Tuesday, January 24, 2017

භූමිට විදර්ශන හමුනොවීම බූපති සුළුතරයෙකු වීම නොහොත් ෆ්‍රැන්ජිපානි මට පෙනෙන හැටි

මේ ලි ය වි ල් ල ෆ්‍රැන්ජිපානි චිත්‍රපටය ගැන වුවත් ඒ ගැන පමණක් නොවේ. චිත්‍රපටය අධිපති කතිකාවට අභියෝගයක් වන්නේ යම්සේක්ද, කොළඹ කේන්ද්‍රීය සංවාද තලයේ එය ස්ථානගත වූයේ කුමන ආකාරයෙන්ද යන්න පිළිබඳ මධ්‍යස්ථ මතධාරියෙකුගේ නිරීක්ෂණයකි. ඒ අර්ථයෙන් මෙය සාම්ප්‍රදායික විචාරයක් නොව සමීප නිරීක්ෂණයක් ලෙස පමණක් සැලකුව මනාය. ලියුම්කරු මෙම චිත්‍රපටය දෙවරක් නරඹා තිබේ. පළමු අවස්ථාව දෙවසරකට පමණ ඉහතදී ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ චිත්‍රපටය ප්‍රදර්ශනය කොට ඒ පිළිබඳ සංවාදයක්ද කෙරුණු අවස්ථාවයි. දෙවන අවස්ථාව ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේ පැවති මංගල දර්ශනයයි. මේ අතුරින් චිත්‍රපටය පිළිබඳ කෙරුණු කතාබහ උපුටා ගැනීමේදී ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ සිදුවුණු සංවාදයත්, ඉතාම මෑතකදී චිත්‍රපටය පසුබිමේ තබාගෙන එහි අන්තර්ගතය පිළිබඳ පදනම් ආයතනයේදී පැවති සංවාදයත් ප්‍රස්තූතවීම නොවැළැක්විය හැකිය.




                               පාවුලේ ෆ්රයරේ විසින් රචිත PEDAGOGY OF THE OPPRESSED කෘතිය සිංහලට පරිවර්තනය කළ සයිමන් නවගත්තේගම ඊට “සංවාදය, සංවිධානය හා විප්ලවය”යයි නම් තැබීය. අධ්‍යාපනය පාදක කරගත් පීඩිතයාගේ විමුක්ති අරගලය පිළිබඳ මාහැඟි කියවීමක්වූ එම කෘතිය තුළ සාම්ප්‍රදායික අධ්‍යාපන බල රටාව අභියෝගයට ලක්කරමින් සංවාදය හා සංවිධානය ව්‍යුහගතවන ස්වරූපයන් මෙන්ම විටෙක පීඩිතයා තවත් විටෙක පීඩකයාගේ තැන පිහිටන අයුරු මෙන්ම පීඩකයින්ගේ ගොන්නෙහි පීඩාවට පත්වන පීඩිතයන්ද සිටින බැව් පෙන්වාදෙනු ලබයි.
ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරයගේ කැමැත්ත වන අතරම සුළුතරය නොතකා නොහැරීමද, සුළුතරයගේ අයිතිවාසිකම් ආරක්ෂා කරලීමද ඊට අයත්ය. එහෙත් ප්‍රායෝගික තලයේදී ව්‍යවස්ථානුකූල විධිවිධාන කෙසේවුවද, බහුතරය විසින් සුළුතරය මර්දනය කෙරෙයි. ජාතික ප්‍රශ්නය හා ඒ ආශ්‍රිත මතුවන ගැටලුවලදී වාර්ගික සිංහල-බෞද්ධ බහුතරය විසින් සුළුතර ද්‍රවිඩ-මුස්ලිම් ජනයා කෙරෙහි මර්දනය මුදාහරිනු ලබයි. මෙම තත්ත්වය විසින් දකුණේදී පොලිස් වෙඩි පහරට ලක්ව නිරායුධ සිසුවෙකු ජීවිතක්ෂයට පත්වූ අවස්ථාවකදී පොලීසියට එරෙහිව විරෝධතා දැක්වීම සාමාන්‍යකරණය වී උතුරේදී එයම සිදුවූ විට එය “කොටි හිස එසවීම” බවට පත්වෙයි. දකුණේදී පොලිස් පොලිස් නිලධාරියෙකුට පහරදී හිස්වැසුම ගෙදර ගෙන ගිය මාලබේ ස්ත්‍රිය වීරවරියක වී උතුරේදී පොලිස් නිලධාරියෙකුට බෝතල යකින් පහරදුන් තැනැත්තා ‘ත්‍රස්තවාදියෙකු’බවට නිතැතින්ම පත්වේ. දකුණේදී සිංහල පමණක් වහරන ජනයා අතර, සිංහල බස් පුවරු රැගත් පොදු ප්‍රවාහන සේවා, සිංහල නාම පුවරු සහිත මාර්ග උතුරේ ද්‍රවිඩයාට හෝ නැගෙනහිර මුස්ලිම් ජාතිකයාට තමා පිළිබඳ ඇතිකරන අනාරක්ෂිත හැඟීම, තමා පිටස්තරයෙකු බවට පත්ව ඇතැයි යන සිතුවිල්ල අහම්බයක් විය නොහැකිය. ඒ ආකාරයෙන්ම උතුරේදී හෝ නැගෙනහිරදී ද්‍රවිඩ භාෂාව පමණක් වහරන ජනයා අතර ද්‍රවිඩ නාම පුවරු, හින්දු ජන ආහාර පමණක් සහිත හෝටල් පරිසරයකදී සිංහලයෙකුටද තමා කෙරෙහි අනාරක්ෂිත හැඟීමක් හෝ තමන් පිටස්තරයෙකු නොවේදැයි යන සිතුවිල්ලක් පහළවීම සම්බන්ධයෙන්ද අප පුදුම විය යුතු නොවේ. වෙනත් අයුරකින් කිවහොත් තමා අයත්වන්නේ පීඩකයන්ගේ ගොන්නටද, එසේත් නැතිනම් පීඩිතයන්ගේ ගොන්නටදැයි කෙනෙකුට දනවන මොහොත නිශ්චිත ලෙස අර්ථගැන්විය හැකි ව්‍යුහාත්මක මොහොතකි. විෂම ලිංගිකත්වය පමණක් අධිනිශ්චය වූ සමාජයක සමකාමීන්, සංක්‍රාන්ති ලිංගිකයන්ට මුහුණදීමට සිදුවන ගැහැට හා පීඩාවන් කෙරෙහි අවධානය යොමුකිරීමේදීද, මේ තත්ත්වයෙහි වෙනසක් අපේක්ෂා කළ නොහැකිය.




                                  ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ චිත්‍රපට දර්ශන වාරයෙන් ඉක්බිතිව පැවති සංවාදයේදී පළමු වාග් ප්‍රහාරය එල්ලවූයේ විසාකේසටය.
“ඔබ මේ සමකාමීන්ගේ ගැටලුව දිහා පිට ඉඳන් බලලා මතුපිටින් අතගාලා කරපු වැඩක්. අපිට තියෙන්නේ මේ වගේ ප්‍රශ්න නෙවෙයි.” මේ ප්‍රශ්නය එල්ලවූයේ ප්‍රේක්ෂාගාරයේ සිටි සමකාමීත්වය නියෝජනය කරන අයෙකුගෙනි. ඊට ප්‍රතිචාර දක්වමින් තමාට මෙම විෂය ක්ෂේත්‍රය සමග ඇති සබඳතාව මෙන්ම තමා නියෝජනය කරන කොළඹ උපසංස්කෘතික ව්‍යුහයන් පිළිබඳව සැකෙවින් යමක් කියාපෑමට මෙහිදී විසාකේසට සිදුවිය. ප්‍රශ්න නැඟූ පුද්ගලයා ටික වේලාවකින් නිහඬවිය. එහෙත් සමකාමී සමාජය තුළ පවත්නා විවිධ උපසංස්කෘතීන් හා ගතිකයන්හි සංකීර්ණත්වය පිළිබඳ යම් අදහසක් අවදි සිහියෙන් සිටියවුන්ට ලබාගත හැකිවිය. (කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උළෙල තුළ මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුවද සමකාමී සමාජය නියෝජනය කරන්නෙකුගේ දැඩි ප්‍රශ්න කිරීමකට ලක්වන්නට විසාකේසට සිදුවිය.) මෙම ප්‍රේක්ෂාගාරය තුළ අන් දිනෙක හමුනොවන එදින පමණක් සහභාගිවූ මුහුණු වැඩි වශයෙන් දක්නට ලැබුණි. ඒ තමා ගැන කියැවෙන චිත්‍රපටයක් නැරඹීමට දැක්වූ උනන්දුව සහිතවූවන් විය හැකිය. අනෙක් අතිබහුතරයද, තමන් සමකාමීන් නොවූවද ඔවුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කරන අප වැන්නන්ය. කතාබහ අවසාන භාගයේදී බූපති නලින් චිත්‍රපටය ගැන තම අදහස් පළකළේය.



“මේ චිත්‍රපටයේ අවසාන දර්ශනයෙන් මෙතෙක් ගොඩනඟපු සමස්ත උපසංස්කෘතික දේශපාලනය බිඳවැටෙනවා. ව්‍යාජ මානවවාදී තැනකට තල්ලුවෙනවා. මේ තරම් සාමකාමී විදිහට මේ වගේ ප්‍රශ්නයක් බේරාගන්න පුළුවනි නම් ලංකාව මාර රටක් වෙන්න ඕනෑ” ඔහු තම අදහස මේ අයුරින් සම්පිණ්ඩනය කළේය. ඊට විසාකේසගේ ප්‍රතිචාරය වූයේ මෙවැන්නකි.

“මම මේ චිත්‍රපටය හැදුවේ සමකාමීන් ගෙදර ගිහිල්ලා වහ බොන තැනට නෙවෙයි. ඒ අය එල්ලිලා මැරෙන තැනකින් චිත්‍රපටය ඉවරවුණා නම්ද දේශ පාලනික වෙන්නේ? එහෙම වෙන්න ඕනෑ නෑ. මට සමාජයට දෙන්න පණිවිඩයක් තියෙනවා. ලංකාවේ සමකාමී සමාජය කුලකය තුළ ඉඳගෙන ඒක අන් අයට පිළිගැනීමට බලකරන වැඩක මං ඉන්නේ. ඒක යථාර්ථය තුළද, යථාර්ථයෙන් තොරද කියන කාරණය මට අදාළ නෑ”
                      චිත්‍රපටයේ අධ්‍යක්ෂ වරයාට තමා නිරතවන්නාවූ කලා භාවිතය සම්බන්ධ යෙන් අදහස් පළකිරීමටද, පෙනී සිටීමටද සපුරා අයිතියක් ඇත. තමා විසින් සිදුකරනු ලබන්නේ කලා කටයුත්තක්ද, එසේත් නැතිනම් යම් ප්‍රචාරාත්මක වැඩසටහනක්ද යන්න වුවද ප්‍රසිද්ධියේ පිළිගැනීමට හෝ පිළිනොගැනීමටද අයිතියක් තිබේ. එහෙත් අධ්‍යක්ෂවරයාගේ ඇසින් චිත්‍රපටය නැරඹිය යුතු යයි බලකිරීමට හෝ චිත්‍රපටය හා ගනුදෙනු කිරීමට පිවිසිය හැකි එකම මග මේ යයි අර්ථ නිරූපණ දීමට අයිතියක් ඇතැයි කිව නොහැකිය. මෙම අවස්ථාවෙන් පසුව සැබවින්ම සිදුවූයේ ප්‍රථමයෙන්ම විසාකේස ප්‍රශ්න කරනු ලැබූ ප්‍රේක්ෂකයාගේ සිට විසාකේස, භූමි, ආචාර්ය අශෝක ද සොයිසා ආදි බොහෝ දෙනෙකු එකම කඳවුරක සිට බූපතිට වාග් ප්‍රහාර එල්ලකිරීමය. සමකාමී අයිතිය පිළිගන්නා අතරම, චිත්‍රපටයේ අවසාන රූප රාමුව පිළිබඳ පමණක් වෙනස් මතයක් දැරූ බූපති එම අවස්ථාවේ පීඩිත සුළුතරයා බවට රූපාන්තරණයවී නිහඬවිය. වෙනත් අයුරකින් කිවහොත් “ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ ෆ්‍රැන්ජිපානි කතිකාවේ සමකාමී මහා ව්‍යුහය තුළ (මහා සංස්කෘතිය) සමකාමී අයිතිය පිළිගන්නා ‘විසමකාමි’යා (උප සංස්කෘතිය) සුළුතර පීඩිතයා බවට පත්කරනු ලැබිණි. හෝරා 3ට පමණ පසු වැඩසටහනට සමුදී ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ ගේට්ටුව පසුකරන අවස්ථාව වන විට නැවතත් කතිකාවේ මහා සම්ප්‍රදාය හෝ සංස්කෘතිය ගේට්ටුවෙන් එපිට ලෝකය තුළ චූල සම්ප්‍රදාය හෝ උප සංස්කෘතියක් බවට ඌනනය වී දියවී යන ලදී. එබැවින් සමකාමිත්වය පිළිගැනීම හෝ පිළිනොගැනීම චිත්‍රපටය පිළිගැනීම හෝ පිළිනොගැනීම තරමට කතිකාවේ හරස්කඩක් නිර්මාණයවීම කනගාටු දායක වන්නේ ‘අනෙකා නොඉවසීමේ දේශපාලනය’ කනගාටුදායක වීමේ තරමට අඩුවෙන් නොවේ.



