිගු ඉතිහාසයකට හිමිකම් කියන නොබෙල් සම්මාන හා තෑගි ප‍්‍රදානයේ තවත් අවාසනාවන්ත අත්දැකීමකට මුහුණදෙන්නට සිදුවූයේ මේ වසරේදීය. 2018 දී නොබෙල් සාහිත්‍ය සම්මානයට අදාළව තිරය පිටුපස ලිංගික අල්ලස් හා මුදල් ගනුදෙනුවක් පවත්නා බව අනාවරණය වීමෙන් පසුව ස්විඞ්ස් ඇකඩමි විසින් එය අවලංගු කිරීමට තීරණය කරන ලදී.

Devika Wdagamangawa

                             1973දී ද ගෝඞ් ෆාදර් චිත‍්‍රපටයේ චරිත නිරූපණය වෙනුවෙන් හොඳම නළුවා ලෙස සම්මානයට නිර්දේශ වූ මාලන් බ‍්‍රැන්ඩෝ ඔස්කාර් සම්මාන උළෙලට විරෝධය දක්වමින් එකී සම්මානය ප‍්‍රතික්ෂේප කළේය. අමෙරිකාව විසින් චිත‍්‍රපට කර්මාන්තය හරහා ස්වදේශික ඉන්දියානුවන්ට එරෙහිව වැරදි චිත‍්‍රයක් මවාපාමින් සිටීමත්, ඔවුන් සිය දහස් ගණනින් ‘වුන්ඩඞ්නී’ හි සිරගත කිරීමත්, දකුණු දකොතා ප‍්‍රදේශයේ ඉන්දීය ජනයාට එරෙහිව ඒ වනවිටත්  ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදුවීමත් නිසා බ‍්‍රැන්ඩෝ එම අවස්ථාවට සහභාගි නොවීය. එහෙත් එම අවස්ථාවේ තම මතය ප‍්‍රකාශ කිරීමට පවත්නා ඉඩ නොතකා නොහැරියේය. ඔහුගෙම වචනයෙන් කිවහොත් ඔහු අදහස් කළේ මෙවැන්නකි.

’‘යම් විදිහකින් මට ඔස්කාර් සම්මානය හිමිවුවහොත් ඉතිහාසයේ ප‍්‍රථම වතාවට, රතු ඉන්දියානුවකුට, මිලියන 60ක පේ‍්‍රක්ෂක පිරිසකට එකවර ආමන්ත‍්‍රණය කිරීමේ අවස්ථා වමට ලබාදිය හැකි බව මට වැටහිණ. එය කිසියම් ආකාරයකින් වසර ගණනාවක් හොලිවුඩය විසින් ඔවුනට කළ අපහාසය සුළු වශයෙන් හෝ ගෙවන වන්දියක් වීමටද, ඉඩ ඇති බව මට සිතිණි. ඒ අනුව මගේ මිතුරියක වන සචින් ලිට්ල් ෆෙදර් ට කථා කොට මා වෙනුවෙන් උත්සවයට සහභාගිවන ලෙස ඉල්ලා සිටියෙමි. එසේම මා වෙනුවෙන් එහිදී ඇයට කියවන්නට ප‍්‍රකාශයක්ද, ලියා දුනිමි. එහි ස`දහන් වූයේ අමෙරිකානු ඉන්දියානුවන්ට පහත් ලෙස සැලකීම හා පොදුවේ ජාතිවාදය පිටුදකින ලෙසයි. එහෙත් උත්සවයේ සංවිධායක හොවාර්ඞ් කොච්, ඇගෙන් ප‍්‍රශ්න කොට එකී ප‍්‍රකාශය ඇයට කියවීමට ඉඩදීම ප‍්‍රතික්ෂේප කළේය. එහෙත් දැඩි පීඩනය හමුවේ වුවද, ඇය එවෙලේ කටට ආ වචන කිහිපයකින් අමෙරිකානු ඉන්දියානුවන් පිළිබ`දව ස`දහන් කිරීමට සමත්විය. මම ඇය පිළිබ`දව බෙහෙවින්ම ආඩම්බරයට පත්වෙමි. (අම්මා මට කියාදුන් ගී-මාලන් බ‍්‍රැන්ඩෝ ස්වයං චරිතාපදානය-පරිවර්තනය, එම්.ඩී මහින්දපාල-පිටුව508-509)
                     තමන් එකී අවස්ථාව වර්ජනය කළද, ලැබෙන ඉඩ ප‍්‍රස්ථාව ප‍්‍රයෝජනවත්ව භාවිතා කිරීමට දැරූ උත්සාහයකි. 2016 වසරේදී ද සුදු ජාතික රංගන ශිල්පීන් හා ශිල්පිණියන් පමණක් ඔස්කාර්හි නිර්දේශවීම පිළිබඳ  හොඳම සහය නළුවා ලෙස නිර්දේශවී සිටි මාර්ක් රෆාලෝ, එය වර්ජනය කිරීම සුදුසු නමුත් වින්දිතයින් වෙනුවෙන් කතා කිරීමට අවස්ථාවට සහභාගිවිය යුතු බව පවසා තිබිණි’. එහෙත් ස්පයික් ලී, ජඩා පින්කෙට් ස්මිත්, විල් ස්මිත් වැන්නන් කල්තියාම එය වර්ජනය කරන බැව් ප‍්‍රකාශ කර තිබිණි.

