මංජුල වෙඩිවර්ධනගේ ‘‘ දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා ’’ කියවමින් යනවිට ගම්ලත්ගේ ඉහත ප‍්‍රකාශය යළි සිහිපත් වන්නේ ඇයි? වෙඩිවර්ධනගේ කෘතිය පුරාම රත්මලාන කේන්ද්‍ර කරගත් ඒ අවට කාලයක් සැරිසැරූ චරිත යළි යළිත් හමුවෙයි. ලාංකීය පවුල තුළ දරුවාට ලැබුණු අනන්‍යතාව පවුලෙන් පිට සොයන වකවානුව ‘‘ වළ බැහීමේ ’’ හෙවත් ගැන්සි බැහීමේ යුගයයි. පවුල් පසුබිම, කොළඹට පවත්නා දුර, සංස්කෘතික අවතැන්වීමේ ස්වරූපය, හෙටක් නැති හෙට දවසක් වෙනුවෙන් රොද බ`දින බලාපොරොත්තු සියල්ල මේ යුගයේ පයේ හැපී හැපී අතුරුදහන්වීමට නියමිතය. අනන්‍යතාව මහපාරේ හොයන තාරුණ්‍යයට රත්මලානේ වළ බහින්නන්ට ඒ වෙනුවෙන් ඉඩක් සමාජ, ආර්ථික, දේශපාලනික වටපිටාව විසින් තවදුරටත් ඉතිරි කරඇත්දැයි නොදනිමි’. එහෙත් එවැන්නක් පැවති බවට ජීවමාන සාක්ෂියක් ලෙස මෙම නිර්මාණ සමුච්චය හැ`ගීම් පාරන බව සත්‍යයකි.
‘‘ හීන දැක දැක ඉඳලා හීන එක්කම නැ`ගිට්ටහම මේකෙ ඇ`ගිල්ල ගහල රවුම කෙලින් කරගන්නවා. මම ලෝකෙ දකින්න පුරුදු වුණේ මේ හිල ඇතුළෙන්. ඒකෙන් තමයි මම පුරුදු වුණේ අවශ්‍ය තැනට ඇහැ නාභිගත කරගන්න. අවශ්‍ය දේ අනවශ්‍ය දෙයින් වෙන්වෙලා වෙනම මතුවුණා ඇස් ඉස්සරහ පිට. අපරාදෙ කියන්න බෑ, ඩැඩා කියන නොසන්ඩාලයා කුණු මළ පෙරේතයෙක් නෙමේ. කුම්මැහියෙක් නෙමේ.ඌ ලෝස් නෑ. මොණර පිහාට්ටට වියදම් කළා. මට තිබුණේ පොත් ගිලින්න. සූත‍්‍ර ගිලින්න, ශාඛ ගිලින්න, සත්තු ගිලින්න. පෙති ගිලින්න. බඩ පිරුණම රෙන්න. ඔලූව කැරකෙනකොට නදිදාගන්න. මෙන්න මේ ඌරචක‍්‍රමාලෙ බෙල්ලෙ එල්ලගන්න කල් මට තිබුණෙ මෙච්චරයි ’’(පිටුව-70).
‘‘ ඔහු සූප්පුව උරන එක නැවැත්තුවා ’’ නම් කෙටිකතාව පුරාවටම සූප්පුව නම් සංකේතීය ඇම ඔසවා දරාගත්තෙකු විසින් ව්‍යාජය හා සැබවින්ම පය ගසා සිිටින්නට සිදුව ඇති මහපොළොවේ යථාර්ථය සමග පවත්නා නිරන්තර ගැටුම මැනවින් චිත‍්‍රණය කරයි. නිර්මාණයකින්, කලාවෙන් යථාර්ථය ඥානනය කරන බැව් සැබෑවක් වුවද, යථාර්ථය යන්නද, ගල්ගැස්වූ ස්ථිතික යමක් නොව හිඩැස් දෘශ්‍යමාන නොකරන තරමට සූක්ෂමව වියන ලද වස්ත‍්‍රයක් මෙනි. ප‍්‍රබන්ධයකි. එමගින් හෙලූව වසනු හැකි බව සැබෑය. ඒ තරමටම යමක් නිරාවරණය කරන බවද සැබෑය. මාත් රොත්කෝගෙ සිතුවම් සම්බන්ධයෙන් කියවීමකදී ස්ලෙවෝජ් ශිෙෂෙක් පෙන්වාදෙන අන්දමට ප‍්‍රබන්ධ විසින් අපගේ යථාර්ථය හැඩගන්වනු ලබයි. යථාර්ථය නියාමනය කරනු ලබන සංකේතීය ප‍්‍රබන්ධ ඉවත් කළ විට ඔබට යථාර්ථයම අහිිමිවීමට නියමිතය. මේ අරුතින් සූප්පුවේ සංකේතීය වටිනාකම යථාර්ථයක් ලෙස බාරගෙන කෙටිකතාව කියවීමට, ඒ හා අනන්‍යවීමට මෙන්ම එදිනෙදා ජීවත්වීමටද කතුවරයා අපට ආරාධනා කරයි.
