කුටුම්භය (සම්භාව්ය අර්ථයෙන් එවැන්නක් මට කිසිදාක තිබී නැත) සමග පැවති සුළු හෝ සබඳතාවය ලිහී මහ පාරේ ජීවිතය සොයන්නට පටන් ගත් කාලයේ සිට මං හෙව්වේ ලියන්නට කියන්නට කතා කරන්නට හැකි වෘත්තියකි. ජූලියස් ෆූචික්, ඔරියානා ප්ලච්, ඩොනල්ඩ් වූඩ්ස්ලා හමු නොවූ බව සැබෑය. එහෙත් වෘත්තීය, බඩ රස්සාවෙන් ඔබ්බට ගිය රසක් ඇති තැනක් බවට පත්කළ පෙර පරම්පරාවන් කිහිපයක මිනිසුන් කිහිප දෙනෙකු ඇසුරු කරන්නට ලැබීම භාග්‍යයකි. පුවත්පත් කලාවේ පුංචිම තැනක සිට විද්‍යුත් මාධ්‍යය හරහා නව මාධ්‍යයටත් එක සේ දායක වන්නට ලැබුණු සියවස් දෙකක් යා කළ පරම්පරාවක් නියෝජනය කරන්නට ලැබීමත් වෙනස් ආරක අත්දැකීමකි. 'ලිවීම' ජීවිකාවත්, ජීවිතයත් බවට පත්ව තිබූ කාලය අතීතයට එකතු වී තිබේ. හෙට දවසේ තෝරාගන්නට සිදුවන්නේ කුමක්දැයි අනුමාන කිරීම පවා අපහසුය. පසුකාලීනව පුවත්පත් පිටු සංස්කාරකයින් බවට පත්වූ මිතුරන් මෙන්ම පෙර පරම්පරාවේ ඇතැම් ගමන් සගයන් තම වෘත්තියේ ක්‍රියාකාරකම් කෙරෙහි අද දවසේ දක්වන ආදි කල්පික මතවාදයන් මෙන්ම හැසිරීම් යනු හෙට දවසේ ක්ෂේත්‍රයේ දිශානතියට කෙතරම් බලපෑම් සහගතවේද, මිත්‍ර සබඳතාවන් කෙසේ වරනඟනු ලබත්ද යන්න යළි සිතාබැලිය යුතු කාලයක් පැමිණ තිබේ.
අද දවසේ පුවත්පතක පළවන බොහෝ ලිපි කියවනවිට මුද්‍රණ දෝෂ, වියරණ දොස්, පමණක් නොව ඇතැම්විට එකිනෙක වාක්‍යයන් අතර නොගැලපීම්, තවත් විටෙක එකම වැකියේ පරස්පර යෙදුම් හෝ අර්ථය සංදර්භය හා ගැටීම් බහුලව දැකිය හැකිය. තවත් විටෙක ලිපියේ මාතෘකාව හා අන්තර්ගතය අතර සම්බන්ධයක් නොවන අවස්ථාවන්ද ඉඳ හිට හමුවී තිබේ. වරෙක මවිසින් චිත්‍රපටයක් අරබයා ලියූ ලියවිල්ලක හැඳින්වීමේ කරුණු කිහිපයක් දක්වා ඒ එකිනෙක ගැන ඡේදයෙන් ඡේදයට විස්තර කර තිබුණද, පුවත්පතේ පළවූ ලිපියේ අත්‍යවශ්‍ය කරුණු පරාසයක් අතුරුදහන්වී තිබිණි. මගේ ලියවිලි පිළිබඳ යම් අවබෝධයක් තිබුණු කිහිපදෙනෙකුම මට කතා කර ඇසුවේ, 'මොකක්ද බන් අර ලියලා තියෙන්නෙ. පටන් ගන්නකොට හෙණ එකක් දීලා පටන් අරන් තියෙනවා. ඉවර වෙනකොට මොකුත් කියලා නෑ" කියලයි. මා විසින් සිදුකරනු ලැබුවේ අදාළ සම්පූර්ණ ලිපිය, ෆේස්බුක් එකේ ෂෙයාර් කිරීම හා තාවකාලිකව එකී පුවත්පතට ලිවීම අත්හිටුවීමයි. ඒ ගැන බුකියේ ලියූ සටහනට කමෙන්ටුවක් එකතු කළ නළු නිළියන්ගේ ඕපාදූප ලිවීම, 'මාධ්‍ය කලාව' ලෙස වටහාගෙන සිටි ප්‍රවීණයෙකු එය ''සංස්කරණ අයිතිය" බැවින් ලියන්නන් සංස්කාරකට යටත් බැව් අවධාරණය කරන ලදී. ලිවීම 'ටොයිස්' වී සංස්කරණය 'සුපර්' වීම ගැන නැවත සලකා බැලිය යුතු බව කල්පනා කරන්නට සිදුවූයේ පසුගිය දිනෙක අවමඟුලක ඇදුණු 'මඟුල් කතා' වක් නිසාමය.