                                            පාවුලේ ෆ්රයරේ මෙසේ පවසයි. “පීඩක හා පීඩිත ප්‍රතිවිරෝධතාව පිහිටන්නේ සංයුක්ත අවස්ථාවකදී බැවින්, එම විසංවාදයේ විසඳීම විෂය මූලිකව, සත්‍යක්ෂ (VERIFIABLE) විය යුතුය. මේ අනුව තමන් පීඩකයෙකියි ද නැතිනම් පීඩිතයෙකයිද තෙමේ තමා විසින්ම අවබෝධ කොට ගන්නා තැනැත්තාට- උන්මූලවාදියාට, පීඩනයට මූල හේතුව වූ සංයුක්ත අවස්ථාවම විපර්යාස විය යුතුය”(10වන පිටුව, සංවාදය සංවිධානය හා විප්ලවය).
එබැවින් ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයද, පදනම් ආයතනයද සංයුක්ත අවස්ථාවක් ලෙස ගැනීමේදී තත්ත්වය කෙරෙහි තවදුරටත් සමීප නිරීක්ෂණයක් ලකුණු කළ හැකිවනු නොඅනුමානය.
පදනම් ආයතනයේ පැවති සංවාදයේදී භූමි හරේන්ද්‍රන් පෙන්වාදී සිටියේ ඉස්ලාම් හා කතෝලික හෝ ක්‍රිස්තියානි ආගමික දර්ශනය හැඩගැසී ඇත්තේ රාජ්‍ය ගොඩනැඟීම, එය ව්‍යාප්ත කරලීම සඳහා යුද්ධ ක්‍රියාත්මක කිරීම, ප්‍රචණ්ඩත්වය සාධාරණීය කරණය කිරීම වැනි කාරණා තුළ වුවද, බුදුදහම හෝ හින්දු ආගම ඊට පරස්පර බවයි. එබැවින් කුරානය හෝ බයිබලය පදනම් කරගත් ආගම් විසින් යුද්ධය මෙන්ම යුද්ධයට පිරිස් බලය වඩ වඩාත් අවශ්‍ය බැවින් දරුවන් සෑදීමට බාල වයස් විවාහ පවා සාධාරණීකරණය කළ බවයි. එහිදී දරුවන් සෑදීම (නිෂ්පාදනය) මිස දරුවන් සෑදීම අරමුණු කොට නොගත් පවුල් හෝ ආදර සබඳතා (සමකාමී) තහනම් කිරීම හෝ පිළිනොගැනීම රාජ්‍ය කේන්ද්‍රීය අවශ්‍යතාවක් මත සිදුවූ බවයි. මෙය කරුණක් ලෙස නිවැරදි විය හැකිය. එහෙත් විදර්ශන විසින් එය කරුණක් ලෙස පිළිගැනීම හෝ නොගැනීම පසෙක තිබියදී මෙසේ කියා සිටියේය.



“ඒත් අද දවසේ සමකාමී අයිතිය පිළිබඳ යම් පිළිගැනීමක් ඇතිවී ඇත්තේත්, ඒ පිළිබඳ සාධනීය කතිකාවක් ඇත්තේත් ඔය කියන බයිබලය පදනම් කරගත් ආගමික පසුබිමක් ඇති රාජ්‍යයන්වල පමණක් නේද? එතකොට ආගමට ඔබ්බෙන් ඒ ගැටලු සම්බන්ධයෙන් මිනිස්සු සක්‍රියව සිදුකළ මැදිහත්වීමක්, එහෙමත් නැත්නම් කැපවීමක් තියෙනවා.”

                                           විදර්ශන විසින් ආගමට ප්‍රතිපක්ෂව මිනිසුන් විසින් සක්‍රීයව සිදුකරන ලද දේශපාලනික මැදිහත්වීම්, සංවාද, සාහිත්‍ය තුළින් එය කතිකාවක් බවට පත්වන බව පෙන්වාදීමට උත්සාහ කළද, භූමි කියා සිටියේ ඒ සඳහා වන විසඳුම ඇත්තේ හින්දු හෝ බෞද්ධ ආගම් තුළ බවත්, බටහිර අවශ්‍යතා මත පටවන ලද පුහු සදාචාරාත්මක හා නීතිමය කරුණු වෙනුවට නැවත පෙරදිග ආගමික හරයන් වෙත සමාජය නැඹුරුවීමෙන් මෙම ගැටලු නිරාකරණය වනු ඇති බවත්ය.
“පෙනී ඉන්නවා හෝ ඒ වෙනුවෙන් වැඩකරනවා එහෙමත් නැත්නම් සංවාද කරනවා කියන එකේ තේරුම මොකක්ද? මං ගෙදරින් එළවන කොට පාරට වැටෙන කොට ඒ ගැන කතා කරන්න කවුරුත් හිටියාද? මං අවුරුදු ගාණක් තිස්සේ මේ දේවල් ගැන කතා කරනවා. ඒත් කවුරුත් එන්නේ නෑ. කතා කර කර හිටියට මොකුත් වෙන්නේ නෑ. දැන් සුනිල් ටීලා මැදිහත් වෙලා මේ චිත්‍රපටය පෙන්නන්න ගත්තේ නැත්නම්, දෙරණ සම්මාන උළෙලේ මේක ඇගයීමට ලක්වුණේ නැත්නම් මේ චිත්‍රපටය ගැන මෙතැන සංවාදයක් වත් සංවිධානය වෙන්නේ නෑ” භූමි, තමන්ගේ සැබෑ අත්දැකීම් ආශ්‍රයෙන් කියන දේ කරුණු වශයෙන් සත්‍යයක් විය හැකිය.




                               අතහැරීම හෝ හුදකලාවීම වෙනුවට මේ මොහොතේ තමන් ප්‍රමුඛ සමාජයේ පරිධියට තල්ලුවී ගිය පුරවැසියන් කොට්ඨාස යකගේ අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කිරීමට ඇය තීරණය කිරීමම පැසසුම් කටයුතුය. එහෙත් ගැටලුව ඇත්තේ ඇයගේ භාවිතය තුළ නොව දේවල් තේරුම් ගැනීමේ මාදිලිය තුළය. ඇයට පෙරාතුවද, ලංකාව තුළ සමකාමී හා සංක්‍රාන්ති ලිංගිකයන්ගේ අයිතිවාසිකම් ගැන කතා කළ පුද්ගලයන් හා කුඩා කණ්ඩායම් ක්‍රියාත්මක විය. 90 දශකයේ අගභාගය වන විට රොහාන් පෙරේරාගේ මැදිහත්වීමද, එක්ස් කණ්ඩායමේ සංවාදයද ලාංකේය ලිංගිකත්වය පිළිබඳ හෙජමොනික අදහසට ප්‍රතිපක්ෂව පිහිටා තිබිණි. යම් යම් අඩුලුහුඬුකම් මධ්‍යයේ වුවද, සෘජුව හා වක්‍රව මෙකී චූල සම්ප්‍රදායේ කතිකාව කුඩා කණ්ඩායම් දේශපාලනය තුළද, එම කුඩා කණ්ඩායම්ද තනි පුද්ගල ඒකක ලෙස කැඩී බිඳී විසිරී ගියද මෙම කතිකාවේ නෂ්ටාවශේෂයන් ඉතිරිවී තිබිණි. සාහිත්‍යමය වශයෙන් දුර්වලතා ගහණ වුවද, දැනට වසර හත අටකට ඉහතදී ගීතා කුමාරිගෙන් “මල්පෙති මැද ළැව්ගිනි” කෘතිය බිහිවීමද මෙම කතිකාවට සමපාත වන බැව් මාගේ පුද්ගලික හැඟීමය. එම කෘතිය ජනගත කරලීම සිදුවූයේ ද, දීපා මෙහ්තාගේ “ෆයර්” චිත්‍රපටය ප්‍රදර්ශනය කරමින් වීමද මෙහිලා සිහිපත් කරනු වටී. ඒ අනුව භූමිට උපකල්පනය කළ නොහැක්කේ සුනිල් ටී චිත්‍රපටය බාර ගැනීම, දෙරණින් සම්මාන ලැබීම යන කාරණා සිදුනොවී වුවද, පදනම් ආයතනය වැනි තැනක ‘ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය’ වැනි පිරිසක් විසින් තමන් නියෝජනය කරන උප කුලකයක් ගැන කියැවෙන ‘ෆ්‍රන්ජිපානි’ වැනි චිත්‍රපටයක් ප්‍රදර්ශනය කෙරෙනු ඇති බවයි. ඒ පිළිබඳ කතාබහක් සංවිධානය වනු ඇති බවයි. භූමි නොදන්නේ තාමත් මහජන ප්‍රදර්ශනයට නොපැමිණි, ලාංකේය මහා සම්ප්‍රදායයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ චිත්‍රපට නරඹන ඒ ගැන කතා කරන, වෙනස්ව හිතන (තවත් අයට එහෙම හිතන්නට පොළඹවන) පිරිස් තැන තැන සක්‍රීයව සිටින බවයි. එහෙත් ගැටලුවක් තිබේ. එය නම් සුළුතරයාගේ (වාර්ගික/ භාෂාමය/සංස්කෘතික/ලිංගික) අයිතිය වෙනුවෙන් සංවේදී මෙන්ම ඒ වෙනුවෙන් පෙනී සිටින, හඬ නඟන පිරිස් හා සැබෑවට ප්‍රශ්නයෙන් පීඩා විඳින සුළුතරයන් එකිනෙකාට අභිමුඛ නොවීමයි. සංකේතාමකව පවසන්නේ නම් භූමිට විදර්ශන හමු නොවීමයි. සැබෑ ප්‍රශ්න වෙනුවෙන් සංවේදී මෙන්ම ඒ පිළිබඳ න්‍යායාත්මක දැනුමෙන් යුතු පිරිසක් එකී දැනුමෙන් අහසේ සංවාද කරමින් සිටින විට පොළොවේ ප්‍රශ්නය සමග පොරබදිමින් සිටින්නන් තවදුරටත් පොළොව තුළටම කිඳාබසිමින් දාර්ශනික හුදකලාභාවයේ ගිලී නොපෙනී යෑමේ අවදාන මකට ලක්වී සිටියි. ප්‍රශ්නයට විසඳුම විදර්ශනට දේශපාලන තලයක හමුවන විට භූමිට එය ආගමික තලයක හමුවීමේ අනිවාර්යතාවක කනගාටු දායක අහම්බය එයයි. අවාසනාවකට මෙම තල දෙක අතර අභිමුඛවීමේ යාන්ත්‍රණයක් නොමැතිවීම හේතුවෙන් සිදුවිය හැක්කේ සුනිල් ටීලා වැනි තක්කඩි වෙළෙන්දන් මෙම අවකාශය යාකිරීමේ වගකීම අතට ගැනීමය. පාවුලේ ෆ්රයරේ විසින් “පංතියක් වශයෙන් පීඩකයෝ, පීඩිත පංතිය කෙරෙහි දක්වන සෑම ප්‍රතිචාරයක්ම බොරු පරිත්‍යාගශීලිත්වයෙන් කිළිටි කරති.” යයි කියන්නේ ඒ නිසාය.
කුරානයේ හෝ බයිබලයේ කුමක් සඳහන් වුවද, එකී ආගමික ඉගැන්වීම් සඳහා බලපවත්වන ලද දේශපාලනික, සමාජීය අවශ්‍යතාවක් කෙබඳු වුවද, අද දෙවියන් වහන්සේගේ කැමැත්තට පිටින් සමකාමියාද පුරවැසියෙකු ලෙස සැලකීමේ වගකීම යුරෝපයේ ප්‍රමුඛ පෙළේ රටවල් බාරගෙන තිබේ. එනම් පොතේ කුමක් තිබුණද මනුෂ්‍යත්වය පෙරදැරිකරගත් කතිකා වකට අද එකී රටවල් තල්ලුවී තිබේ.



                                     ලංකාවේ අධිපති සිංහල-බෞද්ධ වාර්ගික ජාතිකවාදී කතිකාව තුළ කරුණාව, මෛත්‍රිය, යහපත් රාජ්‍ය පාලනය යනාදී ආචාර ධාර්මික අංගයන් පවා පවතී. බෞද්ධාගම අන්‍යාගම් කෙරෙහි පවා සහනශීලිය. එහෙත් මෙම සමස්තය තුළ “ද්‍රවිඩ විමුක්ති සටන්කාමියාටද මෛත්‍රිය කළ යුතුය” යන අර්ථය නොමැත. එක් අතකින් ද්‍රවිඩ සටන්කාමියා මෙම සමස්තයෙහි ‘පිටත’ යයි අපට පැවසිය හැකිය. අනෙක් අතට එම සමස්තය තැනී ඇත්තේම ද්‍රවිඩයා බහිෂ්කරණය‍ෙ( externa lization) කිරීමෙන් යයිද පැවසිය හැකිය. භාෂාව මගින් මෙම මූලික පසමිතුරුතා සම්බන්ධය වසන්නට කෙතරම් ප්‍රයත්න දැරුවද ඊට හැකියාවක් නොවේ. සමකාමියාටද එය අදාළය. ඉවසීම, කරුණාව, මුදිතාව, උපේක්ෂාව, මෛත්‍රීය, සමානාත්මතාව, පිළිබඳ බෞද්ධ පතපොතේ ඉගැන්වීම් කෙතෙක් වුවද, ඒ අවස්ථාව සමකාමියාට ලබාදෙන්නට සිංහල-බෞද්ධයා ඉදිරිපත් වන බවක් නොපෙනෙයි. අනෙක් අතට එය ‘ලබාදීම’ යන්නම දෝෂ සහිතය. එය සමකාමියා විසින් කිසිවෙකු අත තිබී තමා විසින් ලබාගන්නා දෙයක් නොව තමාගේම අයිතියක් බැව් අනෙකා විසින් පිළිගත යුතුය. ඒ අර්ථයෙන් යුරෝපයේ සමකාමීන්ට ඉඩක් ලැබුණේ ඒ බව පොතේ නොතිබීම නිසා නොවන්නා සේම ලංකාවේ ඉඩක් ලැබෙන්නේ නම් ලැබෙන්නේද, ඒ ගැන පොතේ තිබීම නිසා නොවනු ඇත. පොතයි ජීවිතයයි අතර පවත්නා පරතරය පියවනු ඇත්තේ මනුෂ්‍යත්වය වෙනුවෙන් සිදුකරන්නාවූ මිනිස් මැදිහත්වීම් විසිනි.




