Monday, September 25, 2017

පතී, පුටු-කොරා සහ අන්ධයා සමග අපි


                            


ආචාර්ය ධර්මසේන පතිරාජයන් කලා ක්ෂේත්‍රය තුළ අවිවාදිතව පිළිගැනෙන්නේ වම් ඉවුරේ පුරෝගාමී සිනමාවේදියා ලෙසය. ඔහු විසින් නිර්මාණය කළ සම්මානිත චිත්‍රපට කෙරෙහි අවධානය යොමුකරනවිට ලාංකේය සිනමාව තුළ 'පතිරාජ' ලකුණ කිසිවෙකුටත් මකා හළ නොහැකිය. එහෙත් ඔහු නාට්‍යවේදියෙකු  ලෙසද, කලා ක්ෂේත්‍රයට යමක් ඉතිරි කළ අයෙකි. ඔහු විසින් තම ශාස්ත්‍රපති උපාධිය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද පර්යේෂණය, "සිංහල නාට්‍යයේ ආකෘතිය හා අන්තර්ගතය අතර අරගලය' යන මැයෙන්ද, 'පුටු', සහ 'කොරා සහ අන්ධයා සමග වංගගිරිය'  යන මැයෙන් නාට්‍ය කෘති දෙකක්ද, පසුගිය අගෝස්තු 31 වන දින කොළඹ මහවැලි කේන්ද්‍රයේදී දොරට වඩින ලදී. එහිදී වේදිකා නාට්‍ය කලාව කෙරෙහි පතිරාජයන්ගේ දායකත්වය පිළිබඳ සිදුකෙරුණු කතා බහ සැබවින්ම කාලෝචිතය.
කොරා සහ අන්ධයා


                          ආචාර්ය ධර්මසේන පතිරාජයන් විසින් යූජින් ඉයනෙස්කෝගේ 'ද චෙයාර්ස්' නමැති නාට්‍ය 'පුටු' නමින් ලාංකේය වේදිකාවට ගෙනඑනු ලබන්නේ 70 දශකයේදීය. එය අභූතරූපි නාට්‍ය නිර්මාණයකි. එම යුගයේදීම ස්වතන්ත්‍ර නිර්මාණයක් ලෙස රචනා කරන ලද' කොරා සහ අන්ධයා' සිංහලෙන් ලියැවුණු 'ප්‍රථම අභූතරූපි නාටකය' බැව් පරාක්‍රම නිරිඇල්ල පවසයි. මෙම ලියුම්කරුට මෙම නාට්‍ය නිර්මාණය පළමු වරට දැකබලා ගැනීමට හැකිවන්නේද, පරාක්‍රම නිරිඇල්ල‍  ප්‍රමුඛ ජනකරළිය නාට්‍ය කණ්ඩායම විසින් හෝමාගම ප්‍ර දේශයේ නව නිෂ්පාදනයක් ලෙස කළ රංගගත කිරීමකදීය. පතිරාජ විසින් රචනා කරනු ලදුව ධම්ම ජාගොඩ විසින් වේදිකාවට ගෙන එන ලද මෙම නාට්‍යයේදී විමල් කුමාරද කොස්තා, දයා තෙන්නකෝන් එහි රංගන ශිල්පින් ලෙස කටයුතු කළ අතර මේවන විට කොස්තා ජීවතුන් අතර නොමැති හෙයින් ඉකුත් 31 වන දින පොත් දොරටවැඩුම සිදුවූ අවස්ථාවේදී දයා තෙන්නකෝන් සමග රංගනයට එක්වූයේ අලුත් පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙකු වන කලණ ගුණසේකරයි. එදින 'කොරා සහ අන්ධයා' නාට්‍යයේ කොටසක් පමණක් වේදිකා ගතවිය.