‘‘ දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා ’’කෘතියේ එන නිර්මාණ කිසිවක් ඒකමාන නොවේ. නිදසුනක් ලෙස ‘‘ දුස්ටකමේ සවුන්දර්ය’’ නම් කෙටිකතාවේ ආකෘතිය හා අන්තර්ගතය යනුවෙන් දෙකක් නොමැත. හින්දි චිත‍්‍රපටයක් වන අන්ජාම් වෙත ආශක්තවවු කථකයා එහිම චරිත සමග අනන්‍යවෙමින් චිත‍්‍රපටයටත්, වඩා චිත‍්‍රපටයක් වූ තම අත්දැකීම කතන්දර කීමක් බවට පත්කරයි. මොහොතකින් චිත‍්‍රපටයේ චරිත අතහැරී ඒ වෙනුවට කථකයාගේ චරිත වටා කතාව විකාශය වී සංසිද්ධි ඇමිණිමක් වෙනුවට සංසිද්ධියම පාඨකයා අමුණන හුය බවට පත්කෙරෙයි.
‘‘ බුද්ධදාසට තිබ්බෙ ක්ලීටස් මෙන්ඩිස්ගෙ වගේ ගිරා නහයක්. ඇස් දෙක පූජිත් මෙන්ඩිස්ගෙ වගේ එළියට පැනලා. හැබැයි ඇස් දෙකේ බැල්ම නාලන් මෙන්ඩිස්ගෙ වගේ මාර ෂාප්. බුද්දෙ මහ ලොකු උසක් නැති වුණාට දැම්මෙ හයේ හතර ගමන. ඌ ඇවිද්දෙ ලක්ෂ්මන් මෙන්ඩිස් වගේ ස්මාට් එකට.මාර දේශපාලනපෙනුම. වමේ පෙනුම. හිනාව නම් ආයෙ දෙකක් නෑ, ශ‍්‍රියන්ත මෙන්නඩිස්ගෙ. ’’(පිටුව.142).
අක්ෂර වලින් මවන චිත‍්‍රයක් හෙවත් කැලිග‍්‍රැපියක හරස්කඩක් වෙඩිවර්ධනගේ මෙම කෘතියේ මෙහෙව් සෑම නිර්මාණයකම පාහේ හමුවන බව කිය හැකිය. බොහෝ වචන නාස්ති කිරීම වෙනුවට එක වැකියකින් දිගු බර කතාවක් ගොනු කළ අවස්ථා මෙහි නිර්මාණ අතර බොහෝය. ‘‘ නංගීට අඩු වයසින් තටු ලැබී බිම වැටී බඩ වනතුරුම අප උන්නේ ඒ ගෙදරය.’’( පිටුව-42). අනෙක් අතට මේ සෑම නිර්මාණයකම මුල-මැද-අග එකට කියවන අතර ඒ එකිනෙකට සම්බන්ධ අන්තර් කියැවීම් කිහිපයකටම මංපෙත් විවර කර තිබීමද අගය කළ යුත්තකි.