                                          මෙම චිත්‍රපටයේ සාකච්ඡාවට බඳුන්වන්නේ ආදරය වේවා, සමකාමීන්ගේ අයිතිය වේවා ඒ වෙනුවෙන් එක පෙළට සිටගන්නට අපටද හැකිය. එහෙත් චිත්‍රපටයක් ලෙස සැලකීමේදී යම් යම් දුර්වලතාවන් පවත්නා බව පිළිගන්නට සිදුවීම ඊට බාධාවක් ලෙස නොසැලකිය යුතුය. “ඇඳුම් අඳින්නෙ ගැහැනු වෙන්න නෙවෙයි. විරෝධය පාන්න” යයි කියන විට සිනමාවේ රූප භාෂාව හෝ සිනමා උචිත වාග් මාලාවක් වෙනුවට ප්‍රොපගැන්ඩාවක භාෂාව ඉස්මතුවී දැනෙයි. නලින් හා සරසි අතර සබඳතාවකට ආර්ථික හා සමාජීය හේතු පසුබිමෙන් පෙළගැසෙනවිට (විවාහ යෝජනා/ වයස/ අපල/ ව්‍යාපාරික ස්ථානය /මෝටර් රථය) නලින් හා චමත් අතර ආදර සබඳතාව ආදරණීය වන්නේ අඩුවෙනි. පන්සලට කෑම ගිහින් දීම, වැඩපළට සහාය වීම වැනි අතිශය සරල ඕනෑම මිතුරන් දෙදෙනෙකු අතර පැවතිය හැකි හිතවත්කමක සීමාවෙන් ඔබ්බෙහි සංකීර්ණ මිනිස් සම්බන්ධයක් ගොඩ නැඟීමක් ප්‍රේක්ෂකයාට දැනවෙන්නේ අඩුවෙනි. ඒ නිසාම නලින් හා චමත් අතර සිදුවන සිපගැනීම් ආදරණීය වීම වෙනුවට ආක්‍රමණශීලි ආවේගයන් පිටවීමක් බවට පත්වෙයි. පන්සලේ මනාල-මනාලි වැඩසටහනද කතාවට බලහත්කාරයෙන් ඔබ්බවන ලද සිද්ධි ගැළපීමක් මිස එහි විකාශය තුළ සහසම්බන්ධ නොවන තරම්ය. මෙවන් යම් යම් සාපේක්ෂ දුර්වලතා කිහිපයක් අතරේ වුවද, දසුන්, ජෙහාන් හා නවක තරුණියගේ රංගනයන් අති විශිෂ්ටය. රඟපෑම වෙනුවට චරිත තුළ මැනවින් ජීවත්වීම සිදුකරයි. කුලරුවන්ගේ කැමරාවද, සිතුම්ගේ සංස්කරණයද චිත්‍රපටයට සාර්ථක හැඩයක් ලබාදී තිබේ. අවසාන වශයෙන් මේ චිත්‍රපටය විසාකේසට අනුව ආදරය හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ චිත්‍රපටයකි. භූමිට අනුව විවිධත්වය පිළිබඳ චිත්‍රපටයකි. කුලරුවන්ට අනුව ඩිජිටල් ෆිල්ම් ඇකඩමියෙන් ඉගෙන ගෙදර සිටිද්දී වැඩක් පෙන්නන්න ලැබුණු අවස්ථාවකි. සිතුම්ට අනුව ආදරය පිළිබඳ චිත්‍රපටයකි. කුමුදුට අනුව විසාකේසගේ යාළුකම නිසා මොන කට්ටක් කා හෝ පෙන්විය යුතු චිත්‍රපටයකි. සුනිල් ටී ට අනුව ශාන්තා, කුමුදු, ෂර්ලි ආදින්ගේ කරදරය නිසා අන්තිමට ප්‍රදර්ශනයට කැමැත්ත දෙන්නට සිදුවූ චිත්‍රපටයකි. කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවියට අනුව තමන්ගේ නිබන්ධනයට අත්‍යවශ්‍ය වූ සමකාමී ආදර චිත්‍රපටයකි. හේගල් තම චිත්ත ප්‍රපංචවේදයේ සඳහන් කළ පරිදි “ස්වාධීන පුද්ගලයෙකු විය හැක්කේ, “ස්වාධීනත්වය ගෙනෙන “භීතිකාව”ට බිය නොවී ඒ අරබයා “ජීවිතය පරදුවට හා අවදානමට” ලක්කිරීමෙනි. ඒ අනුව ෆ්‍රැන්ජිපානි චිත්‍රපටය මට දැනෙනුයේ හිමිකම හා ස්වාධීනත්වය වෙනුවෙන් විසාකේසලා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් ගනු ලැබූ අවදානමක් ලෙසය.





(2016 නොවැම්බර් 20 රාවය පුවත්පතේ පළවිය.)

Wednesday, January 18, 2017

දේශපාලන සූත්තර පිටියේ රතන සූත්‍රය හෙවත් ඒවං මේසුතං රතනං පනීතං


       



තුරලියේ රතනහිමියන් පසුගිය ජනවාරි 16 වෙනිදා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස ක්‍රියා කරන බවයි. ඊට දිනකට පසු රතනහිමියන් නියෝජනය කළ ‘ජාතික හෙළ උරුමයේ‘ නායකයාව සිටි වත්මන්හි එහි උත්තරීතර සංඝ සභාවේ සභාපති ධූරය දරණ ඕමල්පේ සෝභිත හිමියන් මාධ්‍ය හමුවකදී කියා සිටියේ “රතනහිමියන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීම අගය කරන බව හා  මෙම ස්වාධීනවීම වඩාත් ඵලදායිවන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන්ද, ඉල්ලා අස්වීමෙන්“ බවයි. මෙම අදහස් පළකිරීම් දෙක අතර පවත්නා හිස් අවකාශය යනු මේ මොහොතේ දේශපාලනයේ සක්‍රීය භූමියයි. වෙනත් අයුරකින් කිවහොත් 2020 ජනාධිපතිවරණයේ ක්‍රියකාරී සැලැස්ම (action plan)ස්ථාන ගතවීම ආරම්භ වී ඇත්තේ මෙම අවකාශය තුළය.

                    
         

2015 ජනවාරි 08 වන දින පැවති ජනාධිපතිවරණයෙන් රාජපක්ෂ රෙජිමය ගෙදර යැවීමට පුරෝගාමී වූවන් අතර රතන හිමියන්ද වැදගත් චරිතයකි. තිරයෙන් පිටුපස විශාල වැඩ කොටසක්ද, තිරය ඉදිරිපිට සුළු වැඩ කොටසක්ද උන්වහන්සේ විසින් ඉටුකරනු ලැබූ බව සත්‍යයකි. රතනහිමියන්ගේ දේශපාලනාගමනයට දිගු ඉතිහාසයක් ඇතත් මහින්ද රාජපක්ෂ යුගයේදී උන්වහන්සේ විසින් ඉටුකරනු ලැබූ කාර්යභාර්ය අමතක කළ නොහැකිය. කැබිතිගොල්ලෑව බස් බෝම්බය පුපුරන අවස්ථාව වනවිටත් යුද්ධයකට තල්ලුවීමට සූදානමක් නොතිබුණු මහින්ද රාජපක්ෂව යුද්ධයකට තල්ලුකිරීමේ වැඩපිළිවෙළේ පුරෝගාමියෙකු ලෙසද උන්වහන්සේ කටයුතු කළ බව නොරහසකි. " ගහන්න ගහන්න කියලා ඔක්කොම උපදෙස් දෙනවා ලබ්බෙන්ද ගහන්නේ කියලා නගුට පුකේ ගහගෙන එතුමන්ලා පුටුව යට හැංගෙනකොට, බල්ලා නාවන්න ගෙනියනවා වගේ බලෙන් යුද්දෙට දක්කන් ගියේ රතනලා  බැව්“ පිළිගත යුතුය. වෙනත් විදිහකට කියන්නේනම් ‘මාවිල් ආරු සොරොව්වෙන් වතුර දෙන්න බැරිනම් අපි ගිහින් සොරොව්ව අරිනවා‘ කියලා සොරොව්ව බේරගන්න හමුදාබලය යොදවගන්න එදා නායකයට තර්ජනය කරන්න තරම් හයියක් චම්පිකලාට, රතනලාට තිබුණු බැව් අප විසින් අමතක කළ යුතු නොවේ. එහෙව් චම්පිකලා, රතනලා ජාතිවාදය කරපින්නා ගනිමින්, යුද්ධයටම ආවඩමින් වඩාත් දක්ෂිණාවර්ථිකව තම දේශපාලන වක්‍රය අඳිනවිට නූතන වම ලෙස ආධිපත්‍ය දරමින් සිටි ජවිපෙට හෙළ උරුමයටත් වඩා ජාතිවාදී හා දක්ෂිණාංශික වෙමින් තම වක්‍රය අඳින්නට සිදුවිය. වඩාත් අර්බුදයකට ගමන් කරනු ලැබුවේ ජවිපෙයයි. තමාට අහිමිවන ඡන්ද පදනම රැක ගැනීමට හෙළ උරුමයටත් වඩා මීටර් සිය ගණනකින්  දක්ෂිණාංශිකව කැරකීමට ජවිපෙට සිදුවූ අතර තම සතුරා මිතුරා සොයාගැනීමට පවා නොහැකිව රාජපක්ෂගේ කරට අත දා ගනිමින් “වාම කොටි-සාම කොටි-මාධ්‍ය කොටි පරදවමු“ කියා පෝස්ටර් ගැසීමට ඔවුන්ට සිදුවිය. තමා විසින් රතනලාට වෙට්ටු දාන්නට ගොස් වැටුණු අමාරුව තේරුම් ගැනීමට ජවිපෙට තවත් සෑහෙන කාලයක් ගතවිය. අන්තිමට රාජපක්ෂලා ඊනියා යුද ජයග්‍රහණයේ පොල්මංකාරයින් වූ අතර විරෝ පට්ටම් ගහගෙන අයින් වෙන්නට ජවිපෙටත්, රතනලා ප්‍රමුඛ හෙළ උරුමයටත් සිදුවිය.









                                                                                දැන් රතනහිමි විසින් දමා ඇත්තේ තවත් මුට්ටියකි. මෙවර මුට්ටියේ අරමුණ කුමක් විය හැකිද? රතනහිමි විසින් මුට්ටිය දමන්නේ මෛත්‍රී පොදු අපේක්ෂකයා ලෙස බලයට පත් කොට එලෙස බලයට පත්කිරීමේ අරමුණු වලින් සියයට පනහක්වත් මුදුන් පමුණුවා ගැනීමට නොහැකිවූ තත්ත්වයක් තුළය. එනම් තමන් විසින් දරදිය අදින ලද නමුත් ඵලක් නොවූ ව්‍යාපෘතියක අවුරුදු දෙකක කාලයක් නිස්කාරණේ ගත කිරීමෙන් පසුවය. මෙම මුට්ටියේ අරමුණ පැහැදිලි කර ගැනීමට කළ යුත්තේ හාහා පුරා කියා උන්වහන්සේ විසින් ප්‍රකාශයට පත් කළ ඊනියා ස්වාධීනත්වයේ මාධ්‍ය හමුව තුළිනි. එහිදී උන්වහන්සේ කළ කී දෑ තුළිනි. අදහස් උදහස් බොහෝ ප්‍රමාණයක් මෙම මාධ්‍ය හමුවේදී උන්වහන්සේ විසින් බෙදාහදා ගනු ලැබුවද ඒ සියල්ල සම්පිණ්ඩනය කිරීමේදී මූලික කරුණු දෙකක් පාදා ගත හැකිය. එයින් එකක් වන්නේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය විසින් යළි ගොඩඑන්නට තටමන ජාතිවාදී, ආගම්වාදී, අන්තවාදී සටන්පාඨ වලින් අඩක් රතනහිමියන් විසින් තමන්ගේ පුරුදු දේශපාලන දෘෂ්ටිවාදයේ තබා ගැනීමය.  ‘විදෙස් අත පෙවීම් එපා, ඒකීය රට, බුදු දහමට නිසි තැන, සංස්කෘතිය ආරක්ෂා කිරීම, බෙදුම්වාදයට හිස එසවීමට නොදෙව්, ව්‍යවස්ථා මර උගුල‘වැනි දෑ ඊට අඩංගුය. ඒ අනුව අඩංගුවේ පවත්නා මෙම සටන්පාඨ හරහා රාජපක්ෂවාදීන් ද, ශ්‍රීලනිපයේ ජාතිවාදී, ආගම්වාදී පිරිස් මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් තමා වෙත දිනාගැනීමට හැකිවෙතැයි රතනහිමියන් කල්පනා කරනු ඇත. අනෙක් අතට රතනහිමියන් දූෂණයට, වංචාවට විරුද්ධය. ඒ අර්ථයෙන් ජනවාරි 8ට පෙර සිහිනදුටු ‘යහපාලන ප්‍රතිපත්ති‘පිළිබඳ තව දුරටත් විශ්වාසය තබා ඇති පිරිස් ආකර්ශනය කර ගැනීමට තමාට හැකිවෙතැයි උන්වහන්සේ කල්පනා කරනු ලබන්නේ නම් ඒ පිළිබඳ අප පුදුමයට පත්විය යුතු නොවේ. ‘ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරනු ලැබුවද, විගණන කොමිෂන් සභාව හා ප්‍රසම්පාදන කොමිෂන් සභාව ස්ථාපිත කිරීමට තවමත් හැකියාවක් ලැබී නොමැති බවටත්, යුද්ධය ජයග්‍රහණය කරනු ලැබුවද, උතුරේ ජනයා දිනාගත හැකි වැඩපිළිවෙළක් මේ රජයට වුවද නොමැති බවත්, ඒ සඳහා ජාතික වැඩසටහනක් අවශ්‍යව ඇති බවත් එදින රතනහිමියන් අවධාරණය කරනු ලබන්නෙ එහෙයිනි. එතෙකුදු නොනැවතී පැරණි හෙළ උරුමයේ ජාතිවාදී අදහස්වලට සපුරා එරෙහිව යමින්
උතුරේ ජනයාට වගා කටයුතු සඳහා ඔවුන්ගේ ඉඩම් ලබාදිය යුතුව ඇති බවත්, ඒ සඳහා ඉඩම් කොමිෂන් සභාවක් ක්‍රියාත්මක කිරීම වඩාත් සුදුසු බවත් රතනහිමියන් පෙන්වාදී තිබුණි. මේ ආකාරයෙන් අංශය අනූවක් නැමෙනසුළු අදහස් මගින් වමේ පිරිස්ද, ශ්‍රීලනිප ෆෙඩරල්වාදීන්, ප්‍රගිතිශීලින්, සිවිල් සමාජය දිනාගැනීමට හැකිවෙනු ඇතැයි උන්වහන්සේ කල්පනා කරනු නිසැකය. කෙටියෙන් පැවසුවහොත් රතනහිමියන් විසින් මේ මොහොතේ උපක්‍රමයක් ලෙස ‘සිංහයන් සමග දඩයමේ යමින් හාවුන් සමග සෙල්ලම් කිරීම‘ ආරම්භ කර තිබේ. එම ක්‍රියාව සඳහා   ඕමල්පේ සෝභිත හිමියන් කියූ ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්විය නොහැකිය. මන්ද එලෙස ඉවත් වුවහොත් මෙම දෙපාර්ශවයේම ඉලක්කගත පිරිස් විසින් තමාව නොසලකා හරින බව රතනහිමියන් අන් හැමටත් වඩා තම දේශපාලන ඉතිහාසයෙන්ම උගෙන ඇති බැවිනි.