                             ජාත්‍යන්තර තතු එසේ තිබියදී ලාංකේය සංදර්භය තුළ මෙවර 2018 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී හොදම ළමා සාහිත්‍ය පරිවර්තිත කෘතිය වෙනුවෙන් සම්මාන ලැබූ ප‍්‍රවීන ජනමාධ්‍යවේදිනි දේවිකා වඩිගමංගාව වේදිකාවට නැඟ කළ ප‍්‍රකාශය සිහිපත් කරනු වටියි.

Sanjaya got the award

                   රාජ්‍ය මර්දනයට ලක්වූ සිය වෘත්තීය සගයන් පිළිබද යුක්තිය ඉටුකිරීමට ආණ්ඩුව අසමත් වීම පිළිබඳ ඇය දැඩි විවේචනයක් එල්ල කළාය. යුද්ධය සමයේ මරා දැමූවන්, අතුරුදන් කරවූවන් දහස් ගණනක් අතර ජනමාධවේදීන් සියගණනක් සිටි බව සිහිපත් කරමින් වත්මන් ආණ්ඩුව විසින් ඒ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරන බවට දුන් මැතිවරණ පොරොන්දු කඩ කිරීම සම්බන්ධයෙන් සිය අප‍්‍රසාදය හා කෝපය, ආණ්ඩුවේ උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබද ඇමති විජේදාස රාජපක්ෂ ද සිටි සභාව ඉදිරියේ ඇය පළ කර සිටි සිටියා ය. තමාට එකී සම්මානය ජනාධිපතිවරයා හෝ දේශපාලනඥයෙකු විසින් ලබාදෙන්නේනම් එය පිළිනොගන්නා බවත්, කලාකරුවෙකු විසින් ලබාදෙන නිසා එය බාරගන්නා බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය. ඇයට ඔවුන් ඉදිරියේ එවැන්නක් කීමට තරම් හෘද සාක්ෂියක් හා හැකියාවක් තිබීම අප අගය කළ යුතුය.

