අභියෝගතා රැසක් මාධ්‍යයේ වුවද, සිනමාවේ උන්නතිය වෙනුවෙන් සිනමා සම්මාන උළෙල කිහිපයක් මෑත කාලීනව පැවැතීම පැසසිය යුත්තකි. තෙවන වරට පැවැත්වූ යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල සැප්තැම්බර් මස 15 වන දින සිට 20 දක්වා පුරා දින පහක් චිත්‍රපට ගණනාවක් ප්‍රදර්ශනය කෙරී නිමාවට පත්විය. මෙම චිත්‍රපට උළෙල නව සිනමාකරුවන් හඳුන්වාදීම, ඔවුන්ව දිරිගැන්වීම හා ඇගයීම මුඛ්‍ය පරමාර්ථය කරගෙන තිබේ. ඒ අනුව උළෙලට ඉදිරිපත් කෙරුණු සිය ගණනක නිර්මාණ අතුරින් හොඳම කෙටි චිත්‍රපටකරුවා ලෙස ධනංජය බණ්ඩාර සම්මානයට පාත්‍රවිය. ඔහු විසින් ඉදිරිපත් කර තිබුණු කෙටි චිත්‍රපටය වූයේ 'සෝන්ග් ඔෆ් ද ඉනසන්ට්' ය. හොඳම අන්තර්ජාතික කෙටි චිත්‍රපටය ලෙස රොමේනියානු ජාතික ස්ටෙෆාන් ස්කෙලාටෙසුගේ 'ග්‍රැටිටියුඩ්' චිත්‍රපටයත්, ජනප්‍රියතම ප්‍රේක්ෂක චිත්‍රපටය ලෙස තනේශ්වරන් ශමිදන්ගේ 'ද බෝඩර්' චිත්‍රපටයටත් සම්මාන හිමිවිය. මෙහිදී හොඳම කුළුදුල් සිනමා කෘතියට ඉන්දීය විදු වින්සෙන්ට්ගේ 'මෑන්හෝල්', සහ අනන්‍යා කසරවල්ලිගේ 'හරිකත ප්‍රසංග' මෙන්ම ලාංකේය නව සිනමාකරුවෙකු වන දුමින්ද සංජීවගේ 'දිසිදි පත්' හෙවත් 'විත්රෙඩ් ලීෆ්' නිර්දේශවී තිබුණි. එයින් සම්මානයට පාත්‍රවූයේ ඉන්දීය සිනමා කෘතියක්වූ 'හරිකත ප්‍රසංග'යි. මීට අමතරව සිනමාවේ උන්තිය වෙනුවෙන් කැපවූ පුද්ගලයෙකුට ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන යාවජීව සම්මානය මෙවර හිමිවූයේ ආචාර්ය ධර්මසේන පතිරාජයන්ටය.
Add caption |
සරසවි , ඕ.සී.අයි.සී සිග්නීස්, ටී.වී දෙරණ, මෙන්ම ඉතාම මෑතකදී ආරම්භ කෙරුණු හිරු ටී.වී සම්මාන උළෙල සියල්ල හා සසඳා බලද්දී යාපනය සිනමා සම්මාන උළෙලට ආවෙිණික අභියෝග ගණනාවක් පවතී. කොළඹින් ඉතා දුර බැහැර ප්‍රදේශයක්වීම පමණක් නොව වසර 30ට ආසන්නව පැවති යුද්ධයට මැදිවූ නගරයක්වීමෙන් ආර්ථික, සමාජයීය, සංස්කෘතික සාධක ගණනාවක් ඊට අනන්‍යවූ තත්ත්වයන් සමග අනුරූපව බලපෑම් කරන බැව් පැහැදිලිය. කොළඹ කේන්ද්‍රීය සිංහල අනන්‍යතාවෙන් නිදහස්ව වෙනස් භාෂාවක් කතා කරන, වෙනස් සංස්කෘතියකට හිමිකම් කියන ජනවර්ගයක් සමග සිනමාව වැනි පුළුල් විෂය ක්ෂේත්‍රයක් බෙදාගැනීමේදී මුහුණදිය