                               'කොරා සහ අන්ධයා' නාට්‍ය මෙන්ම පතිරාජ සහ ජාගොඩ සුසංයෝගය පිළිබඳ ප්‍රවීණ නාට්‍යවේදියෙකු වන පරාක්‍රම නිරිඇල්ල තබා ඇති සටහනක් මෙපරිදිය.
''70 දශකය ආරම්භ වනවිට ශ්‍රී ලාංකේය නාට්‍ය හා චිත්‍රපට කලාව ඔස්සේ නව ප්‍රවේශයන් දක්නට ලැබුණි. ධර්මසේන පතිරාජ සහ ධම්ම ජාගොඩ මේ අතර කැපී පෙනෙන යුග්මයක් විය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය විද්වතෙකු ලෙස නාට්‍ය හා චිත්‍රපට කලාවන් පිළිබඳ නිරන්තර හැදෑරීම්වල යෙදී සිටි ධර්මසේන පතිරාජයන් මේවන විට 'හන්තානේ කතාවෙන්' සිනමා අත්දැකීම් ලබා සිය කුළුඳුල් සිනමාපටය වූ 'අහස්ගව්ව' ආරම්භ කර තිබුණි. 1966 නාට්‍ය උළෙලේ 'වෙස්මුහුණු' නාට්‍ය රඟදක්වා සම්මානලාභී වූ ධම්ම ජාගොඩයන් අමෙරිකා එක්සත් ජනපදයට හා යුරෝපයට ගොස් නාට්‍ය කලාව පිළිබඳ ලත් පරිචය ඇතුව ආරම්භ කළ රංග ශිල්ප ශාලිකාවෙන් 1972 වන විට අලුත් රංගන ශිල්පීන් බිහිවෙමින් පැවති අතර , නව නාට්‍ය නිර්මාණ සහ නව අත්හදාබැලීම් කරන මධ්‍යස්ථානයක් බවට එය ස්ථාපිත වෙමින් තිබිණි. එය ශ්‍රී ලංකාවේ සියලු කලාවන්හි නිරත දැවැන්තයින් නිතරම ගැවසෙන රසාතලයක් බවට පත්ව තිබුණි. පතිරාජයන් අතින් 'කොරා සහ අන්ධයා' අපූර්ව නාටකය ලියැවෙන්නේද, ධම්ම ජාගොඩයන් අතින් එය අපූර්ව නාට්‍ය නිර්මාණයක් බවට පත්වන්නේද මෙම සශ්‍රීක වකවානුවේදීය. ධම්ම ජාගොඩ මහතා පවසන පරිදි සහ මා අසා ඇති පරිදි මෙම පරිසමාප්ත නාට්‍ය බිහිවී තිබෙන්නේ නාට්‍ය රචකයා හා අධ්‍යක්ෂවරයා අතර නිරන්තරයෙන් පවත්වන ලද සාකච්ඡා ඔස්සේ මතුකරගත් තීන්දු තීරණ ඔස්සේය. (කොරා සහ අන්ධයා සමග වංගගිරිය, පිටු 10-11).

           අභූතරූපි නාට්‍ය නිර්මාණ යනු මොනවාද? මෙම ශානරයේ සිංහල පළමු ස්වතන්ත්‍ර නිර්මාණය 70 දශකයේදී පතිරාජයන් අතින් බිහිවීම අහම්බයක්ද? එදා බිහිවූ මෙවන් නාට්‍ය නිර්මාණ පිළිබඳ වැඩි කතා බහක් ඇති නොවීම 2017 වසරේදී එම නාට්‍ය පිටපත් මුද්‍රණ ද්වාරයෙන් එළිදැකීම විසින් අපට හඟවනු ලබන්නේ කුමක්ද? යන්න පිළිබඳ සැකෙවින් යමක් සටහන් විය යුතුමය. 
කොරා සහ අන්ධයා