'සංස්කාරකවරයෙකු' සතු හැකියාව කෙබඳු විය යුතුද? ව්‍යාකරණ දැනුම හෝ තනතුර පමණක් ඊට ප්‍රමාණවත් වනු ඇත්ද? සංස්කාරක සතු අයිතියෙන් ලේඛකයාගේ අයිතිය යටපත් කළ හැකිද? නිදසුනක් ලෙස තමන් ලියූ ලිපියක අර්ථය විකෘති වන සේ මාතෘකාවක් යොදා ඇත්නම්, ලිපියේ අත්‍යවශ්‍ය කොටස් ඉවත් කර අරුත් සුන්වී ඇත් නම්, වැකි නියමිත සංදර්භයෙන් ඉවත්වන ලෙස සංස්කරණය කර ඇත්නම් එය පළවන්නේ තමාගේ නමින් නම් එයින් තමාගේ සංකේතීය වටිනාකමට, ආත්ම ගෞරවයට හානි සිදුවී ඇත්නම් ලියන්නාට ඒ වෙනුවෙන් කතා කරන්නට හෝ අයිතියක් නැතිද? එහිදී කළ යුත්තේ "ඒක සංස්කරණ අයිතිය" යයි නිහඬවීම පමණද? වරෙක ජාතික පුවත්පතක සාහිත්‍ය පිටු සංස්කාරකවරයෙක් මට කතා කොට 'අද ඔයාගෙ පොත ගැන ලිපියක් තියෙනවා' යයි කීවේය. මවිසින් අදාළ පුවත්පත මිලදී ගෙන සාහිත්‍ය අතිරේකයේ මුල සිට අගට බැලුවත් එවැනි ලිපියක් සොයා ගැනීමට නොහැකි විය. වඩාත් සුපරීක්ෂාකාරීවීමේදී මට අරුත වටහා ගත හැකිවිය. ප්‍රවීණ ලේඛක ටෙනිසන් පෙරේරා විසින් වත්මන්හි පළ වන කෙටිකතාවල දුර්වලතා පිළිබඳ අගනා ලිපියක් ලියා තිබිණි. එම ලිපියට අදාළව පිටුව සකස් කිරීමේදී ඡායාරූප ලෙස එවක පළවූ කෙටිකතා පොත් කිහිපයක කවර පළ කර තිබුණු අතර මගේ කෙටිකතා පොතේ පිටකවරයේ ඡායාරූපයක්ද ඒ අතර විය. එහෙත් ලිපියේ කිසිදු තැනක මගේ කෘතිය පිළිබඳ වචනයක් හෝ සඳහන් නොවිණි. තමාගේ නිරීක්ෂණයට මාගේ කෘතියද, ඇතුළත්වූයේදැයි පොත් දොරටවැඩුමකදී හමුවූ ටෙනිසන් ගෙන් මම විමසුවෙමි. ''අනේ ඔයාගෙ පොත මං ඇහැටවත් දැක්කෙ නෑ" යි ඔහු කියා සිටියේය. මවිසින් ලියූ කෙටිකතා කෘතියේ දුර්වලතා බොහෝ තිබෙන්නට ඇත. ටෙනිසන් විසින් සමකාලීන කෙටිකතා සම්බන්ධයෙන් පවසන ඇතැම් කරුණු මාගේ කෘතියටද, යම් පමණකට හෝ අදාළ වූවා වන්නටද, පුළුවන. ඒ ගැන විචාරය කිරීම හෝ නොකිරීම පවා ඔවුන්ට අයිතිය. එහෙත් මාගේ කෘතිය ඇහැට හෝ නොදුටු විචාරකයෙකුගේ විචාරයකට අදාළව පිටු සැකසීමේදී පසුබිමේ ඡායාරූපයක් ලෙස මාගේ කෘතිය පාවිච්චි කිරීම කෙතරම් සදාචාර සම්පන්නද? මම කිසිවක් නොකීමි. අදාළ සංස්කාරකවරයාට දුරකථන ඇමතුමක් ලබාදී 'ස්තූතියි' කියා පමණක් කීමි. එම සංස්කාරකවරයා අද දවසේද, ජාතික පුවත්පතක සාහිත්‍ය පිටු සංස්කරණය කරන දැවැන්ත චරිතයකි. ලංකාවේ අද දවසේ ''සංස්කරණ අයිතිය" යනු එවැනි