යුතු අභියෝග බොහෝය. ඔවුන්ගේ රුචි අරුචිකම්, සංස්කෘතික වටිනාකම්, රසවින්දන සීමා, යුද්ධය විසින් තාවකාලිකව යටපත් කර තිබුණු නමුත් මේවන විට යළිත් වර්ධනය වෙමින් පවත්නා කුලීන-කුලහීන ඝට්ටනය සෘජුව හා වක්‍රව බලපෑම් කරන බව පෙනෙන්නට තිබේ. කොළඹින් දුර බැහැර දුෂ්කර ප්‍රදේශයක්වීමෙන් සිනමා අධ්‍යක්ෂවරුන්, රංගන ශිල්පීන් ඇතුළු පිරිස්, සම්පත් දායකයින් ගෙන්වා ගැනීම, ඔවුන්ට පහසුකම් සැලසීම, ආදිය පමණක් නොව සැලසුම් කළ කාලසටහනට අනුව චිත්‍රපට රටට ගෙන්වා ගැනීමත්, ඒවා නිසි කාලය තුළ යාපනයට ප්‍රවාහනය කරවාගැනීම පවා දුෂ්කර වන අවස්ථාවන් නැතුවා නොවේ. ඒ සියල්ල පවත්නා අතරේ ඇතැම් සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සිය නිර්මාණ කාර්යය තුළදී තම නිර්මාණයේ කොටස්කරුවන් සමග ඇතිකරගනු ලැබූ ගැටුම්, මතභේද සහගත තත්ත්වයන් හේතුවෙන් මතුවන සදාචාරාත්මක හා මානුෂීය ගැටළුද සුළුකොට තැකිය නොහැකිය. මේ සියල්ලෙහි වගකීම උළෙලේ අධ්‍යක්ෂිකාව වන අනෝමා රාජකරුණා මත පැටවීම තිබීමත්, ඇය මේ සියල්ල යම් පමණකට හෝ සමතුලිත කිරීමට දැඩි වෙහෙසක් දරනු දැකිය හැකිවිය. ඒ අනුව දැඩි දුෂ්කරතා මධ්‍යයේ තෙවන වරටත් මෙම උළෙල පැවැත්වීමට මූලිකත්වය ගෙන කටයුතු කිරීම සම්බන්ධයෙන් ඇයට අපගේ ප්‍රශංසාව හිමිවිය යුතුය.
සිනමා කෘතියක් යනු අධ්‍යක්ෂවරයාගේ ස්වෝත්තම ක්‍රියාවක් නොව සාමූහික ක්‍රියාවලියකි. සිනමා කෘතියක ඇතුළත හා පිටත ලෙස නම් කළ හැකි වෙතත්, එය එසේ ලඝු කළ නොහැකිය. ඒ නිසාම කෘතිය ඇතුළතත්, එහි පිටුපස ක්‍රියාවලියත්, ඒ හා සම්බන්ධවන ප්‍රේක්ෂකයාත්, එය මේ මොහොතේ සේවය කරනු ලබන්නේ කාහටද? යන පැනයට ලැබෙන පිළිතුරත් සිනමා කෘතියක් කියවීමේදී අතිශය වැදගත්ය. එම අරුතින් මෙම උළෙලේ තිරගත කෙරුණු සංජීව පුෂ්පකුමාරගේ 'දැවෙන විහඟුන්', සුරංග කටුගම්පොලගේ ' පුතෙුකුට', ප්‍රියන්ත කළුආරච්චිගේ 'රතු සමනල හීනයක්', ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුවූ රාම්ගේ 'තිරමනි' ආදී කෘති පිළිබඳව ඉදිරියේදී මෙම තීරුවෙන් වෙන් වෙන්ව වඩාත් සවිස්තරාත්මකව කියවීමට අපේක්ෂිතය. එහෙයින් ඒ සම්බන්ධයෙන් ඉතා සැකෙවින් කෙටි වදනක් පැවසීමට පමණක් මෙය අවස්ථාව කර ගනිමි.