                                            ලෝක යුද්ධ දෙකක් සමග  සිදුවූ මහා විනාශයක නටඹුන්, අපේක්ෂාභංගත්වය, සාංකාව තර්කනයෙන් පමණක් තේරුම්ගත නොහැකි සිද්ධි මෙන්ම හැඟුම් සමුදායකි. සැමුවෙල් බෙකට්, යූජින් ඉයනෙස්කෝ, ආතර් ඇඩමොෆ් යන අයගේ නාට්‍ය නිර්මාණ හැඳින්වීමට පළමුව "අභූතරූපි රංගය"යන වචනය භාවිතා කරනු ලබන්නේ මාර්ටින් එස්ලින්ය. "කලා කෘතියක් යනු සන්නිවේදනය කළ නොහැකි..සමහරවිට සන්නිවේදනය කිරීමට ඉඩ ඇති..යථාර්ථයක් සන්නිවේදනය කිරීමට ගන්නා ප්‍රයත්නයක ප්‍රකාශනයකි. එය එහි පරස්පරය හා සත්‍යයි." යන්න මෙම ශානරයේ නාට්‍ය පිළිබඳ ඉයොනෙස්කෝගේ අදහසයි. ඉයනොස්කෝගේ 'ද චෙයාර්ස්" රචනා වන්නේ 1952දීය. එනම් දෙවන ලෝක යුද්ධය නිමාවී වසර හතකට පසුවය.  පතිරාජ විසින් එය සිංහලට නඟන්නේ 70 දශකයේදීය. එනම් ඊට දශක දෙකකට පමණ පසුවය. 71 අප්‍රේල් යනු මෙරට ප්‍රථම තරුණ නැගිටීම සිදුවූ කාලයයි. තරුණ කැරැල්ලට දින කිහිපයකට පෙර එනම් එම වසරේ මාර්තු මස 19 වන දින ලුම්බිණී රඟහලේදී 'පුටු' නාට්‍ය පළමු වරට වේදිකා ගත විය. පතිරාජ විසින් 'අහස්ගව්ව(1974), බඹරු ඇවිත්(1978), පාරදිගේ (1980), යන චිත්‍රපට තුළින් එවක තරුණ අසහනය, සමාජ ව්‍යසනය, වල්මත්වූ තාරුණ්‍ය, සමාජ විපරිවර්තනය තිරයට ගෙන ඒම පිළිබඳ බොහෝ දෙනෙකු කතා කළේය. එහෙත් තරුණ නැඟිටීමට සමගාමීව ලාංකේය සමාජය තුළ සිදුවූ කැළඹිල්ල, එමගින් ජනිත කරන ලද කාංසාව, ශුන්‍යතාව ස්පර්ශ කළ 'පුටු' හෝ 'කොරා හා අන්ධයා' පිළිබඳ පුළුල් කතිකාවක් නිර්මාණය නොවිණි.

                                       මේ අප ගෙවමින් සිටින්නේ 2017 වසරයි. 30 වසරකට අධික කාලයක් තිස්සේ පැවති යුද්ධය නිමාකොට ගෙවමින් සිටින්නේ අටවෙනි වසරයි. මේ මොහොතේත් ජාතික සංහිඳියාව‍ තේමාවක් මිස මහපොළොවේ යථාර්ථයක් නොවේ. යුද්ධයෙන් අහිමි කර ඇත්තේ ජීවිත, දේපළ පමණක් නොවේ. ආපස්සට ඇද ඇත්තේ සංවර්ධනය පමණක් නොවේ. ඉතිරි කර ඇත්තේ ජයග්‍රහණය පිළිබඳ උදම් ඇනීමක් හෝ පරාජයන් පිළිබඳ පසුතැවිල්ලක් පමණක් නොවේ. කිසිදා නොඑන අමුත්තන් බලාපොරොත්තුවෙන් සිටින මහලු යුවළක් නිරූපිත'පුටු' නාට්‍යයේද, මිනිසා එකිනෙකා මත යැපෙන නමුත් ආත්මාර්ථය, කුහකත්වය මතින් තම අරමුණු කරා ළඟාවීමට උත්සාහ දරන කොරෙකු සහ අන්ධයෙකු තුළින්ද මේ මොහොතේත් ලාංකේය සමාජ යථාර්ථය ස්පර්ශ වනු දැකිය හැකිය.
තම නාට්‍ය කෘති එළිදැක්වුණු මොහොත් ස්තූති කතාව සිදුකරමින් පතිරාජයන් කියා සිටියේ මෙවැන්නකි.
"මං වෘත්තීය කලාකාරයෙක් නෙවෙයි. වෘත්තීය සිනමාකාරයෙක්වත්, නාට්‍යකරුවෙක් වත් නෙවෙයි. මං කිසිදෙයක් පිළිවෙලට කරපු මිනිහෙක් නෙවෙයි"
ඒ කතාව සැබෑය. වෘත්තියට කලාව කරන්නට ගියේනම් ඇතැම්විට මේසා පෝසත් නිර්මාණ බිහිනොවීමට ඉඩ තිබුණි. මන්ද යත් බඩ රස්සාව විසින් නිර්මාණයේ සීමා තීරණය කරන්නට ඉඩ තිබුණු බැවිනි. ඉතිං පතීට ජය!


(19-09-2017-දිනමිණ)

No comments:

Post a Comment