දෙයකි. තවත් විටෙක ප්‍රවීණ ලේඛක දයා දිසානායක විසින් සාහිත්‍ය කෘති විනිශ්චය කිරීමක් අරබයා ප්‍රසිද්ධියේ කියන ලද අති සරල, වගකීම් විරහිත, පුද්ගලවාදී ප්‍රකාශයකට ප්‍රසිද්ධ ලිපියක් මගින් පිළිතුරු ලබාදුනිමි. ''දයා දිසානායකට පිළිතුරක්" ලෙස මවිසින් ලියූ ලිපියේ මාතෘකාව යොදා තිබුණද, ලිපිය පුවත්පතේ පළවූයේ ''පොත් ප්‍රකාශකයින්ගේ සංගමයට පිළිතුරක්" ලෙසය. අවසන් ප්‍රතිඵලය වූයේ පොත් ප්‍රකාශකයින්ගේ සංගමයට මාව හඳුන්වා දුන් ජනක ඉණිමංකඩ මිත්‍රයා වසර ගණනාවක් මා සමග අමනාපයෙන් සිටීමය. අදාළ ලිපියේ මාතෘකාව අමතක කර අද දවසේද, ලිපිය මුල සිට අගට කියවිය හැකිනම් ලිපියකට මාතෘකාව තරම් වැදගත් තවත් යමක් තිබිය හැකිදැයි ඒත්තු ගන්වා ගත හැකිය. සංස්කරණ අයිතිය යනු එබඳුය. මෙවැනි නිදසුන් ටොන් ගණනක් දිය හැකිය.
කලකට ඉහතදී මහින්ද අබේසුන්දර විසින් ආණ්ඩුවේ ටෙලිවිෂනයේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් පසුව 'විමසුම' නමින් මඩ ලියවිල්ලක් ලියා ප්‍රචාරය කරන ලදී. එවක මාධ්‍ය මර්දනයට එරෙහිව අරගල කළ වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට එරෙහිව දිගින් දිගටම ද්වේෂ සහගත ලෙස "එන්.ජී.ඕ වලින් මුදල් ගෙන රට පාවාදෙන මාධ්‍ය ද්‍රෝහීන්" ලෙස හඳුන්වමින් මඩ ව්‍යාපාරයක් ගෙන ගියේය. එම ලියවිල්ල ප්‍රචාරය කරන අවස්ථාවේදී සංස්කරණය කරන ලද රූප රාමු ලෙස පෙන්වන ලද්දේ වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් කොටුව දුම්රියපළ ඉදිරිපිට කරන ලද උද්ඝෝෂණයක වීඩියෝ දර්ශනයන්ය. එහි ඉදිරියෙන්ම සිට සටන්පාඨ කියන පොද්දල ජයන්තගේ නිතර නිතර වඩා සමීප දසුන් ලෙස පෙන්වීමටත්, ඇතැම්විට රවුම් කර පෙන්වීමටත් එවක එකී ටෙලිවිෂනයේ ප්‍රවෘත්ති සංස්කාරකවරයා කටයුතු කර තිබිණි. එහි ප්‍රතිඵලය ලෙස එක් පසෙක පොද්දල ජයන්තට අමානුෂික පහරදී කකුලක් පවා කඩා දැමීම සිදුවන අතර අනෙක් පසින් දියණියට පාසලේ අර්බුද මතුවීමටත්, අවසානයේ පොද්දල පවුලට කුලී ගෙයක්වත් සොයා ගැනීමට නොහැකි තැනට මිනිසුන් උසිගැන්වීම ඵලදැරීමය. මහින්ද අබේසුන්දර පවා ලේක් හවුසියේ දිනමිණ කර්තෘ ලෙස හමුවන අවස්ථාවන්හිදී පුද්ගලිකව මටත්, තවත් බොහෝ දෙනෙකුටත් පවසා තිබුණේ "පොද්දල නම් අහිංසකයා. මට අනිත් උන් නම් පේන්න බෑ" කියාය. එහෙත් ඒ අහිංසකයාට කෙළවීමට