                            ස්වාධීනත්වය ප්‍රකාශ කිරීමෙන් පමණක් මින් ඉදිරියට නිහඬව සිටීමට රතනහිමියන්ට හැකියාවක් නැත. තම පැවැත්ම සඳහාද, කේවල් කිරීමේ බලය වැඩිකර ගැනීම සඳහාත් මුලින් කී ආකාරයට දූෂණ විරෝධී ප්‍රගිතිශීලි පිරිස් මෙන්ම ජාතිවාදී ආගම්වාදී පිරිස්ද වැඩි වශයෙන් තමා වෙත දිනාගැනීමට උන්වහන්සේට සිදුවනු ඇත. ඒ සඳහා සතියකට වරක් මාධ්‍ය හමුවක් පැවැත්වීම පමණක් ප්‍රමාණවත් නොවේ. ප්‍රසිද්ධ රැස්වීම්, පෝස්ටර් ව්‍යාපාර, ඊනියා සිවිල් සමාජ නියෝජිතයින් හරහා සම්මන්ත්‍රණ, උද්ඝෝෂණ ව්‍යාපාර ආදිය සංවිධානය කිරීමට ද උන්වහන්සේට සිදුවේ. මේ සියල්ල තනිව සිදුකිරීමේ හැකියාවක්ද උන්වහන්සේට නැත. ඒ නිසාම අන්ත දෙකක මැද්දේ සිටගෙන දෙපාර්ශවයෙන්ම හොඳ හිත දිනාගැනීමද අතිශය වැදගත්ය. එසේ නොවුණහොත්  ‘වස විසෙන් තොර‘වගාවක් සඳහා ගෙනගිය වැඩපිළිවෙලට වූ දෙයම මෙම දේශපාලන හැරවුමටත් සිදුවීම නොවැළැක්විය හැකිය.




                         රතනහිමියන්ගේ ක්‍රියාකලාපයේ හා වැඩපිළිවෙලෙහි අවසන් අරමුණ කුමක් විය හැකිද? එය අනිවාර්යෙන්ම 2020 ජනාධිපතිවරණයයි. තමාගේ බලපෑම් කිරීමේ හැකියාව ඉහළ අගයක තබා ගනිමින් අපේක්ෂකයාගේ ජයග්‍රහණයට තල්ලුවක් දීමත්, ඒ ආනිසංසයෙන් තමාට වරප්‍රසාද දිනා ගැනීමත් විය හැකිය. අපේක්ෂකයා ‘චම්පික රණවක‘ විය හැකියයි ද, චම්පිකගේ මුට්ටිය රතනහිමියන් විසින් දමා බලා ඇති යයිද බවට පළවන අදහස් උදහස්ද නැතුවා නොවේ. එය එසේම යයි අනුමාන කරන්නට තරම් සාක්ෂි මේ මොහොතේ හිඟය. අනෙක් අතට රතනහිමියන්ද දිගු කාලීන, ස්ථාවර ප්‍රතිපත්තියක පිහිටා සිටින්නෙක් නොවේ. පටිසෝතගාමීව මෙන්ම අනුසෝතගාමීවද , පොදු දේශපාලන න්‍යාය පත්‍රවල මෙන්ම පටු දේශපාලන අරමුණු සමගද කටයුතු කළ ඉතිහාසයක් උන්වහන්සේට හිමිය. එහෙත් දේශපාලන පිටියේ කොතැනක කවුරුන් සමග ක්‍රීඩා කළද, රතනහිමිගේ භූමිකාව සුළු කොට තැකීම නොකළ යුතු බැව් අපගේ හැඟීමය.


Saturday, January 14, 2017

ප්‍රංශයෙදි දළු දාන වෙඩ්ඩ පුතාගේ රත්මලානෙ කතා

ඓතිහාසික අර්ථයකින් ගත් කල්හි කලාව පහළවූයේ යථාර්ථය ඥානනය කිරීමේ උපකරණයක් හැටියටය. ඉපැරණි ගුහා සිත්තම් දෙස බලනු මැනවි. ඒවායේ කුමක් ගැබ්වේද, වන සතුන්ගේ මංහසර හැසිරීම් ක‍්‍රම, කපටිකම්, කාය සංයුතිය යනාදිය සම්බන්ධව ආදි මිනිසාගේ අවබෝධය ගැබ් නොවේද? කලාවේ මේ ඓතිහාසික ඥානික වටිනාකම අද දක්වාම නොනැසී පවතී. (සුචරිත ගම්ලත්, සාහිත්‍යකලා ආදිය ගැන-පිටුව 87).



මංජුල වෙඩිවර්ධනගේ ‘‘ දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා ’’ කියවමින් යනවිට ගම්ලත්ගේ ඉහත ප‍්‍රකාශය යළි සිහිපත් වන්නේ ඇයි? වෙඩිවර්ධනගේ කෘතිය පුරාම රත්මලාන කේන්ද්‍ර කරගත් ඒ අවට කාලයක් සැරිසැරූ චරිත යළි යළිත් හමුවෙයි. ලාංකීය පවුල තුළ දරුවාට ලැබුණු අනන්‍යතාව පවුලෙන් පිට සොයන වකවානුව ‘‘ වළ බැහීමේ ’’ හෙවත් ගැන්සි බැහීමේ යුගයයි. පවුල් පසුබිම, කොළඹට පවත්නා දුර, සංස්කෘතික අවතැන්වීමේ ස්වරූපය, හෙටක් නැති හෙට දවසක් වෙනුවෙන් රොද බ`දින බලාපොරොත්තු සියල්ල මේ යුගයේ පයේ හැපී හැපී අතුරුදහන්වීමට නියමිතය. අනන්‍යතාව මහපාරේ හොයන තාරුණ්‍යයට රත්මලානේ වළ බහින්නන්ට ඒ වෙනුවෙන් ඉඩක් සමාජ, ආර්ථික, දේශපාලනික වටපිටාව විසින් තවදුරටත් ඉතිරි කරඇත්දැයි නොදනිමි’. එහෙත් එවැන්නක් පැවති බවට ජීවමාන සාක්ෂියක් ලෙස මෙම නිර්මාණ සමුච්චය හැ`ගීම් පාරන බව සත්‍යයකි.

‘‘ හීන දැක දැක ඉඳලා හීන එක්කම නැ`ගිට්ටහම මේකෙ ඇ`ගිල්ල ගහල රවුම කෙලින් කරගන්නවා. මම ලෝකෙ දකින්න පුරුදු වුණේ මේ හිල ඇතුළෙන්. ඒකෙන් තමයි මම පුරුදු වුණේ අවශ්‍ය තැනට ඇහැ නාභිගත කරගන්න. අවශ්‍ය දේ අනවශ්‍ය දෙයින් වෙන්වෙලා වෙනම මතුවුණා ඇස් ඉස්සරහ පිට. අපරාදෙ කියන්න බෑ, ඩැඩා කියන නොසන්ඩාලයා කුණු මළ පෙරේතයෙක් නෙමේ. කුම්මැහියෙක් නෙමේ.ඌ ලෝස් නෑ. මොණර පිහාට්ටට වියදම් කළා. මට තිබුණේ පොත් ගිලින්න. සූත‍්‍ර ගිලින්න, ශාඛ ගිලින්න, සත්තු ගිලින්න. පෙති ගිලින්න. බඩ පිරුණම රෙන්න. ඔලූව කැරකෙනකොට නදිදාගන්න. මෙන්න මේ ඌරචක‍්‍රමාලෙ බෙල්ලෙ එල්ලගන්න කල් මට තිබුණෙ මෙච්චරයි ’’(පිටුව-70).

                   ‘‘ ඔහු සූප්පුව උරන එක නැවැත්තුවා ’’ නම් කෙටිකතාව පුරාවටම සූප්පුව නම් සංකේතීය ඇම ඔසවා දරාගත්තෙකු විසින් ව්‍යාජය හා සැබවින්ම පය ගසා සිිටින්නට සිදුව ඇති මහපොළොවේ යථාර්ථය සමග පවත්නා නිරන්තර ගැටුම මැනවින් චිත‍්‍රණය කරයි. නිර්මාණයකින්, කලාවෙන් යථාර්ථය ඥානනය කරන බැව් සැබෑවක් වුවද, යථාර්ථය යන්නද, ගල්ගැස්වූ ස්ථිතික යමක් නොව හිඩැස් දෘශ්‍යමාන නොකරන තරමට සූක්ෂමව වියන ලද වස්ත‍්‍රයක් මෙනි. ප‍්‍රබන්ධයකි. එමගින් හෙලූව වසනු හැකි බව සැබෑය. ඒ තරමටම යමක් නිරාවරණය කරන බවද සැබෑය. මාත් රොත්කෝගෙ සිතුවම් සම්බන්ධයෙන් කියවීමකදී ස්ලෙවෝජ් ශිෙෂෙක් පෙන්වාදෙන අන්දමට ප‍්‍රබන්ධ විසින් අපගේ යථාර්ථය හැඩගන්වනු ලබයි. යථාර්ථය නියාමනය කරනු ලබන සංකේතීය ප‍්‍රබන්ධ ඉවත් කළ විට ඔබට යථාර්ථයම අහිිමිවීමට නියමිතය. මේ අරුතින් සූප්පුවේ සංකේතීය වටිනාකම යථාර්ථයක් ලෙස බාරගෙන කෙටිකතාව කියවීමට, ඒ හා අනන්‍යවීමට මෙන්ම එදිනෙදා ජීවත්වීමටද කතුවරයා අපට ආරාධනා කරයි.

                            ‘‘ දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා ’’කෘතියේ එන නිර්මාණ කිසිවක් ඒකමාන නොවේ. නිදසුනක් ලෙස ‘‘ දුස්ටකමේ සවුන්දර්ය’’ නම් කෙටිකතාවේ ආකෘතිය හා අන්තර්ගතය යනුවෙන් දෙකක් නොමැත. හින්දි චිත‍්‍රපටයක් වන අන්ජාම් වෙත ආශක්තවවු කථකයා එහිම චරිත සමග අනන්‍යවෙමින් චිත‍්‍රපටයටත්, වඩා චිත‍්‍රපටයක් වූ තම අත්දැකීම කතන්දර කීමක් බවට පත්කරයි. මොහොතකින් චිත‍්‍රපටයේ චරිත අතහැරී ඒ වෙනුවට කථකයාගේ චරිත වටා කතාව විකාශය වී සංසිද්ධි ඇමිණිමක් වෙනුවට සංසිද්ධියම පාඨකයා අමුණන හුය බවට පත්කෙරෙයි.
‘‘ බුද්ධදාසට තිබ්බෙ ක්ලීටස් මෙන්ඩිස්ගෙ වගේ ගිරා නහයක්. ඇස් දෙක පූජිත් මෙන්ඩිස්ගෙ වගේ එළියට පැනලා. හැබැයි ඇස් දෙකේ බැල්ම නාලන් මෙන්ඩිස්ගෙ වගේ මාර ෂාප්. බුද්දෙ මහ ලොකු උසක් නැති වුණාට දැම්මෙ හයේ හතර ගමන. ඌ ඇවිද්දෙ ලක්ෂ්මන් මෙන්ඩිස් වගේ ස්මාට් එකට.මාර දේශපාලනපෙනුම. වමේ පෙනුම. හිනාව නම් ආයෙ දෙකක් නෑ, ශ‍්‍රියන්ත මෙන්නඩිස්ගෙ. ’’(පිටුව.142).

                     අක්ෂර වලින් මවන චිත‍්‍රයක් හෙවත් කැලිග‍්‍රැපියක හරස්කඩක් වෙඩිවර්ධනගේ මෙම කෘතියේ මෙහෙව් සෑම නිර්මාණයකම පාහේ හමුවන බව කිය හැකිය. බොහෝ වචන නාස්ති කිරීම වෙනුවට එක වැකියකින් දිගු බර කතාවක් ගොනු කළ අවස්ථා මෙහි නිර්මාණ අතර බොහෝය. ‘‘ නංගීට අඩු වයසින් තටු ලැබී බිම වැටී බඩ වනතුරුම අප උන්නේ ඒ ගෙදරය.’’( පිටුව-42). අනෙක් අතට මේ සෑම නිර්මාණයකම මුල-මැද-අග එකට කියවන අතර ඒ එකිනෙකට සම්බන්ධ අන්තර් කියැවීම් කිහිපයකටම මංපෙත් විවර කර තිබීමද අගය කළ යුත්තකි.