සංජීව පුෂ්පකුමාර කලෙකට ඉහතදී අභිෂේක ලබා තිබුණේ 'දේශද්‍රෝහියෙකු' ලෙසය. ඒ ඔහුගේ කුළුඳුල් නිර්මාණයවූ 'ඉගිලෙන මාළුවෝ' නිසාය. බොහෝ දෙනෙකු ඊට එරෙහිවූයේ එමඟින් දැනවුණු යුද විරෝධයටත් වඩා එහි නිරූපිත ලිංගික දර්ශනයන් හේතුවෙනි. ඔහුගේ නවතම කෘතිය වූ 'දැවෙන විහඟුන්' 88-89 භීෂණ යුගයේ අරාජික කතාවක පැතිකඩක් ගෙනහැර පායි. සුරංග කටුගම්පොලගේ 'පුතෙුකුට' නිර්මාණය ආරම්භයේදීම රටේ පැවති සිවිල් යුද්ධය හේතුවෙන් බොහෝ පිරිසක් රට හැර ගිය බවටත්, එම කතා පුවත එලෙස රට හැර ගිය පිරිසක් පාදක කරගත් චිත්‍රපටයක් බවටත් තිරයේ හැඳින්වීමක් ප්‍රදර්ශනය කරනු ලබයි. යුද්ධය හා සෘජු සම්බන්ධයක් නොපැවතියද, යුද්ධය නිමාවී වසර 8ක් ගතවී ඇතත්, අද දිනයේද නීත්‍යනුකූලව මෙන්ම නීති විරෝධී ලෙසද රට හැරයන පිරිස්වල අඩුවක් දක්නට නොලැබෙයි. එම නිසාම හැඳින්වීම අතහැර චිත්‍රපටය කියවන ඕනෑම අයෙකුට වෙනත් රටක සුළුතරය බවට පත්වන ලාංකේය සරණාගතයින් මුහුණදෙන ගැටළු ස්පර්ශ කළ හැකිය. "රතු සමනල හීනයක්" යනු ආදරය පිළිබඳ කියැවෙන චිත්‍රපටයක් ලෙස හඳුන්වාදීමට එහි අධ්‍යක්ෂවරයා වඩා කැමැත්තක් දක්වන නමුදු එය පශ්චාත් යුද චිත්‍රපටයකි. තමාගේ විමුක්තිය වෙනුවෙන් තවත් ජනවර්ගයක විමුක්තිය බිලිදෙන , ඊළඟ අදියරේදී එහි නෂ්ඨාවශේෂ තවත් වටයකින් බිලිදෙන ජාතියක ශෝකාන්තයකි. මෙවර හොඳම කුළුඳුල් චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍රවූ අනන්‍යා කසරවල්ලිගේ 'හරිකත ප්‍රසංග' චිත්‍රපටය උළෙලේ තිරගතවූ දිනයේ නැරඹීමට අවස්ථාව නොලැබුණි. ඒ නිසාම එය නරඹා ඒ පිළිබඳව යමක් සටහන් කිරීම පසුවට කල්තැබීමට සිදුවේ. කෙසේ වෙතත් යාපනය ජාත්‍යන්තර සිනමා උළෙලේ තිරගත කෙරී මවිසින් නැරඹූ මා සිත්ගත් චිත්‍රපටය වූයේ රාම්ගේ 'තිරමනි' චිත්‍රපටයයි. එය සමාජ ආර්ථික හා සංස්කෘතික තල ගණනාවක් විනිවිඳින සංකීර්ණ මානුෂීය සබඳතාවන් සරලව ගෙනහැර පායි. සෞන්දර්යයද, ආදරයද එකට කැටිකොට පෙන්වයි.
Add caption |
උළෙලේ සමාප්ති දිනට පෙරදින රාත්‍රී භෝජන සංග්‍රය අතරවාරයේ හමුවූ කේසවරාජන් නවරත්නම් හඳුනාගත් මොහොතේ අප මීට පෙර හමුනොවුණද, ඔහු ගැන දැනසිටි බව කියාසිටීමෙන් පසු ''ඒ ගැන මට සතුටුයි. අපට හමුවීම සඳහා ඉඩ ප්‍රස්ථා ලැබුණේ අඩුවෙන් නොවැ".ඔහු සඳහන් කළේය. එම කෙටි වැකිය තුළ බොහෝ දේ අඩංගු විය. දශක 3ට ආසන්න යුද්ධය හා බැඳුණු අත්දැකීම් සමුදායක එක් සටන් පාර්ශවයක නිල සිනමාකරුවෙකු ලෙස ක්‍රියා කළ කේසවරාජන්ටද, කළ ප්‍රකාශනයක්ට වඩා නොකළ ප්‍රකාශනයන් බොහෝ විය හැකිය. දකුණට තවමත් ආගන්තුක ඔහුගේ සිනමාකෘති හුදෙක් සිනමාවට ඔබ්බෙන් පැවති කටුක යථාර්ථයකට අප අභිමුඛ කරනු නිසැකය. එබැවින් තවමත් ඇත්තේ 'ඉඩ ප්‍රස්ථා' පිළිබඳ ගැටළුවකි. පිළිතුර සෙවිය යුත්තේ තනි පුද්ගලික ව්‍යාපෘති ලෙස නොවන බවද, පැහැදිලිය.
-දිනමිණ(26-09-2017)