                                             මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ඇතැම් ලේඛකයින් විසින් වර්ජනය කළ අතර ඇතැමුන් අවස්ථාවට සහභාගි වූහ. සහභාගි වූවන් සහභාගිවී තමාට සම්මානය ඇමතිවරයා අතින් ලැබුණි නම් විරෝධය පළ කරන්නට බලාපොරොත්තුව සිටියේදැයි දන්නේ ඔවුන්ම පමණි. සුදර්ශන සමරවීර, ළහිරු කිතලගම වැන්නන් ද එම අවස්ථාවට එක්ව සිටියහ. පසුගිය දිනෙක තිඹිරියාගම බණ්ඩාර ගේ ‘ගිනිගත් දේශයක’ කෘතිය ජනගත වූ අවස්ථාවේදී සභාව ඇමතූ ළහිරු කිතලගම කවියා ෆේස්බුක් විරෝධතාකරුවන් මහ පාරට බැස විරෝධය දැක්විය යුතු යයිද, තමා ඈත ගම් දනව්වල මිනිසුන් සමග අරගලයේ නිරතවන බවත් උද්වේගකාරී ලෙස කියා සිටියේය. එන්ජී ඕවක කරන රැකියාව නිසාම ගම් දනව්වල මිනිසුන් සමග රාජකාරි කරන්නට සිදුව ඇති කිතලගම කවියා, රැකියාව අහිමිවූ දවසකත් ෆේස් බුකියේ නොව  මහපාරේත් අරගල කරනු දැකීමට හැකිවෙනු ඇතැයි අපගේ ප‍්‍රාර්ථනයයි.

                                සාහිත්‍යයට කුඩා වෙ‍ෙළඳපළක් ඇති ලංකාව වැනි රටක අද දවසේ ලැබෙන සම්මානය හෙට දවසේ පොතකට ප‍්‍රකාශකයෙකු සොයා ගැනීමටත්, කර්තෘ භාගය ලෙස ලැබෙන සොච්චම වැඩි කරගැනීමටත් ලේඛකයෙකුට ලැබෙන අනගි අවස්ථාවක් බැව් පැහැදිලිය. එහෙත් තමාගේත්, තම ක්ෂේත‍්‍රයේ   වර්ගයාගේත් නිර්මාණ වාරණය කිරීමට නියෝග ලබාදුන් අවස්ථාවාදී දේශපාලනඥයෙකු ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවන තැනකට සහභාගිවී, ‘වාරණය වෙන්නේ කලා කෘතිදැයි - උඹලා කලාකරුවෝදැයි’ කින්ඩි දමද්දීත් ඊට අත්පොළොසන් දෙන්නට අවම හෘද සාක්ෂියක් හෝ පවත්නා අයෙකුට හැකිදැයි සැක සහිතය. තමා විසින් පිටකවරය නිර්මාණය කළ ‘බුදුන්ගේ රස්තියාදුව’ට වාරණ නියෝග යෝජනා කරද්දී, තමාගේම වෙනත් කවර නිර්මාණයකට එකී පුද්ගලයාගේ ආශිර්වාදය සහිත උළෙලක සම්මාන ගැනීම සංජය ඈපාට වටින්නේදැයි අප ඇසුවේ ඒ නිසාය. එබැවින් විජේදාස සහභාගි වන ‘රාජ්‍ය සාහිත්‍ය උළෙල හා ස්වර්ණ පුස්තක සම්මාන උළෙල’ වර්ජනය කළ යුතු යයි අප විසින් කියා සිටියේ එවැනි අවම සදාචාරයක නාමයෙන් මිස ලෝක විප්ලවය සිදුවන තුරු සමාජ ක‍්‍රමය තුළ මේ මොහොතේ පවත්නා සියලූ ඇගයීම් ප‍්‍රතික්ෂේප කළ යුතු යයි විශ්වාස කරන නිසා නොවේ. කුමක් පැවසුවද, රාජ්‍ය සම්මානයෙන් විජේදාසට නැඟුණු විරෝධය ස්වර්ණ පුස්තක උළෙලට විජේදාසගේ සහභාගිත්වය සිදුනොවීමට හේතුවන්නට අතැයි අනුමාන කළ හැකිය. එහෙත් එක් අතකින් ‘කලාකරුවන්’ නිරාවරණය කිරීම පිළිබඳ අප විසින් ඔහුට ස්තූති කළ යුතුමය.



-ප‍්‍රියාන් ආර් විජේබණ්ඩාර ( අනිද්දා-30/09/2018)