                              කෘතියේ ‘‘ පාන්තර වනතුරුම අද ?’’, ‘‘ ආදම් හමුවීම’’, ‘‘ ඔහු සූප්පුව උරන එක නැවැත්තුවා’’, ‘‘ විප්ලවීය කෙට්ටු අතක ස්පර්ශය’’, ‘‘ දුස්ටකමේ සවුන්දර්ය’’, ‘‘ බුනීල පෙති හුළෙ`ග ගියා’’, ආදී වශයෙන් නිර්මාණ 6ක් අඩංගුය. ඒ කිසිවකට ඊටම අනන්‍යවූ සුවිශේෂත්වයක් නොමැතිව සියල්ල එක් තැන් කළ මහා පොදු ගුණාකාරයක් ඇත. එය නම් ඉහ වහා ගිය රස්තියාදුවත්, කොලය වසා ගැසූ ජීවිත සූදුවත්ය. ඉතිහාසය ලීවේද, ලියවෙන්නේද යම් යම් කැමති දෑ ඇතුළත් කරමින් හා අකමැති දේ පිටමං කරමිනි. එකී කැමැත්ත යනු අවිහිංසක ප‍්‍රාර්ථනයක් නොව දේශපාලනික ගොඩනැංවීමකි. අත්දැකීමක්, නිර්මාණාත්මක ප‍්‍රකාශනයක් බවට පත්වන විටත් මේ සන්තෑසියම සිදුවීමට නියමිතය. එහෙත් රත්මලානේ කතා හුදු වාගාලාප නොවී කෑගල්ලේ උන්ටත් දැනෙන, මහනුවර උන්ටත් දැනෙන තැනක තැබීමට කතුවරයාට හැකිවී තිබේ. එයට තැබිය යුතු නම ‘‘ නිර්මාණ ශක්‍යතාව ’’ හෝ ‘‘ ලාංකේය පොදු සංස්කෘතික අවවර්ධිතභාවය ’’දැයි නොදනිමි. ජීවිතයම අර්ධ සත්‍යයක් වූ කල මේ සැබෑ ජීවන අත්දැකීම්දැයි අප විසින් කතුවරයාගෙන් නොඇසිය යුතුය.

‘‘ ඇතැම්විට මේ පඩත්තල වැඬේ පිටුපස සිටින්නේ බුදු රූබෙ හා බුදු රූබෙගෙ උම්මා වන්නට පිළිවන. ඇය ජීවිතවේ තුනෙන් දෙපංගුවක්ම ගත කර ඇත්තේ බෝ පත් සිරි සිරියේය. ඇය බෝධීන් නැවූ කලගෙඩි ගණන ගණනය කර බැලූවහොත් මුලූ රත්මලානටම සතියක් නාන්නට හැකි තරම් වතුරකි. ඇය දැන් සිටින්නේ ටිකක් අබල දුබලවය. බුදු රූබෙටත් දැන් අම්මා බලාකියාගන්නට එහෙමට කාලයක් නැත. ඌ කප්පරක් තරමට පිං අතේ වැඩය. බෝධි පූජාය. වන්දනා ගමන්ය. ගිහි පිරිත්ය. ඌට බුදුන් ව`දින්නවත් වෙලාවක් නැති තරමට බුදු අතේ වැඩය’’(පිටුව-101).

                          බුදුන් වඳින්නට හෝ වේලාවක් නැති බුදු අතේ වැඩ නිසා දෛනික ජීවිතය දැඩි කාර්යබහුල වී ඇති පිරිස් ෙඩිවර්ධනලා වළ බහින කාලයේ සිටියේ අතේ ඇඟිලි ගාණටත් අඩුවෙන් විය හැකිය. එහෙත් මේ යුගයේ එය රටේ ජන ගහණයෙන් අඩකටත් වඩා වැඩි වී ඇත්දැයි සැක සිතෙන තරම්ය. පිටුවහලේ ජීවිත නොස්ටැල්ජියාවේ ගිලෙන තරමට නිර්මාණාත්මක අස්වැන්න සරුය. ගමෙන් කොළඹට සේන්දුවී ගම ගැන ලියන ලියවිලිවලට වඩා බරය. සනත් බාලසුරිය විසින් ‘‘ මරණයේ සෙවනැල්ල යට නිදා සිටි පූස් පැටියා ’’ ලියා පළකරනු ලැබුවේ 2013 දීය. මෙම කෘතිය පළවන්නේ 2016දී වන අතරම සියලූම නිර්මාණ 2010න් පසුව ලියැවුණු ඒවා බැව් පැහැදිලිය. එය එසේ වන්නේ මන්දැයි යන්න අර්ථ ගන්වා ගැනීම වෙනම සාහිත්‍ය කලාපයකට අයිතිය. එබැවින් මෙම කෘතිය මෑත යුගයේ පාඨක/ විචාරක අවධානයට ලක්විය යුතු කෙටිකතා සංග‍්‍රයක් බැව් පමණක් අවසාන වශයෙන් සටහන් කර තැබීම වඩා සුදුසුය.






 (2016-01-15 වන ඉරිදා දින රාවය පුවත්පතේ පළවිය. මාතෘකාව පමණක් වෙනස් කර ඇත.)

Wednesday, January 11, 2017

විමල් ඇතුළේ- ඔබට සතුටුයිද දැන්?


      විමල් වීරවංශ මේවන විට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය.  ඒ දින කීයකටදැයි නිශ්චිත ලෙස කිව නොහැකිය. කෙසේ වෙතත් දැනට අධිකරණය විසින් නියමවී ඇති ආකාරයට ජනවාරි 24 දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගතව සිටිය යුතුය. ඔහු හෙට දවසේ මෝසමක් මගින් ඇප ඉල්ලනු ඇත. ඇතැම්විට ලැබෙනු ඇත. එසේත් නැතිනම් රෝගාබාධයක් ඇති බව පවසා හොර වෛද්‍ය සහතිකයක් හෝ ඉදිරිපත් කොට රෝහල් ගතවීමක් වුවද සිදුවිය හැකිය. කුමක් සිදුවිය හැකි වුවද ඔහුගේ රිමාන්ඩ් බන්ධනාගාරගතවීම සම්බන්ධයෙන් ඇතැමුන් කරන කතා බහ අතිශයෝක්තියකි. ඒවා “ඔන්න හොරා අපි ඇතුළට දැම්මා“වගේ ආඩම්බර කතාය. එහෙත් මෙම කතාවලට එතරම් ආයුෂ තිබෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. මන්දයත් මේ ආකාරයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ බැසිල්, නාමල්, ටිරාන්, ආදීන් ඇතුළට ගිය වේගයෙන්ම යළි එළියට පැමිණීම දකින්නට ලැබුණු නිසාය.

                  විමල්ගේ රක්ෂිත බන්ධනාගාර ගතවීම මගින් සමාජයට දනවනු ලබන පණිවිඩය කුමක්ද යන්නය. හෙතෙම අත්අඩංගුවට පත්වීමට පෙර දිනයේ ඒ පිළිබඳ ආරංචි ඔහුට ලැබී තිබුණි. ඒ නිසාම තමා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බැවින් පසුදින අලුත්කඩේ උසාවි සංකීර්ණය අසළට පැමිණ ඊට විරෝධය දක්වන ලෙස තම අනුගාමිකයින්ට දැනුම්දෙනු ලැබීය. එසේම නියමිත දින ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට යාමට මොහොතකට පෙර එය ඉදිරිපිටදී මාධ්‍යයට ප්‍රකාශයක් ලබාදෙමින් තමා අත්අඩංගුවට ගැනීමට නියමිත බව පවසන ලදී. ඒ විතරක් නොව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදේශගතවීමට මත්තෙන් තමා අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාට උපදෙස් ලබාදුන් බවටද ඔහු චෝදනා කළේය. අපේක්ෂා කළ පරිදිම ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී ඔහු විසින් පූර්වයෙන් සැලසුම් කළ පරිදි අධිකරණභූමියේ ඔහුට සහය පළකරමින් අධිකරණයට හා ජනාධිපතිවරයාටද, අග්‍රාමාත්‍යවරයාටද, පොලීසියටද අපහාස කරමින් විරෝධතා දක්වන්නට ඔහුගේ අනුගාමිකයින් විසින් කටයුතු  කරන ලදී. විශේෂයෙන්ම මෙහිදී ජනාධිපතිවරයාට ඉතාම පහත් ආකාරයෙන් පරුෂ වචනයෙන් බැණ වදින වයසක ආච්චි කෙනෙකුන්, කුඩා දරුවන් ආදීන්ද දක්නට ලැබුණි.

                    ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වන විට පාපැදියක්වත් නොතිබුණු බව කියන, පාසල් අධ්‍යාපනයෙන් 9 වන ශ්‍රේණිය පමණක් සමත්වූ, සීගිරි පවා යන්නට අවස්ථාවක් නොලැබුණු බවට අදෝනා කියූ හෙතෙම ඉතා කෙටි කලක් තුළ කෝටිපතියෙකු බවට පත්ව සිටියේය. ඉකුත් රාජපක්ෂ පාලන සමයේ ඔහුට වාසනාව පෑදී තිබුණේ හිටපු පාලකයා “අපේ හාන්දුරුවනේ මං ගාව ෆයිල් තියෙනවා.“කියමින් අදාළ ලිපිගොනු ළඟ තබාගෙන නමුත් කිසිදු දූෂිතයෙකුට එරෙහිව පියවර නොගැනීම නිසාය. තවදුරටත් එම වංචා, දූෂණ සිදුකරන්නන්ට තම රැකවරණය ලබාදීම නිසාය. පසුගියදා එළියට පැමිණ තිබුණේ එහෙව් එක් ලිපි ගොනුවක් පමණි.


                         රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය, විශ්වාසය කඩ කිරීම, වංචා කිරීම ආදී චෝදනා සහ ඊට අනුබලදීමේ චෝදනා යටතේ  වීරවංශට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ අංක 100, 102, 113, 388, 389, 400 යටතේ චෝදනා ගොනු කර තිබේ. එසේම  මුදල් විශුද්ධි කරන පනත යටතේ  අංක බී/3088/2016 දරණ බී වාර්තාව මගින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අධිකරණයට කරුණු දක්වා ඇත. විමල් අත්අඩංගුවට ගැනීම හෝ රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් ප්‍රවෘත්ති පළකරන රටේ ජාතික නාලිකා මෙම චෝදනාවල සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට කැමරාව ඇල්ලීමට උත්සුක නොවේ. ඒ වෙනුවට තමන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවට ඔහු කරන ප්‍රකාශය, ඉන්පසු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී දියණිය, බිරිඳ ඇතුළු ඥාතීන් හඬා වැළපෙන අයුරු, ඉක්බිතිව ඊට එරෙහිව ඔවුන් විසින්ම සංවිධානය කරන ලද ආධාරකරුවන්ගේ විරෝධතා, අවසාන වශයෙන් මෙම කටයුත්ත ‘දේශපාලන පලිගැනීමක්‘ බව අවධාරණය කරමින් එය හෙලාදකින ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඇඟේ මයිල් කෙලින් වන විදිහේ ප්‍රකාශ කෙරෙහි පමණක් ප්‍රධාන ධාරාවේ ප්‍රවෘත්තිවල කාලය වෙන්කර තිබුණි.


                                    වීරවංශ විසින් තම ඥාතීන්ට සහ හෙංචයියන්ට  භුක්ති විඳීමට ලබා දී තිබූ රජයේ වාහන ගණන එකක් දෙකක් නොව 37 කි. එයින් ඒ ඥාතීන්ට වාහන 05 ක්ද, ජනිපෙ හෙංචයියන්ට වාහන 10 ක්ද, තම කාර්ය මණ්ඩලයට කියා පිටතින් බඳවා ගත් නමුත් ඔවුන්ගේ තනතුරු අනුව වාහනයක් පාවිච්චි කිරීමට කිසිදු නීත්‍යානුකූල හිමිකමක් නැති නිලධාරීන් 22 ටද වාහන ලබාදී තිබුණි. මේ සම්බන්ධයෙන් ලැයිස්තු ඇතැම් වෙබ් අඩවිවල පළවී තිබේ.
වීරවංශ තම ඥාතීන් ට ලබා දී තිබූ මෝටර් රථ මෙපරිදිය.

1. විමල් වීරවංශගේ අක්කා වන සුමනාවතී වීරවංශගේ බාල පුතා වන රිද්ම විමුක්ති ට අංක GO 4894 දරණ මෝටර් රථය.

2. විමල් වීරවංශගේ අක්කා වන සුමනාවතී වීරවංශගේ වැඩිමහල් පුතා වන ලලිත් පුෂ්පකුමාරට අංක GK-5073, KD-4049, KB-7053, KW-6956, GK-5073, KP-4802 දරණ මෝටර් රථ.

3. විමල් වීරවංශගේ බිරිඳගේ අක්කා වන තනුජා නිශාන්තිගේ ස්වාමි පුරුෂයා වන බෝඹුවල දිසාවගේ ආනන්ද අශෝක කුමාරට අංක KB-6038, HQ-4974, GR-5774, KI-4648, KA-7440 දරණ මෝටර් රථ.

4. විමල් වීරවංශගේ බාල සහෝදරිය වන නිලානි වීරවංශගේ ස්වාමි පුරුෂයා වන පල්ලෙපේරු ගමගේ ආනන්ද ප්‍රියදර්ශනට අංක GY-4635 දරණ මෝටර් රථය.

5. විමල් වීරවංශගේ බාල සහෝදරිය වන නිලානි වීරවංශට JN-8058 දරණ මෝටර් රථය.