තමන්ගේ ලියවිල්ලත්, අදාළ ටෙලිවිෂනයේ පුවත් සංස්කාරකයාත් රූප රාමු සංස්කරණය කිරීම කෙතරම් බලපෑමක් කර තිබුණේද, යන්න පිළිබඳ ඔහුට තක්සේරුවක් තිබුණේදැයි මම නොදනිමි. ඒ ඊනියා "සංස්කරණ අයිතිය" යි. අද මහින්ද අබේසුන්දර ජීවතුන් අතර නැත. පොද්දල ජයන්ත රටේ නැත. එවක මර්දනයේ ගොදුරු බවට පත්වූ ඇතැම් මිත්‍රයින් අද මහින්ද අබේසුන්දරලාට එදා හයිය දුන් ලේක්හවුසියේ මාධ්‍ය ඔස්තාර්ලාය. එදා සංස්කරණයේ අමානුෂිකත්වය අත්විඳියවුන් අද ''සංස්කාරකවරුන්ගේ පරම සංස්කරණ අයිතිය" වෙනුවෙන් මිත්‍රයින් පාවාදීම තේරුම් ගත හැක්කේ කෙසේද?
කෙනෙකු තමාගේ හිමිකම් භුක්ති විඳිය යුත්තේ අනෙකාගේ හිමිකමට බාධාවක් නොවන ලෙස බැව් අමුතුවෙන් කිව යුතු නොවේ. " මා අත ඇති සැරයටිය වැනීමට මට පවත්නා අයිතිය අනෙකාගේ නාසය ළඟින් කෙලවර වේ" යයි කීවේ ජෝන් ලොක්ය. ''මා හට පවත්නා සංස්කරණ අයිතිය අනෙකාගෙ ලිවීමේ අයිතිය ළඟින් නවතී" යයි කියූ ලොක් කෙනෙක් ගැන මා අසා නැත. එහෙත් මූලධාර්මික වශයෙන් එහි වෙනසක් මට නොපෙනේ. කිසිවෙකු විසින් ලියන ලද ලිපියක් දැඩි සේ සංස්කරණයට ලක් කරද්දී අවම වශයෙන් එම ලිපිය පළ කිරීමට ප්‍රථම අදාළ ලියුම්කරුට ඒ පිළිබඳ දැන්වීමේ ආචාර ධාර්මික පුරුද්දක් සංස්කාරකවරුන්ට නැත. "ඔයාගෙ ලිපියේ අර වාක්‍යය අයින් වුණා නම් හොඳයි. ඔයාගෙ ලිපිය ටිකක් දිග වැඩියි. මට අන්තිම ඡේදය තව ටිකක් අඩු කරලා දෙන්න" යනුවෙන් කෙනෙකු මට කියා ඇත් නම් ඒ අනෝමා රාජකරුණා පමණි. "එඩිටිං එතික්ස් අපිත් ඉගෙන ගන්න ඕන අනෝමගෙන්" යයි ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිද, මට වරෙක කියා තිබේ. ලියන්නන්ට අපුල්ලන්නන්ට පමණක් නොව සංස්කාරකවරුන්‍ටද පිළිගත් ආචාර ධර්ම ඇති බව ලංකාවේ ඔස්තාර්ලා බොහෝ දෙනෙකු නොදනී. වරෙක ලංකාවේ මාධ්‍ය මර්දනය හා මානව හිමිකම් කඩවීම් පිළිබඳ වාර්තාවක් ආශ්‍රිතව අමෙරිකානු පුවත්පතක කුඩා ප්‍රවෘත්තියක් පළ වී තිබිණි. එය එවක මෙරට විකල්ප පුවත්පතක සිංහලට පරිවර්තනය කොට පළ කර තිබිණි. තමාගේ පුරුදු මාධ්‍යකරණයේ යෙදෙමින් එවක දිනමිණ කතුවරයා වූ මහින්ද අබේසුන්දර අදාළ පුවත්පතට පිළිතුරු ලිපියක් යොමු කර තිබිණි. එම පිළිතුරු ලිපිය පළ නොවුණද, එම ලිපිය ලැබීම පිළිබඳ එම පුවත්පතේ කතුවරයා විසින් පිළිතුරු ලිපියක් අබේසුන්දරට එවා තිබුණි. "උක්ත