කෘතියේ ‘‘ පාන්තර වනතුරුම අද ?’’, ‘‘ ආදම් හමුවීම’’, ‘‘ ඔහු සූප්පුව උරන එක නැවැත්තුවා’’, ‘‘ විප්ලවීය කෙට්ටු අතක ස්පර්ශය’’, ‘‘ දුස්ටකමේ සවුන්දර්ය’’, ‘‘ බුනීල පෙති හුළෙ`ග ගියා’’, ආදී වශයෙන් නිර්මාණ 6ක් අඩංගුය. ඒ කිසිවකට ඊටම අනන්‍යවූ සුවිශේෂත්වයක් නොමැතිව සියල්ල එක් තැන් කළ මහා පොදු ගුණාකාරයක් ඇත. එය නම් ඉහ වහා ගිය රස්තියාදුවත්, කොලය වසා ගැසූ ජීවිත සූදුවත්ය. ඉතිහාසය ලීවේද, ලියවෙන්නේද යම් යම් කැමති දෑ ඇතුළත් කරමින් හා අකමැති දේ පිටමං කරමිනි. එකී කැමැත්ත යනු අවිහිංසක ප‍්‍රාර්ථනයක් නොව දේශපාලනික ගොඩනැංවීමකි. අත්දැකීමක්, නිර්මාණාත්මක ප‍්‍රකාශනයක් බවට පත්වන විටත් මේ සන්තෑසියම සිදුවීමට නියමිතය. එහෙත් රත්මලානේ කතා හුදු වාගාලාප නොවී කෑගල්ලේ උන්ටත් දැනෙන, මහනුවර උන්ටත් දැනෙන තැනක තැබීමට කතුවරයාට හැකිවී තිබේ. එයට තැබිය යුතු නම ‘‘ නිර්මාණ ශක්‍යතාව ’’ හෝ ‘‘ ලාංකේය පොදු සංස්කෘතික අවවර්ධිතභාවය ’’දැයි නොදනිමි. ජීවිතයම අර්ධ සත්‍යයක් වූ කල මේ සැබෑ ජීවන අත්දැකීම්දැයි අප විසින් කතුවරයාගෙන් නොඇසිය යුතුය.
‘‘ ඇතැම්විට මේ පඩත්තල වැඬේ පිටුපස සිටින්නේ බුදු රූබෙ හා බුදු රූබෙගෙ උම්මා වන්නට පිළිවන. ඇය ජීවිතවේ තුනෙන් දෙපංගුවක්ම ගත කර ඇත්තේ බෝ පත් සිරි සිරියේය. ඇය බෝධීන් නැවූ කලගෙඩි ගණන ගණනය කර බැලූවහොත් මුලූ රත්මලානටම සතියක් නාන්නට හැකි තරම් වතුරකි. ඇය දැන් සිටින්නේ ටිකක් අබල දුබලවය. බුදු රූබෙටත් දැන් අම්මා බලාකියාගන්නට එහෙමට කාලයක් නැත. ඌ කප්පරක් තරමට පිං අතේ වැඩය. බෝධි පූජාය. වන්දනා ගමන්ය. ගිහි පිරිත්ය. ඌට බුදුන් ව`දින්නවත් වෙලාවක් නැති තරමට බුදු අතේ වැඩය’’(පිටුව-101).
බුදුන් වඳින්නට හෝ වේලාවක් නැති බුදු අතේ වැඩ නිසා දෛනික ජීවිතය දැඩි කාර්යබහුල වී ඇති පිරිස් ෙඩිවර්ධනලා වළ බහින කාලයේ සිටියේ අතේ ඇඟිලි ගාණටත් අඩුවෙන් විය හැකිය. එහෙත් මේ යුගයේ එය රටේ ජන ගහණයෙන් අඩකටත් වඩා වැඩි වී ඇත්දැයි සැක සිතෙන තරම්ය. පිටුවහලේ ජීවිත නොස්ටැල්ජියාවේ ගිලෙන තරමට නිර්මාණාත්මක අස්වැන්න සරුය. ගමෙන් කොළඹට සේන්දුවී ගම ගැන ලියන ලියවිලිවලට වඩා බරය. සනත් බාලසුරිය විසින් ‘‘ මරණයේ සෙවනැල්ල යට නිදා සිටි පූස් පැටියා ’’ ලියා පළකරනු ලැබුවේ 2013 දීය. මෙම කෘතිය පළවන්නේ 2016දී වන අතරම සියලූම නිර්මාණ 2010න් පසුව ලියැවුණු ඒවා බැව් පැහැදිලිය. එය එසේ වන්නේ මන්දැයි යන්න අර්ථ ගන්වා ගැනීම වෙනම සාහිත්‍ය කලාපයකට අයිතිය. එබැවින් මෙම කෘතිය මෑත යුගයේ පාඨක/ විචාරක අවධානයට ලක්විය යුතු කෙටිකතා සංග‍්‍රයක් බැව් පමණක් අවසාන වශයෙන් සටහන් කර තැබීම වඩා සුදුසුය.
(2016-01-15 වන ඉරිදා දින රාවය පුවත්පතේ පළවිය. මාතෘකාව පමණක් වෙනස් කර ඇත.)
No comments:
Post a Comment