මෙලෙස වාහන පාවිච්චි කර ඇති රිද්ම විමුක්ති වීරවංශ, ඕෂන් වීව් ආයතනයේ ව්‍යාපෘති නිලධාරියෙකු ලෙසද, ලලිත් පුෂ්ප කුමාර විමල්ගේ අමාත්‍යාංශයේ කළමනාකාර සහකාර වරයෙකු ලෙසද, වී.ඩබ්. ආනන්ද අශෝක ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන ආරක්ෂක ලෙසද, පී.පී. ආනන්ද ප්‍රියදර්ශන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සිව් දෙනා මෙම මෝටර් රථ භාවිතා කරනු ලැබ ඇත්තේ එම නිලයන්ට වාහන පාවිච්චි කිරීමට නීත්‍යානුකූල අයිතියක් නොමැතිව තිබියදීය.

                                                අනෙක් අතට  විමල් ගේ බාල සොයුරිය වූ නිලානි වීරවංශ කිසිදු රාජ්‍ය ආයතනයක කිසිදු තනතුරක් දරා නොමැත. එසේ වුවද ඇයගේ භුක්තියටද මෝටර් රථයක් ලබාදී තිබේ. ඔහු විසින් පක්ෂයේ ආධාරකරුවන්ට හා මිත්‍රයින්ට ලබාදී තිබුණු මෝටර් රථ ලැයිස්තුව මෙපරිදිය.

1. ලාල් කුලරත්නට - HK-8877, KT-2884
2. පියසිරි විජේනායකට - JN-5767, KK-3081, 64-3225, HA-2189, KA-4685,
3. කේ.ඩී.යූ ජයසේනට - KO-5871
4. ඩී.වී.ඒ. ජයවර්ධනට - KM-0882
5. එල්.සී කුමාරට - 54-5678
6. විරාජ් සංජීවට - KT-6089
7. නුවන් ඉන්දික -  KA-8125, 32-9390
8. පී.එස්.විජේසිරි හෙවත් දම්පාල - HR-7619, HN-4098
9. චානක ට - GI-0001
10. නිශ්ශංක ට - GF-0887


වීරවංශගේ කාර්ය මණ්ඩලයට කියා පිටතින් බඳවා ගත් නමුත් ඔවුන්ගේ තනතුරු අනුව රජයේ මෝටර් රථයක් භාවිතා කිරීමට හිමිකමක් නොමැති මෝටර් රථ ලාභී ලැයිස්තුව මෙපරිදිය.
 ඒ අය අතර සිංහල රාවයේ නායක ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ද, ලංකාදීප පුවත්පතේ ප්‍රසන්න සංජීව තෙන්නකෝන් ද සිටිති. ඒවා‘සිංහල රාවය‘යනු කුමක්ද? විමල්ලාගේ තක්කඩිකම් ප්‍රධාන ධාරාවේ පුවත්පත්වල පළනොවන්නේ මන්ද?යන්නට නිදසුන්ය.

1. ඒ.එන්.එස්. මෙන්ඩිස් - මහජන සම්බන්ධතා සහ වෘත්තීය සමිති ලේකම් - KQ-0976, KA-9447, KP-3768, KD-0158, KQ-9762.

2. යූ.ඩී.සංජීව පෙරේරා -මාධ්‍ය ලේකම්/උපදේශක - JO-5953, JE-6557.

3. සිසිර හේරත් - ප්‍රධාන ආරක්ෂකයා (අයිපී) - PC-6171, 252-4908, PC-8430, PF-1277, EA-0260, PE-3626, KD-1494, EA-0004, PF-3770.

4. බී.එම්.ජේ.ටී. මෙන්ඩිස් - කළමණාකාර සහකාර - 65-5231, KI-3053, HR-0800, KG-2376.

5. ජේ.එච්.ආර්.නයනානන්ද - සම්බන්ධීකරණ ලේකම් - KB-4427, JC-2440, KB-8657, JO-5953, CAB-9727.

6. අලගිය හේවගේ සුරේෂ් ඉන්දික - සංවර්ධන සහකාර - 301-2751, HC-2349, JW-3549, KU-9867, 300-2590.

7. බී.ජී.ඉන්දික ප්‍රසාද් - ගිණුම් සහකාර - PC-2896, PC-9097.

8. ඉෂිකා නදී පෙරේරා - කාර්යාල නිලධාරිනී -JR-5354, 300-5690.

9. වෛද්‍ය අචල උපේන්ද්‍ර ජයතිලක - උපදේශක -HC-2048, HI-2658.

10. ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි (සිහල රාවය) - අධීක්ෂණ මණ්ඩල සාමාජික - GJ-7117, KO-6514, JS-9725, HN-2194, PD-2563, CAC-3327.

11. ප්‍රසන්න සංජිව තෙන්නකෝන් (ලංකාදීප මාධ්‍යකරුවා) - අමාත්‍යාංශයේ මාධ්‍ය සම්බන්ධීකාරක - KK-8941.

12. දුෂ්මන්ත අබේසිංහ - පාර්ලිමේන්තු ලේකම් - KE-0231, KR-7730, KA-8125, KS-7735.

13. සම්පත් තිලකරත්න - ලිපිකරු/වැඩබිම් සම්බන්ධීකරණ ලේකම් - JR-5774, KT-9085, KI-1610, KS-0097, KQ-7961.

14. ප්‍රසාද් මංජු - අමාත්‍ය මාධ්‍ය ලේකම් - 250-4713, JY-0359.

15. රංජිත් එදිරිසිංහ - කළමණාකාර පුහුණු/සම්බන්ධීකරණ ලේකම් - JZ-2669.

16. කේ.එල්.එම්. සමරතුංග - පිරිස් කළමනාකරු -HM-6920.

17. රංජිත් ගාමිණී වික්‍රමසිංහ - සම්බන්ධීකරණ ලේකම් - KA-6932, GJ-4501, JN-9942.

                            මේ අයුරින්  රජයේ දේපළ අවභාවිතා කිරීම මගින් රුපියල්  නව කෝටි,  දහසය ලක්ෂ, තිස් පන් දහස් පන්සිය අනූ එකක මුදලක් රජයට පාඩු කර ඇති බව පොලීසිය විසින් අධිකරණයට පෙන්වාදී තිබේ. එහෙත් මෙම චෝදනාව යනු විමල්ට එරෙහිව පවත්නා එක් චෝදනාවක් පමණි.
හොර උප්පැන්න හදා හොර පාස්පෝට් භාවිතා කිරීම,  නිවාස ඇමැතිව හිඳිමින් රජයේ මුදලින් හෝමාගම,  කහතුඩුව ප්‍රදේශයේ තැනූ නිවාස 6 ක් අඩු මුදලට තම ඥාතීන්ට ලබා දීම, නිශ්චිත ආදායමක් නොමැතිව කෝටි ගණනක් වටිනා මාලිගාවක හිමිකරුවෙක් වීම,  කළු සල්ලි සුදුකිරීම, තම නිවසේ තරුණයෙකු අභිරහස් ලෙස මියයාම, අන්තවාදී ජාතිවාදී අසත්‍ය ප්‍රකාශ කරමින් ජාතීන් අතර අසමගිය සහ වෛරය වැපිරීම ආදී තවත් නීතිමය වශයෙන් කටයුතු කළ හැකි චෝදනා බොහෝය. ඒ සියල්ල එසේ තිබියදී සිවිල් සමාජ සංවිධාන මෙවන් දූෂිතයින් සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ මන්ද? ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිසිවක් මෙම කරුණු අනාවරණය නොකරන්නේ මන්ද? හොරකම් හසුවූ විටත් “මගෙ නෙවෙයි. මං දන්නෙ නෑ“යි කියන විට හොර බඩු රාජ සන්තකවී හොරා නිදහස්වීමේ බැසිලියානු සම්ප්‍රදාය ඉදිරියටත් ක්‍රියාත්මක වේදැයි අනුමාන කරන නිසාද? එසේත් නැතිනම් සාධාරණ රැකියාවක මාසික වැටුප පමණක් ජිවත්වීමට ප්‍රමාණවත් නොවීම නිසා ගොඩ ඒමේ එකම මාර්ගය‘ජාවාරම‘බැව් සියලුමදෙනා ඕනවටත් වඩා හොඳින් අවබෝධ කරගෙන ඇති බැවින් හැමෝගෙම ඒකායන ප්‍රාර්ථනාව ජාවාරමකින් “ගොඩඒම“ පමණක් නිසාද? පිළිතුරු සෙවිය යුත්තේ තම තමන්ගේ පපු කැනති වලට තට්ටු කර  බැලීමෙන් පමණි.

-ප්‍රියා-




































Thursday, January 5, 2017

කතුවරයාගේත් පාඨකයාගෙන් ආශාවේ කැලිග‍්‍රැපිය හෙවත් හඳ පළුව හා තනිතරුව

‘‘මම මගේ රටට ආදරය කරමි. එහෙත් රට කෙරේ ඇති මගේ ආදරය වැඩිකමට මම එය හපකරමි’’යයි කීවේ රුමේනියාවේ කොමියුනිස්ට් පාලකයෙකු වූ චෞසෙස්කුය. නැත. එකී කෘර පාලකයාගේ ක‍්‍රියාකලාපය එකී ස්වරූපයක් බැව් අවධාරණය කරනු ලැබුවේ රෙනෙටා සැකල්ය. තමා අතින් පිසූ බුද්ධ පූජාව තම අතින්ම බුදුන්ට කවන්නට ගොස් පිළිමවල හිස කඩාදාන උපාසක අම්මලා ගැන සහන් කසීර විසින් ඉකුත් සතියක තම ‘සත්හඬ‘කොලමේ ලියා තිබෙනු දුටවෙමි.  ඕනෑම දෙයක් (Thing)
 ඊට වඩා දෙයක් (More than it self)  ලෙස අධි භක්තියෙන් යුතුව බාරගැනීමේදී සිදුවිය හැක්කේ මෙයයි. පශ්චාත් යුද ශ‍්‍රී ලංකාවේ ජාතිය හා ආගම පිළිබඳ ඉස්මතුවී ඇති තත්ත්වයන් විසින් හඟවනු ලබන්නේ මෙම යථාර්ථයයි. නිශ්ශංක විජේමාන්නගේ නවතම කෘතිය වන ‘හඳ පළුව තනි තරුව’ ආරම්භය සනිටුහන් වන්නේ මේ ආකාරයෙනි.

‘‘නගරයේ හතරමං හන්දිය දෙසට මුහුණලා සිය යෝද බුුදු බඳ පද්මාසනයක් මත වඩා හිඳුවාගත් ප‍්‍රතිමා වහන්සේ ඒ රත්පත් හැන්දෑවට මුහුණදෙමින් සිටිනා වෙලාවේ ඔහු, අනිල් හිටියේ දැඩි සත්කාර ඒකකයේ විස`ඥ වූ රෝගියෙක් විදියට.
ඉදු දිගැටි නැහැයත්, උන්වහන්සේගේ චන්ද්‍රවංකයක් වන් වූ නළලත්, මුව කමලත් සියල්ල බහින හිරුගේ තාපයෙන් පීඩාවට පත්වෙලයි තිබුණේ. ඒත් මුදු කාන්තිමත් නේත‍්‍රා බැල්ම ධ්‍යානගතව ප‍්‍රතිමාවේ පරිශ‍්‍රයට හැරිලා තිබුණා. ‘‘අපේ බුදු හාමුදුරුවෝ අව්වෙන් වැස්සෙන් ආරක්ෂා කරන වහලය හදන්න ඔබේ ආධාරය දෙන්න’’ කියලා එතැන යෝධ පුවරුවක ලියලා තිබුණා.
ධ්‍යානගත බැල්මෙන් ඉන්න උන්වහන්සේ තව පොඞ්ඩක් ඇස් පියන් උස්සලා බස්නාහිර පැත්ත බැලූවනම්, හරියටම  කිව්වොත් මහියංගණ-නුවර පාරේ මහවැලි ගංගාවේ පාලම පටන්ගන්නා හරිය බැලූව නම් බුද්ධ පුත‍්‍රයාණන් වහන්සේලාගේ උපවාසයත් මිනිසුන්ගේ උද්ඝෝෂණයේ චලනයනුත් දකින්නට තිබුණා’’ (පිටුව,01).
                           පෙරවදනේ දැක්වෙන පරිදි කතුවරයාගේ වචනවලින් කියතොත් එය අක්ෂර වලින් අඳිනු ලබන චිත‍්‍රයක් හෙවත් කැලිග‍්‍රැපියකි. ‘‘මම අකුරු සහ වචන පෙන්වනවා චිත‍්‍රය ඔබ හදාගන්න’’හෙතෙම ඉකුත් සැප්තැම්බර් 18 වන දින ‘සිළුමිණ’ පුවත්පතට සම්මුඛ සාකච්ඡුාවක් ලබාදෙමින් ස`දහන් කර තිබිණි. කාංචනා අමිලානි සමග කළ එම සම්මුඛ සාකච්ඡුාවේදී කතුවරයා තම අරමුණ වඩාත් විස්තර කරමින් මෙසේද අවධාරණය කරන ලදී.
‘‘මගේ වචන නිහඬ කරලා ඔබේ කියවීමේ හඬ අවදිකරගන්න පුළුවනිනම් ඒකයි මගේ අරමුණ. මම වචන දෙකක් කියනකොට ඒ දෙක අතර තියෙන හිස්තැනේදී පාඨකයා කොච්චර දේ කියවාගන්නවාද කියන එකයි මට වැදගත් වෙන්නේ. පාඨකයා ඒ ඉඩ අතර දේවල් වැඩිපුර කියවන තරමට මම සාර්ථක වෙනවා. මම සතුටුවෙන්නේ අන්න ඒ අවකාශය පිරවිලා යනු දැකීමෙනුයි. ඔබේ නිශ්ශබ්දතාව ඇතුළේ කියවීමක් තියෙන්න  ඕන කියලයි මම හිතන්නේ’’
ෂාක් ඩෙරීඩා විසින් ‘කියවීම ලිවීමක් වන්නේ කෙසේද?’ යන්න කළ අර්ථ දැක්වීම සිහිපත් කරන නිශ්ශංක විජේමාන්නගේ අරමුණ සාක්ෂාත් කරමින් එක්තරා කියවන්නියක් (ඩෙරීඩියානු අර්ථයෙන්) කතුවරයා ප‍්‍රශ්න කරනු ලබන්නේ මේ අයුරිනි.