කරුණ සම්බන්ධයෙන් ඔබ විසින් අප වෙත ලිපියක් යොමු කිරීමට කටයුතු කිරීම පිළිබඳ ස්තූතිය පළ කරන අතරම ඔබගේ ලිපියේ කරුණු අපගේ ආයතනික ආචාරධර්ම හා ගැටෙන බැවින් එය පළකිරීමට සුදුසු තත්ත්වයේ නොමැති බැව් කනගාටුවෙන් දැනුම් දෙමි" යන්න එලෙස එවන ලද ඉංග්‍රීසි මාධ්‍ය ලිපියේ සිංහල අදහස විය. පසු දින දිනමිණ පුවත්පතේ මුල් පිටුවේම තමාට එවූ ලිපියේ ඡායාරූපයක්ද සහිතව පුවතක් පළ කරමින් මහින්ද අබේසුන්දර විසින් පවසා තිබුණේ 'තමාගේ අභියෝගාත්මක කරුණු දැක්වීමට බියෙන් ලිපිය පළ නොකිරීමට අදාළ ආයතනය තීරණය කර ඇති බව හා එමගින් තමාගේ පිළිතුරු දීමේ අයිතිය උල්ලංඝණය කරමින් මානව හිමිකම් රකින බව කියන අමෙරිකාව මානව හිමිකම් කඩන බවට එයම උදාහරණයක්" බවයි. එවන ලිපියක් පළ නොකරන්නේ නම් කුණු බක්කියට දැමීම මිසක් එතැනින් එහාට පවත්නා යුතුකමක් හෝ වගකීමක් පිළිබඳ අත්දැකීම් නැති ලාංකේය යථාර්ථය එබඳුය. කරන්නේ එහෙමය. කියන්නේ මෙහෙමය. සංස්කරණ අයිතිය යනු එයමය.
අද දවසේ පුවත්පත්වල නිවරදි සංස්කරණ ප්‍රතිපත්තියක් නොමැතිවීමට බලපාන ප්‍රමුඛතම කාරණය වී ඇත්තේ සංස්කාරකවරුන්‍ට නිසි අවබෝධයක් හෝ අත්දැකීමක් නොමැති කමයි. අද පුවත්පතේ පිටු සැලසුම් ශිල්පියා හෙට පිටු සංස්කාරකවරයෙකු විය හැකිය. අද සෝදුපත් කියවන්නා හෝ කාර්යාල කාර්ය සහායකයා පවා හෙට ප්‍රධාන සංස්කාරකවරයාවීමට ඉඩ තිබේ. මේ කිසිදු වෘත්තිමය භූමිකාවක් උසස් හෝ පහත් ලෙස සැලකීමක් වත්, එකම භූමිකාවක නිරත පුද්ගලයෙකු තම වෘත්තියෙන් විශ්‍රාම යන තෙක් එහිම නිරතවිය යුතු බවක් වත් මෙයින් අදහස් නොකෙරෙන අතර සංස්කාරකවරයෙකුට එකී සියලුම ක්ෂේත්‍රයන්හි අත්දැකීම් හා අවබෝධයක් තිබීම වඩාත් උචිතය. එහෙත් සැබවින්ම සිදුවන්නේ අවබෝධයක් හෝ අත්දැකීමක්වත් ලබන්නට ප්‍රථම තමාට උහුලන්නට බැරි තරමේ වගකීම් පටවා ගැනීමය. මුට්ටි අල්ලා හෝ තනතුරු ගැනීමය. වික්ටර් අයිවන්ගේ වචනයෙන් කිවහොත් මාධ්‍යවේදීන් වීමට ප්‍රථම මාධ්‍ය ඔස්තාර්ලාවීමය. එ් නිසාම උඩින් පල්ලෙන් කොහෙන් හෝ කෑලි කපා නියමිත ඉඩට ඡායාරූපයක් සමග අකුරු ටික බැස්සවීම පමණක් 'සංස්කරණය' වී තිබේ. අනුන්ගේ ලිපි සංස්කරණය කිරීමට හෝ සංස්කරණ අයිතියට සියල්ල යටත් යයි හිතනවුන් පළමුව තමන්ගේ ඔළු සංස්කරණය කර ගැනීම කළ යුත්තේ ඒ නිසාය.
-ප්‍රියාන්- (30-12-2018)