“ආගමික ඉගැන්වීම් අතුරින් ලෝකයේ තිබෙන ම්ලේච්ඡතම භාවිතාවක් තිබෙන්නේ ඉස්ලාම් ආගමේ. මේ අමානුෂික භාවිතය පිළිබඳ ඔබේ නවකතාව තුළ කිසිම විවේචනාත්මක විමසා බැලීමක් නැහැ. ඇයි ඒ ?’’(දිවයින-වටමඬල/20-10-2016). මෙම ප‍්‍රශ්නය විශ්ලේෂණයට ලක්කරනු ලැබුවහොත් මෙම කියවන්නිය තමා පිළිබඳ ගොනු කරනු ලබන ප‍්‍රධාන පිළිතුරු දෙකකි.

1. ලෝකයේ පවත්නා ආගම් 4000ට අධික සංඛ්‍යාවක් මවිසින් හදාරා, ඒ පිළිබඳ පර්යේෂණ සිදුකොට ඒවා තුලනාත්මකව සංසන්දනය කිරීමේදී ම්ලේච්ඡතම භාවිතාවක් සහිත ආගම වන්නේ ‘ඉස්ලාම් ආගම’ බැව් මවිසින් තහවුරු කරගන්නා ලදී.

2. නව කතාවක් නම් යම් ප‍්‍රස්තූතයක් විවේචනාත්මකව විමසා බැලිය යුතු බැව් මගේ මතයයි.
මෙම කාරණා දෙක හෘද සාක්ෂියක් සහිතව බාර නොගන්නා අයෙකුට ඉහත පාදඩ ප‍්‍රශ්නය ඇසිය නොහැකිය. එහෙත් ඉහත මුසාවාදයන් අවිඥානිකව බාරගන්නා මෙම කියවන්නිය මියෙන්මාරයේ බුදු දහමේ නාමයෙන් සිදුකරන දහස් සංඛ්‍යාත මනුෂ්‍ය ඝාතන, ලංකාවේ අන්‍යාගමිකයින්, අන්‍ය ජනවාර්ගිකයින් කෙරෙහි මුදාහරිනු ලබන ප‍්‍රචණ්ඩත්වය හා හිරිහැර පිළිබඳ කිසිදු වරදකාරී හැඟීමකින් තොරව ලෝකයේ 4000ට අධික ආගම් පිළිබඳ අල්පමාත‍්‍රයක හෝ අවබෝධයක් නැතිව, නව කතාව යනු ගැටළු විවේචනාත්මකව විමසන යමක් නොවන බව නොදන්නා කෙනෙකු මෙම කෘතිය ඉඩ ( Space) සහ ප‍්‍රමාද (differ) අතර තබා අපූරුවට කියවා තිබේ. ප‍්‍රශ්න විමසන්නිය හා පිළිතුරු ලබාදෙන්නා කල්තියා ව්‍යුහගත කර ඇති බැවින් පිළිතුරු ලබාදෙන්නා විසින් ‘‘ඔබට මෙසේ විමසන්නට පවත්නා දැනුම හා අත්දැකීම කවරේදැයි’’විමසන්නියව විමසනු වෙනුවට පිළිතුරු ගොනුකරනු ලබයි.

‘‘ලෝකයේ කිසිම ආගමක් ම්ලේච්ඡු නැහැ. එසේ වන්නේනම් එය ආගමික ව්‍යාපාරයක් විය නොහැකියි. ආගම නමින් පෙනී සිටින්නේ ප‍්‍රති ආගමික ව්‍යාපාරයක් විය හැකියි.’’ එහෙත් උක්ත මරුමුස් පැනයක් විමසනු ලබන්නේත්, කතුවරයාට මෙවන් පිළිතුරක් ගොනුකරන්නට සිදුවීමේත් පාදම වන්නේ පවත්නා ආගමික විවිධත්වයන් හා කියැවීමේ වෙනසය. වෙනස්කම් සහිතව කියවනු දැකීම තම අභිප‍්‍රාය යයි කතුවරයා විසින් විටෙක කියනු ලැබුවද, ‘මා විශ්වාස කරනු ලබන වෙනස සහිතව කියවනු මැනවි’ යන්න කතුවරයාගේ අවිඥානක ආසාවය. එබැවින් ‘‘හඳ පළුව සහ තනි තරුව’’ යනු වාර්ගික සමගිය, ආගමික සංහිඳියාව හෝ වෙනස්කම් ඉවසීමට යෝජනා කරන සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කෘතියක් නොව ආදරය හා මනුෂ්‍ය සබ`දතා පිළිබඳ කතුවරයාගේ ෆැන්ටසියේ ස්වරූපය මේ යයි දනවන නිමැවුමකි. කතුවරයා දිවා රාත‍්‍රී දකින සිහිනයක දිගුවකි.

මනෝ විශ්ලේෂණාත්මක අර්ථයකින් සිහින යනුද දකින්නා විසින් කරනු ලබන අවරෝධනයකි. සිහිනයක් විස්තර කිරීමේදීද විස්තර කරන්නා විසින් බොහෝ කරුණු අවරෝධනය කිරීමක් හෙවත් වාරණය කිරීමක් සිදුකරයි. එබැවින් සිහිනයක් අර්ථ දැක්වීමේදී එහි අන්තර්ගතය (සිහිනය තුළ දැකීම) මෙන්ම එහි ආකෘතිය (සිහිනය දකින ස්වරූපය) ද එකසේ වැදගත්ය. සිහිනවලදී සිදුවන්නේ අපගේ බලවත් හා අවරෝධනය කරන ලද ආශාවන් පෙළ ගැස්වීමය. සාහිත්‍ය නිර්මාණයක් හෝ පොදුවේ කලා නිර්මාණයක් යනුද අවරෝධිත ආශාවන් ප‍්‍රක්ෂේපනය විය හැකි එක් මාදිලියකි.


                              නිශ්ශංකගේ බොහෝ නිර්මාණවල මහා පොදු සාධකය වන්නේ ආදරය හා නිදහස් ලිංගිකත්වයයි. ‘මුවා මැරූ සලමන්’ කෙටිකතාව අවසානය සනිටුහන් වන්නේ මේ අයුරිනි.

‘‘ඒත් තවත් හිතිවිලිවලට ඉඩ නොතියා ඇගේ විජිතයට කිසිම ආයුධයක් අහිමි මාව ඇදගන්න කොට මං ඔබෙන් අහන්න ඉන්න ප‍්‍රශ්නය ඈ මගෙන් අහනවා.
‘‘ඇත්තටම සලමන් මුවා මරන්නම  ඕනද?’’
මේ කෙටිකතා සංග‍්‍රහයේම ‘බඩ ඉරිඟු’ නිර්මාණය තුළ කළිඟුගේ කුසින් උපදින දරුවාද, කථකයාගේ බිරිඳ වන ලීසා ඉවසයි.


‘‘එයා සුදු වුණාට ඔයා බයවෙන්න එපා.’‘ ඇය මට ඒ අතරේ සරදම් කරයි. ‘මේ කොල්ල වගේම එයත් ඔයාගේ.’’ (මුවා මැරූ සලමන්.පිටුව-66).

මේ අයුරින්ම කතුවරයාගේ ‘තාරා මගෙ දෙව් දූ‘ නවකතාවේ ද කථකයාට තම බිරිඳ වන ප‍්‍රියංගාද, පැරණි ප්‍රේමය අලූත් වටයකින් මුණගැසුණු තාරාටද එක සේ ළංවෙයි. ප‍්‍රියංගා ඇයව ඉවසයි. ‘හඳ පළුව තනි තරුව’ යනු මෙහි තවත් එක් මාදිලියකි. පැරණි ආඛ්‍යානගත ප‍්‍රස්තුතයේම දිගුවකි.

‘‘අම්මා රස කෑම හැදුවට කවදාවත් කෑවෙ නෑ. මම ඇහුවා ‘ඒ ඇයි’කියලා. ඒ එයාගේ ස්වාමිපුරුෂයට කවදාවත් රස කෑම නොලැබෙයි කියන එකත් එක්ක.’’ ඇය ඒ වචන කියන්නේ හුරතලෙන් නෙමේ ඊයම් වතුරෙ ගිලෙනව වගේ. මං වටපිට බැලූවා අබ්දුල් කෝ කියලා. එයා ඈතට ගිහිල්ලා. අයේෂාගේ චෝදනාකාරී දෑස් මාව ලූහුබැන්දා.

‘‘මං කීවෙ එයා ගැන නෙවෙයි.’’ ඈ ඒ ඇස්වලින්ම පෙන්නුවෙ විපුලව’’ හඳ පළුව තනි තරුව, පිටුව-07-08).

                                               සම්මතය යනු ශිෂ්ටාචාරීය තහනමෙන්, නීතියෙන් හා පිළිවෙලින් අවරෝධනය කරන ලද ආශාවේ සවිඥානික ශ්‍රේෂපත‍්‍රයයි. එබැවින් අවිඥානික දැවැන්ත කලාපයක් සිහිනයක, කලා නිර්මාණයක වේෂයෙන් සංකේතිය ලෝකයට පැනගන්නට නිරන්තරයෙන් අරඅ`දිමින් සිටියි. එහෙත් ඒ පැන නැඟීමද බොහෝ විට වෙස් මාරුවකි. තහනම නිසාම රසය ඇත්තේ සම්මතයෙන් පිටය. එහෙත් අසම්මතය රස ගැන්වීමට නම් සම්මතය පැවතිය යුතුමය. ඉඳහිට සම්මතයේ රමු තුළ කුහකත්වයට එරෙහිව නිදහසේ නාමයෙන් ‘අසම්මතයේ රස ගඟුල’ කැලතෙනවිට කතුවරයාගේ නොව පාඨකයාගේද රස නහර පිනායයි. නිශ්ශංකගේ බොහෝ නිර්මාණ පාඨක සිත් ඇ`ඳ බැ`ඳ ගැනීමේ රහස එයයි. මෙම කෘතිය තුළ මේ කාරණය සරලව නමුත් ගැඹුරින්ම අර්ථ දක්වන්නේ කතුවරයා විසින් පෙරට ගෙන එන ලද ගැලවුම්කාරයෙකු වන ජෙලාබ්දීන්ය.

‘‘ගැටේ තදට ගහන්න එපා, කොළ තැලෙනවා. බුරුලට ගහන්න එපා, ලිහෙනවා. ජෙලාබ්දීන් මාමා  මිටි බැඳීම ගැන පාඩම මතක් කළේය.’’(පිටුව-103).

                          උක්ත මිටි බැඳීම කෘතියේ කතන්දරයේ පලා මිටි බැඳීමක් වුවද, එය සමස්ත කෘතියේ ප‍්‍රස්තූතය හා මැනවින් සමපාත වන්නකි. ‘හඳ පළුව තනි තරුව’ කෘතියේ භාෂා ශෛලිය සැබවින්ම අපූරුය. කතුවරයාගේ කැලිග‍්‍රැපියක අලංකාරිකය එයට වඩාත් යෝග්‍යය. තම අත්දැකීම් හා රසාලිප්ත මතකයන් හා ගැටගැසුණු එදිනෙදා මහපාරේ අත්දකින වේදනා සමග අතීත ගමන් යන අතරේ එක හුස්මට කියවා අවසන් කළ හැකිය. සරල කතන්දරයකි. එහෙත් එය නවකතාවක් කළ යුතු බැවින් හා එම කතාන්දරයට තවත් අතු, ඉති, රිකිලි එකතු කරමින් වර්ධනය කරවා තිබේ. ඒ නිසාම කෘතිය පිළිබඳ තනි වැකියක් සටහන් කරන්නේනම් එය ‘දිගු කරන ලද කෙටි කතාවකි’. කුමක් හෝ හේතුවකට මං නිශ්ශංක විජේමාන්න යන කෙටි කතාකරුවාට තරම් එකී නමින් යුතු නව කතාකරුවාට පෙම් නොකරමි. අවසාන වශයෙන් කෘතියේම වැකියකින් මෙම ලියැවිල්ල හමාර කරමි.

’‘අපට මරණය නමැති ස්ථීර දිනය ලැබෙන තෙක් විනිශ්චය දිනය බොරු කරමින් සිටියෙමු’’(පොරවාගෙන සිටින්නා-මක්කි වැකි 46-47). (පිටුව-114).





- ප‍්‍රියාන් ආර් විජේබණ්ඩාර

(2017-01-01 වන ඉරිදා දින රාවය පුවත්පතේ පළමු වරට පළවිය.)


Wednesday, January 4, 2017

හොරු සමග හෙළුවෙන් නොහොත් අවවාදයට වඩා ආදර්ශය උතුම්වීමේ ඛේදවාචකය



‘‘අවවාදයට වඩා ආදර්ශය උතුම්ය, යන්න ප්‍රසිද්ධ ආප්තෝපදේශයකි. ‘ගුරා හිටගෙන චූ කරනවිට ගෝලයින් දුව දුවා චූ කරන බවට‘වන කියමනක්ද අප අතර වෙයි. කොහොම වුණත් මේ කියමන් එතරම් අහිංසක නොවන බව යළි යළිත් අපට පසක් කරවමින් තිබේ. ඒ රටේ නීතිය ක්‍රියාත්මකවීම සම්බන්ධයෙනි. ඒ නීතියට ඉහළින් කැරකෙන අදිසි හස්තයක් නොව සදිසි හෙවනැල්ලක් සේ පාලකයින්ගේ ආදර්ශය බලපවත්වන බැවිනි.



                                        මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය ඔක්තොම්බර්  12 වන දින පදනම් ආයතනයේ පැවති සත්විරු සංහිඳ නිවාස හා ඉඩම් හිමිකම් ප්‍රදානෝත්සවයේදී CID,FCID හා අල්ලස් කොමිසම දේශපාලන න්‍යාය පත්‍රවලට අනුව කටයුතු කරන්නේ නම් තමන් ඊට එරෙහිවද දැඩි තීන්දු තීරණ ගැනීමට සිදු වන බව කියා සිටියේය.හිටපු ආරක්ෂක ලේකම්වරයා හා හිටපු නාවික හමුදාපතිවරුන් අධිකරණයට හමුවට පැමිණවු ක්‍රමවේදයට තමන් එකඟ නොවන බවද කීය.එතෙකින් නොනැවතුණු ඔහු ස්වාධීන කොමිෂන් සභාවන්හි ගෞරවයද හෑල්ලු කළේය.ස්වාධීන කොමිෂන් සභා පත්කරනු ලැබුවේ 19 වන සංශෝධනයට අනුව වත්මන් ආණ්ඩුවේද මැදිහත් වීම සහිතවය. එය ජනතාවගේත් සිවිල් සමාජ කණ්ඩායම්වලත් ඉල්ලීමක් වූ අතර ආණ්ඩුව ජනතාවට දුන් ප‍්‍රධාන පොරොන්දුවක්ද විය. තනි පුද්ගලයෙක් විසින් ඉහත ආයතන මෙහෙයවීම වෙනුවට ඇතැම් අඩුපාඩු සහිතව වුවත් කොමිෂන් සභාවක් විසින් මෙහෙයවීම වඩා ප්‍රජාතන්ත්‍රවාදීය. එබැවින් “ස්වාධීන කොමිෂන් සභාවලට සම්බන්ධ අය රාජ්‍ය පාලනය නොදන්නා අය” ලෙස පවසා එම ආයතන හෑල්ලූ කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් දින කිහිපයකට පසුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිනිය වූ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ  ඉල්ලා අස්විය. ඒ සම්බන්ධයෙන් කිසිවෙකුත් ප්‍රශ්න කරන බවක් දක්නට නොලැබුණි. ඉනික්බිතිව එළඹුණු කාලය තුළ එතෙක් ඇප නොලැබූ සැකකරුවන් සහිතව නඩු විභාග කෙරුණු ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්කරවීමේ සිද්ධියේ සැකකරුවන්ට විටෙන් විට ඇප ලබාදීම සිදුවිය. අද වන විට ඔවුන් සියලුමදෙනා ඇප මත නිදහස් කර ඇතිවා පමණක් නොව  රිමාන්ඞ් බන්ධනාගාරගතව සිට ඇප ලබා පැමිණි යුදහමුදා සාමාජිකයන් වන ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න සහ මාණ්ඩලික සැරයන් සුබ්‍රමනියම් නැවත යුදහමුදා සේවයේ පිහිටුවීමට අවශ්‍ය කටයුතු සියල්ල යුද හමුදාපතිවරයා විසින් සිදුකර ඇතැයි වාර්තා වේ.


මේ පිළිබඳ යුදහමුදා මාධ්‍ය අංශය පෙන්වාදී ඇත්තේ මෙම හමුදා නිලධාරින් දෙදෙනා තවම සැකකරුවන් බවත් ඒ නිසා සේවයේ පිහිටුවීමට බාධාවක් නැති බවත්ය.  ඔවුන් යුදහමුදා ස්වේච්ඡා සේවයේ නිලධාරීන් බැවින් යුදහමුදාපතිවරයාට ඔවුන් යළි සේවයේ පිහිටුවීමට ආයතන සංග්‍රහය අනුව බලය තිබෙන බවත් ඔවුන්ගේ අදහසයි. එසේම මෙම සැකකරුවන් අතර සිටින සාජන් මේජර් නෙරන්ජන් උපසේන හා ලුතිනන් චමින්ද කුමාර අබේරත්න යළි සේවයේ පිහිටුවන්නේ නම් එය ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් සිදුකළ යුතු බවත්,  සැකකරුවන් අතර සිටින සැරයන් ප්‍රියන්ත කුමාර රාජපක්‍ෂ විශ්‍රාමිකයකු වන අතර කෝප්‍රල් රවින්ද්‍ර සුබසේන යුදහමුදාවෙන් ඉවත් කළ අයෙකු බවත් සඳහන්ය. ඒ විතරක් නොව මාලබේ ප්‍රදේශයේදී සිදුකළ මිනීමැරුමකට සැකපිට අත් අඩංගුවේ සිටින යුදහමුදා සාමාජික ලුතිනන් කර්නල් ප්‍රදිප් කුමාර වෙත්තසිංහ ඇප ලබා පැමිණියහොත් නැවත රැකියාවේ පිහිටුවන්නේ නම් එයද සිදුවන්නේ අමාත්‍යාංශය මගින් ගන්නා තීරණයක් මත බවද යුද හමුදා මාධ්‍ය අංශයේ නිලධාරියෙකු ඉකුත් සතියේ සති අන්ත පුවත්පතකට ප්‍රකාශ කර තිබුණි. ගැටළුව එය නොවේ.


                                                                    යුදහමුදාපතිවරයා විසින් මෙම කටයුත්ත සිදුකර  ඇත්තේ එවැනි වැරැදි  සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත්වී රිමාන්ඞ් බන්ධනාගාර ගතවූ යුදහමුදා සාමාජිකයන් රාශියක් ඇප ලැබීමෙන් පසු නැවත සේවයේ පිහිටුවා නැති තත්ත්වයක් තුළය. එසේම අපගේ යුදහමුදා ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්නට ඔහුගේ රාජකාරි වාහනය ඔහු වැඩ තහනමට ලක්වී සිටි අවධියේදීද දිගටම භාවිතා කිරීමට යුද හමුදාපතිවරයා ඉඩ ලබාදී තිබූ බවය. ජනාධිපතිවරයා විසින් ඔක්තොම්බර් මාසයේදී සිදුකරන ලද ප්‍රකාශයත්, යුද හමුදාපතිවරයාගේ මෙම ක්‍රියා මාර්ගයත් අතර සම්බන්ධයක් නැතැයි කාටවක් කිව නොහැක්කේ ආරක්ෂක අමාත්‍යවරයා වන්නේද,  ත්‍රිවිධ හමුදා ප්‍රධාන අණදෙන නිලධාරියා වන්නේද ජනාධිපතිවරයා වන බැවිනි.


                                                     පසුගිය දෙසැම්බර් 23 වෙනිදා අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා මඩකළපුවේ මංගලාරාමයේදී එහි වාසය කරන පූජ්‍ය අම්පිටියේ සුමන සහ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර නමැති අන්තවාදී  හිමිවරුන්ගේ දෙපා නැමැඳ ඔවුන්ගේ මැර ක්‍රියාකාරකම් සාධාරණීකරණය කරමින් මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කරන ලදී. මේ හිමිවරුන් දෙදෙනාම අධිකරණ නියෝග නොතකා ක්‍රියා කිරීම හේතුවෙන් පවතින නඩු වල ඇප මත සිටින චුදිතයන් දෙදෙනෙකි.
 ඇප මත නිදහස් කිරීම යනු චෝදනාවන්ගෙන් නිදොස් කොට නිදහස් කිරීමක් නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.  අධිකරණ ඇමැතිවරයා ගොස් වැඳ වැටී ඔවුන්ගේ ක්‍රියාකලාපයන් සාධාරණීය කිරීම බරපතළ කාරණයක් වන්නේ එබැවිනි.


                                              අම්පිටියේ සුමන හිමියන් විසින්  පසුගියදා රජයේ නිලධාරියෙකු වූ මඩකළපුවේ ග්‍රාම නිලධාරී මහතෙකුගේ රාජකාරියට බාධා කරමින් ඔහුට ‘තෝ කොටියෙක්මයි‘ යනුවෙන්  ප්‍රසිද්ධියේ වර්ගවාදී වෛරී භාෂාවෙන් බැන වැදී තිබුණි. මේ  සම්බන්ධයෙන් නීතියෙන් කටයුතු නොකරන්නේ මන්දැයි විමසා අධිකරණ අමාත්‍යාංශ ලේකම් වරයා විසින් නීතිපතිවරයා වෙත ලිඛිතව  විමසා යවා තිබිණ. පොලිසිය ඒ අනුව ඔහුට එරෙහිව නඩු පවරා තිබියදී අධිකරණ ඇමැතිවරයා ගොස් සුමන හිමියන්  හමුවීම උන්වහන්සේගේ වෛරී වර්ගවාදී බැන වැදීම් සාධාරණීකරණය කිරීමක් නොවන්නේද? ඥානසාර හිමියන්ද මුස්ලිම් ආගමික ස්ථානවලට පහරදීම, වර්ගවාදී ගැටුම් ඇතිකිරීම ඇතුළු චෝදනා ගණනාවකට අදාළව විභාගවන නඩුවල සැකකරුවෙකු මෙන්ම බීමතින් රිය පදවා අනතුරු සිදුකිරීමේ වරදකට අධිකරණයෙන් දඬුවම් ලැබූවෙකුද වේ. එහෙව් අයෙකු පසුබිමෙන් තබාගෙන ඔවුන්ගේ ක්‍රියාකාරකම් සාධාරණීයකරණය කරමින් මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීම විසින් ගම්‍යකරනු ලබන්නේ ‘අවවාදයට වඩා ආදර්ශය“ උතුම් බව නොවේද?      
                   

                                   කලකට ඉහතදී රබර් සෙරෙප්පු දෙකක් දාගෙන පාපැදියකින් මීගමුව නගරයේ තැනින් තැන රස්තියාදු ගැසූ නිමල් ලංසා ඉතා කෙටි කලකින් කෝටිපතියෙකු බවට පත්වීම රටට රහසක් වුවත් මීගමුවට රහසක් නොවීය. එහෙව් ලංසාගේ නිවසත්,ඔහුගේ හිතවතෙකුගේ නිවසත් පොලිස් විශේෂ කාර්ය බලකායේ 150ක පමණ පිරිසක් විසින් හදිසි වැටලීමක් කරනු ලැබුවේ 2011 ඔක්තෝම්බර් මස 18 දාය. සිද්ධිය සැලවූ වහාම එවක ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු මෙන්ම එවක ජනාධිපතිවරයාගේ සොහොයුරා වූ බැසිල් රාජපක්ෂ නිමල් ලංසා හමුවීමට ඔහුගේ නිවසට ගියේය. තවත් ටික වේලාවකින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද,ලංසාගේ දුක සැප විමසා බැලීමට ඔහුගේ නිවසට ගියේය.වැටලීම සිදුකිරීම සඳහා අණ ලැබුණේ කොතැනින්දැයි සොයා බලන බවත්,සිද්ධිය සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කරන බවත් රාජපක්ෂලා ලංසාගේ දෑත් අල්ලාගෙන කියා සිටියහ. ලංසා සම්බන්ධයෙන් සිදුකරන්නට මුල පිරූ පරීක්ෂණ ලත් තැනම ලොප්විය.

“මමයි රටේ පාලකයා. මම ඉන්නේ ලංසා එක්ක.උඹලා විහින් අමාරුවෙ වැටෙන්න එපා”

රාජපක්ෂ විසින් එදින ලබාදුන් පණිවිඩය එවැන්නකි. ඉන්පසු කිසිවෙකුත් ලංසාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට තබා කටක්වත් හෙල්ලුවේ නැති බව සියලුදෙනා දනිති.
මහින්ද රාජපක්ෂ 2015දී ගෙදර ගියේය. ලංසලා තවමත් යෙහෙන් වැජඹෙති. එපමණක් නොවේ. එකල එවක ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය විවේචනය කිරීමට සිවිල් සංවිධාන හා නිදහස් මතධාරීන් බොහෝ සිටියහ. එහෙත් අද දවසේ ජනාධිපතිවරයාගේ, යුද හමුදාපතිවරයාගේ හෝ අධිකරණ අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය වැරදි බව පෙන්වාදීමට කිිසිවෙකු ඇත්තේ නැත.

                           එවක ඥානසාර හිමියන් ඇතුළු බොදුබල සේනා සංවිධානයද, සුමන හිමියන් ඇතුළු වර්ගවාදී අන්තවාදී හිමිවරුන්ද සිටියේ රාජපක්ෂ හෙවනැල්ලේ ආරක්ෂාව ලබමිනි. මේ දිනවල තමන්ගේ පරාජය පිළිබඳ ආපසු හැරී බලන මහින්ද රාජපක්ෂ මහතා, තම පාලනය බිඳහෙළීමට බොදු බල සේනා සංවිධානය සහ අමාත්‍ය චමිපික රණවක එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කළ බව කියා සිටියි.
මුස්ලිම් ජනතාවට පහරදී සැළසුම් සහගත ලෙස තමන්ගෙන් ඔවුන් ඈත් කල බව හිටපු ජනාධිපතිවරයා අවධාරණය කරයි. බලයේ සිටියදී ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකළේ ඇයිදැයි මාධ්‍ය වේදීන් විසින්  විමසු විට හිටපු ජනාධිපතිවරයා පැවසුවේ එවකට කැබිනට් මණ්ඩලයේ චම්පික රණවක අමාත්‍යවරයා ඊට විරුද්ධ වෙමින් ප්‍රශ්න ඇති කළ බවය.
දැන් එකී චම්පික රණවක අමාත්‍යවරයා සිටින්නේ යහපාලන ආණ්ඩුවේය. පසුගියදා ඥානසාර හිමියන් ඇතුළු පිරිසක්ද ගොස් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාවක් සිදුකරන ලදී. එකඟතාවන් මොනවාදැයි අපි නොදනිමු. ආදර්ශය උතුම්වන්නේ පුද්ගල කේන්ද්‍රීයව පමණක් නොවේ. අතීතයද ආදර්ශවත්ය.